මෙච්චර කාලයක් ගිහිනුත් මිනිස්සුන්ට මාව මතකයි නේද

නිත්‍යවානි කන්දසාමි කියන නම ඔබට නුපුරුදු වුණත් සරෝජා චිත්‍රපටයේ සරෝජාව මතක ඇති. ඒ හුරුබුහුටි පුංචි සරෝජා අද නව යොවුන් තරුණියක්. ඇගේ අලුත් තොරතුරු අහන්න මෙවර කතාබහට
නිත්‍යවානි එකතු කරගත්තා.

මොනවද අලුත් තොරතුරු?


මේ දවස්වල අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා කටයුතු කරනවා. වෛද්‍යවරියක් වීමේ අරමුණින් තමයි ඉගෙන ගන්නේ. ඊට අමතරව වසන්තම් නාළිකාවේ නිවේදිකාවක් විදිහට වැඩ කරනවා.

කොච්චර කාලෙකට පස්සෙද නිවේදිකාවක් විදිහට වැඩ පටන්ගන්නේ?
මාස අටකට කලින් තමයි නිවේදිකාවක් විදිහට සම්බන්ධ වුණේ. ගොඩ කාලෙකට පස්සෙ තමයි නිවේදනයට සම්බන්ධ වුණේ.

සරෝජා, පුංචි සුරංගනාවි චිත්‍රපටවලින් පස්සෙ චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණේ නැද්ද?
ඊට පස්සේ මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. සාමාන්‍ය පෙළින් පස්සෙ නම් වැඩවලට සම්බන්ධ වුණේ නැහැ. එහෙම ලොකුවට ආරාධනා ලැබුණේ නැහැ.

ප්‍රමුදිගේ යාළුකම තවම තියෙනවාද?
කතා කරනවා. එයත් එයාගේ උසස් අධ්‍යාපන වැඩත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. මේ ළඟදි මට ප්‍රමුදිව මුණගැහුණා.

නිත්‍යවානිට කැමැත්තක් නැද්ද නැවත රංගනයට එකතු වෙන්න?
ආසාවක් වගේම කැමැත්තක් තියෙනවා. ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවා. තව අවුරුද්දකින් විතර මගේ අධ්‍යාපන වැඩ අවසන් වෙනවා. ඊට පස්සෙ විවේකයක් ලැබුණහම කලා වැඩවලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා.

නිත්‍යවානි කියනවට වඩා හැමෝටම ඔබව තවමත් මතක සරෝජා නමින්. මොකද හිතෙන්නේ ඒ ප්‍රතිචාර ගැන?
මම පළමු වසරෙදි තමයි ඒ චරිතයට රංගනයෙන් දායක වුණේ. වසර ගණනාවක් ගිහිනුත් මිනිස්සුන්ට ඒ චරිතය තවම මතකයි. ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ. තවමත් මට මගතොටේදී දැක්කහම සරෝජා කියලා තමයි කතා කරන්නේ. වෙලාවකට ඒ ගැන පුදුමයි. මෙච්චර කාලයක් ගිහිනුත් මිනිස්සුන්ට මාව මතකයි නේද කියලා.

නිත්‍යවානි පුංචි කාලයේ ඉඳන්ම හීන මැව්වේ කවුරු වෙන්නද?
ටීචර් කෙනෙක් වෙන්න තමයි ‍පොඩි කා‍ලේ ඉඳන් හිතන් හිටියේ. සාමාන්‍ය පෙළ කරන කාලෙදි තමයි හිතුණේ වෛද්‍යවරියක් වෙන්න ඕන කියලා. ඒ වගේම මම ‍පොඩි කාලයේ ඉඳන් නිවේදනයට ගොඩක් ආසයි. ඒ හීනය නම් සැබෑකර ගත්තා.

තිළිණි කරුණාරත්න


gossip lanka