"අද ගැටිස්‌සියන්ට වගේ 'සෝෂල්' වෙන්න කොහෙත්ම ඉඩක්‌ තිබුණෙ නෑ" - මැණිකේ අත්තනායක ගැටිස්සි කාලේ කියපු කරපු දේවල් මෙන්න - Photos

මැණිකේ අත්තනායක කියන්නේ වේදිකාව කියන සජීවී මාධ්‍ය තුළ රංගනයෙන් පෙරළියක් කළ රංගන ශිල්පිනියක්.

ඇයගේ රංගනය වේදිකාවට පමණක් සිමා වුණේ නැහැ. කලාත්මක නිර්මාණ ඔස්සේ පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙනුත් ඇයව දකින්න ලැබුණා.

ඕනෑම චරිතයක් රගපෑමේ සහජ හැකියාව සතු ඇය  ගැටිස්‌සි කාලෙ කළ කී දේ පිළිබඳව පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා.

ගැටිස්‌සි කාලෙ?

අද ගැටිස්‌සියන්ට වගේ සමාජ ගත වෙන්නෙ එහෙමත් නැත්නම් 'සෝෂල්' වෙන්න කොහෙත්ම ඉඩක්‌ තිබුණෙ නෑ. ඒ නිසා අම්ම තාත්තගෙ රැකවරණයක්‌ එක්‌ක පාසල් ජීවිතේ වගේම ගෙදර ජීවිතෙත් ගත කරා. ආස හිතුන දෙයක්‌ කළේ ඉතින් ඒ දෙන්නට වහං වෙලා තමයි. හැබැයි කවදාවත් මටවත් ඒ අයටවත් වරදක්‌ වෙන විදියට වැඩ කළේ නෑ.

ඉගෙන ගත්තු පාසල?
මම මහනුවරනෙ. අධ්‍යාපනය ලැබුවෙ සෙංකඩගල මහා විද්‍යාලයෙන්. දැන්නම් මගේ පාසලේ නම ඩී. එස්‌. සේනානායක විද්‍යාලයේ විදියට වෙනස්‌ වෙලා. එහෙම වෙනස්‌ වුණ වෙලාවෙත් ඒ නාම පුවරුව විවෘත කරන්න ප්‍රධාන අමුත්තා ලෙස ආදි ශිෂ්‍යාවක්‌ වූ මමයි සහභාගී වුණෙත්.

කරපු දඟ වැඩ?
විශේෂ කියලා දඟ වැඩ කරන්න මට අවස්‌ථාව හමුවෙලා නැති තරම්. අපේ මහගෙදර වත්තෙ සෑහෙන්න පලතුරු ගස්‌ තිබුණා. ඒවායේ ගෙඩි හැදුණම අම්මා තාත්තාත් ගෙදර නැති වුණ ගමන් අපි හතර පස්‌ දෙනා එකතු වෙලා ඉනිමඟ තියලා ගස්‌වලට නැඟලා ගෙඩි කඩන් කනවා.

කරපු හොඳ වැඩ?
මම පාසලේ බොහොම ඇගයීමට ලක්‌ වෙලා හිටපු චරිතයක්‌. ගුරුවරු නැති දවසක්‌ වුණොත් ප්‍රින්සිපල් සර් මාව දානවා ඒ පන්තිය බලාගන්න. පාසලේ ශීල ව්‍යාපාර වගේ හැම හොඳ දේකටම සහභාගී වෙලා හොඳ වැඩම තමයි කළේ.

පටබැඳි නම්?
පොඩි මැණිකෙ නිසා අම්ම තාත්ත කතා කළේ පොඩී කියලා. ඒ නිසා නෑදැයො අතරෙත් මම පොඩීම තමා. ඉස්‌කෝලෙ ඇතුළෙ මම ඇක්‌ටිව් චරිතයක්‌. වේගයෙන් එහා මෙහා යනවා කියලා යාළුවො මට මොරිස්‌ මයිනර් කියලා දාගෙන තිබුණා. ඒක ඒ කාලෙ ජනප්‍රිය කාර් වර්ගයක නමක්‌නෙ.

යහළු යෙහෙළියෝ?
ගොඩ දෙනෙක්‌ හිටියා. හැමෝම එක්‌ක සමගියෙන් හිටියා ඒ කාලෙ. විජය - කුවේණි කියන නාට්‍යයේ මම විජය රඡ්ජුරුවන්ගෙ චරිතය රඟපාන කොට කුවේණිට හිටියෙ චාලට්‌ කියලා මිතුරියක්‌. ඔය රඟපෑම නිසා ඇයත් මමත් ගොඩක්‌ ළඟින් ආශ්‍රය කළා.

කල්ලි ගැහුනු තැන්?
කල්ලි ගැහෙන්න ඉතින් වෙලාවක්‌ තියෙන්නෙ ඕනනෙ. එහෙම වෙලාවක්‌ අපිට තිබුණෙම නෑ. උදේට ඉස්‌කෝලෙට එනවා ඇරුණම දවල්ට ගෙදර. ටියුෂන් ක්‌ලාස්‌ නෑ. ඉතින් පාසලේදී කල්ලි ගැහුනු එකක්‌ විතරයි.

