"මමත් හරි ආසයි කොටට අඳින්න. ඒ නිසා ගෙදරින් ගවුම කොට කරල ඇඳගෙන ඇවිත් පස්සේ හදා ගන්නවා.." - මැණික්‌ කුරුකුලසූරිය

හැත්තෑව අසුව දශකයේ සිංහල සිනමාවේ අහිංසක පෙම්වතිය වුණේ මැණික්‌ කුරුකුලසූරිය. කාලයක් සිනමා තිරය අනිසක පෙම්වතියගේ චරිතය අරක්ගෙන හිටියෙත් ඇයමයි. සිනමාවෙන් සමුගත්තත් අදටත් ඒ රූපය නම බොහෝ දෙනෙකුට මතකයි. ඒ නිහඩ චරිතය තමන්ගේ ගැටිස්සි කාලේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ සටහනයි.

ගැටිස්‌සි කාලෙ?

බොහොම සාන්ත දාන්ත වැඩි කතාබහක්‌ නැතුව පාඩුවේ හිටපු කෙනෙක්‌. හැබැයි ඉස්‌කෝලෙ කොන්සර්ට්‌ එකක්‌ තිබ්බොත් මම ඒකෙ මොනව හරි දේකට ඉන්නවා. ක්‍රීඩා උත්සවයක්‌ තිබ්බොත් ඒකෙත් මොනව හරි තරගයකට ඉන්නවා. නෙට්‌ බෝල් ගහන්න හොඳ හැකියාවක්‌ තිබුණා. ඉදිරිපත් වීම අතින් අංක එකේ හිටියෙ.

පාසල?
පාසල් දෙකක අධ්‍යාපනය ලැබුවා. මුලින්ම ගියේ ඕල්සෙන්ස්‌ එකට. පස්‌සෙ විද්‍යා විෂයන් කරන්න ඕන නිසා මම සෙන් පෝල්ස්‌ එකට ආවා.

කරපු දඟ වැඩ?
ඕල්සෙන්ස්‌ එකේ හිමිඡ්ජ වගේ හිටියට සෙන්පෝල්ස්‌ එකේදී ඉතින් කට්‌ටියට සෙට්‌ වුණා. ඒ කාලේ සෙන්පෝල්ස්‌ යුනිෆොම් එකේ ඉන වෙන් කරන්නෙ නැතුව බෙල්ට්‌ එකක්‌ දාන්න තිබුණෙ. හැමෝම ගවුම කොට කරගෙන ඇඳන් ඇවිත් ඉස්‌කෝලෙදි දික්‌කර ගන්නවා. මමත් හරි ආසයි කොටට අඳින්න. ඒ නිසා ගෙදරින් ගවුම කොට කරල ඇඳගෙන ඇවිත් ඉස්‌කෝලෙදි දික්‌කර ගන්නවා.

කරපු හොඳ වැඩ?
ඒ කාලෙ පාරෙ දුප්පත් අය ඉන්නව දැක්‌කම මට හරි දුකයි. මට අම්ම තාත්ත දෙන සල්ලි ඉතුරු කරගෙන ඉඳල ඒ අයට කන්න මොනව හරි අරන් දෙනව. අදටත් ඒ පුරුද්ද මා ළඟ තියෙනව. පුළුවන් විදියට කාටහරි උදව් කරනවා.

යෙහෙළියෝ?
මම ඉගෙන ගත්තු පාසල් දෙකේම හිටපු ළමයි හැමෝම මගේ යාළුවෝ. මම හැමෝම එක්‌ක හිනාවෙලා කතා කරන නිසා උදේට ගුඩ් මෝර්නිං කියල ඉවරයක්‌ නෑ. හවසට බායි කියල ඉවරයක්‌ නෑ. ළඟින්ම ආශ්‍රය කරපු අය මේ වෙද්දි පිටරටවල් වල.