විලාසිතා?
ඉස්‌සර හිටපු රංගන ශිල්පිනියන්ගෙ පිංතූර දැකලා ඒ විදියට අඳින්න ආස කළා. ඒත් ඉතින් අම්ම දෙන ඇඳුම්නෙ ඒ කාලෙ අඳින්න වුණේ. ඉස්‌සර තිබුණ කොට්‌ට උර ගවුම් කියලා එකක්‌. ඒකට ආස හිතිලා අඳින්නද කියලා අම්මගෙන් ඇහුවා. අම්මා කිව්ව මට නම් ප්‍රශ්නයක්‌ නෑ තාත්තා මොනව කියයිද දන්නෙ නෑ කියලා. කොහොම හරි ගවුමක්‌ මහ ගත්තා. ගමනක්‌ යන්න ලෑස්‌ති වෙලා ඒක ඇඳගෙන එළියට බැස්‌සා. තාත්තා ගත් කටටම කිව්වා මොකද්ද පොඩී ඔය ඇඳලා තියෙන්නෙ. හරි නෑ හරි නෑ වෙන එකක්‌ අඳින්න කියලා. ඒ මම විලාසිතාවක්‌ කරපු පළවෙනි දවස.

පිරිමි ළමයින්ගෙ ආශ්‍රය?
සීමා සහිතව තමයි අපිට පිරිමි ළමයි ආශ්‍රය කරන්න ලැබුණෙ. තාත්තගෙ සහෝදර සහෝදරියන්ගෙ පුතාලත් එක්‌ක ටිකක්‌ ළඟින් ආශ්‍රය කළා අපේ ගෙදර හැමෝම. ඒත් ඉතින් අම්මලා අපි ගැන ඇහැගහගෙන ඉන්නෙ. අනවශ්‍ය විහිළු තහලු නෑ. අතේ දුරින් තමයි.

බලාපොරොත්තු?
සහජ කලා දක්‌ෂතා තිබුණ නිසා පාසලේදී නැටුම් - සංගීතය කියන විෂයන් දෙක හොඳින් හැදැරුවා. දෙකට ම එක වගේ දක්‌ෂ නිසා ඒ කාලෙ ගුරුවරුත් කිව්වා ඔයා නැටුම් - සංගීත ගුරුවරියක්‌ වෙනවා නම් හොඳයි කියලා. ඉතින් මගේ හිතටත් ඒ බලාපොරොත්තුව ඉබේම ආවා. ඒ තැනට නොගියට මම රංගන ශිල්පිනියක්‌ වුණානෙ.

අහපු කයිකතන්දර?
හොඳට ඉගෙන ගත්තා. නැටුම් සංගීතය හොඳින් හැදැරුවා. බාහිර ක්‍රියාකාරකම් හැම එකකට ම සම්බන්ධ වුණා. සාමාන්‍ය ගෑනු ළමයෙක්‌ විදියට ජීවත් වුණා. ඒත් මම කවදාවත් කිසිම විදියකින් කයි කතන්දර ඇහුවෙ නැති කෙනෙක්‌.

සැබෑ නොවුණ හීන?
කිව්වට පිළිගනියිද මන්ද මම එහෙම ලොකු ලොකු හීන මවපු කෙනෙක්‌ නෙමෙයි. ඒ කාලෙට ඕන විදියට ලැබුණ දේවල් සතුටින් භාරගෙන ජීවත් වුණා. ඒ තෘප්තිය එදත් අදත් මගේ හිතේ තිබුණ වගේ ම හෙටත් තියේවි.

දුක හිතුණ අවස්‌ථා?
මං ගැටිස්‌සි කාලෙ නම් දුක හිතුණ අවස්‌ථා නැති තරම්. බොහොම සතුටින් කාලය ගෙව්ව. මේ තාක්‌ මට දුකක්‌ හිතුණ නම් ඒ මගේ රංගන කුසලතාව නිසි ඇගයීමකට ලක්‌ නොවුණ එක විතරයි. ඒත් මම ඒ ගැන හිතමින් පසුතැවෙන කෙනෙක්‌ නම් නෙමෙයි.

අමතක නොවන සිදුවීම්?
දවසක්‌ ඔය අහල පහල රංඩුවක්‌ වෙද්දි කියපු නරක වචනයක්‌ ඇහිලා මම ඕක දිගින් දිගටම කියව කියව හිටියා. ගෙදර හැමෝම කිව්ව ඕක කියන්න හොඳ එකක්‌ නෙමෙයි නවත්තන්න තාත්ත ආවොත් ඉන්න හම්බ වෙන්නෙ නෑ කියලා. ඒත් මම ඇහුවෙ නෑ. ඒකම කිව්වා. ඔහොම ඉන්න කොට දන්නෙම නැතුව තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවා. මම කියවපු දේ එයාට මඟදිම ඇහිලා ගෙදරට ආවෙ වැටේ තිබුණ එඬරු කෝටුවකුත් කඩාගෙන. එදා මට ටිකක්‌ සැරට ගුටි හම්බ වුණා. මම අඬල අඬල නිදා ගත්තා. පස්‌සෙ රෑ අම්මයි තාත්තයි පාර වැදුන තැන්වල තෙල් වගයක්‌ ගගා පොඩී ඒක නරක වචනයක්‌ ආයෙ කියන්න එපා කියලා මාව සැනසුවා. ඒ සිද්ධිය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

ධම්මික හේවාවසම්


gossip lanka