කල්ලි ගැහුනු තැන්?
ඒ කාලෙ ඉතින් කල්ලි ගැහෙන්න අපිට තිබුණ ඉඩකඩ හරිම අඩුයි. දැන් ළමයි වගේ ටියුෂන් ක්‌ලාස්‌ ගියේ නෑ අපි. ඉස්‌කෝලෙ ගියා ගෙදර ආව. ඒ නිසා කල්ලි ගැහෙන්න තිබුණ එකම තැන ස්‌කූල් බස්‌ එක. ගෙදරින් කොහොම ට්‍රාන්ස්‌පෝට්‌ දුන්නත් අපි ඒව කට්‌ කරල ස්‌කූල් බස්‌ එකට එනව යාළුවොත් එක්‌ක සෙට්‌ වෙන්න.

විලාසිතා?
අක්‌කල ෆැෂන් කරනව පුංචි කාලෙ ඉඳල දැකපු නිසා මමත් ඒවට හරිම කැමතියි. එක එක විදියට ඇන්ද කොහොම හරි කියල ඉතින් අම්මගෙන් මට ඕන දේවල් ඉල්ල ගන්නව.

පටබැඳි නම්?
යාළුවො මට පටබැඳපු නම් නෑ. අම්ම ආදරේට මැණික  කියල කතා කරා. ඒ නිසා අක්‌කලයි අයියයිත් මට මැණික කියල කතා කරා. ඒ නම යාළුවො අතරටත් ගියා නොදැනිම. ඒත් එක යාළුවෙක්‌ මට හැමදාම කතා කරේ මැණිකෙ කියල.

පිරිමි ළමයි?
අපි පුංචි කාලෙ පදිංචි වෙලා හිටියෙ නාවල. ඒ කාලෙ දැන් වගේ තාප්පවලින් වටවෙලා නෑ කිසිම ගෙයක්‌. හැම ගෙදරකම ගෑනු ළමයි පිරිමි ළමයි අපි එකට සෙල්ලන් කරමින් ජීවත් වුණේ සහෝදරයො වගේ. මම ගෙදරින් වැඩියම එකතු අයියත් එක්‌ක නිසා අයියගේ යාළුවො හොඳට අඳුනනවා. ඒත් අයිය ඒ අයට ගෙදරට එන්න දෙන්නෙ නෑ. එයාගෙ යාළුවො මට කියනව ඔයාගෙ අයියව තරහ ගස්‌සන්න තියන එකම ක්‍රමේ අපි ඕගොල්ලන්ගෙ ගෙදර එන්නද කියල අහන එක විතරලු.

විනෝදාංශ?
මං හරි ආසයි ඒ දවස්‌වල බයිසිකල් පදින්න. ඒත් අයිය කෑගහනව එපා කියල. ගෙවල් අහල පහල යාළුවො එක්‌ක එකතුවෙලා අපි සංදර්ශන පවත්වනව. සිංදු කියනව. හවසට අපි එකතු වෙලා නාට්‌ටි පවා පෙන්වනව. ඕව තමයි අපේ ඒ කාලෙ විනෝදාංශ.

තිබුණ බලාපොරොත්තු?
එහෙම කිසිම බලාපොරොත්තුවක්‌ මට තිබුණෙ නෑ. මම හිතන්නෙ මට විතරක්‌ නෙමෙයි ඒ කාලෙ අපි කිසි කෙනෙක්‌ එහෙම ලොකු ටාගට්‌ හිතේ තියාගෙන වැඩ කරේ නෑ. ඉස්‌කෝලෙ ගියා. ගෙදර ආවා. කාල බීල එළියට ගියාම යාළුවො එක්‌ක එකතු වෙලා සෙල්ලම් කරල ආපහු එන්නෙ හවස හයට. විශේෂ බලාපොරොත්තු නැතුව හිටියට හැම දේම හොඳින් කරගත්ත.

ධම්මික හේවාවසම්