“වැරදි කියන දේවල් ඕන කෙනෙක් අතින් වෙනවා, අපි ඉදිරිය ගැන හිතලාවත් වැදගත් විදිහට ඉන්න ඕනෙ“ - මහේෂි මධුෂංකා

මහේෂි මධුෂංකා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සිනමාවෙන් කලා ක්ෂේත්‍රයට ආපු මහේෂි සිය ටෙලි නාට්‍ය රංගනයන් ඔස්සේ බොහෝ ප්‍රේක්ෂකයින් පිරිසකගේ ආකර්ෂණයට
ලක්වුණා. මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ පැවත්වූ සම්මුඛ සාකච්ඡාවක්.

අහිංසක ආදරවන්තියගෙන් එහාට පනින්න මහේෂි කැමති වුණාද?
රංගන ශිල්පිනියක් විදිහට මට කරන්න පුළුවන් උපරිම දේ මම කරන්න උත්සහ කරනවා. වෙනස් වෙන එකත් එක්තරා විදිහකට අභියෝගයක්.

ඇයි එහෙම කියන්නේ?
මොකද මිනිස්සු අපිට වෛර කරන්න ගත්තොත් දිගටම වෛර කරනවා. ආදරය කළොත් දිගටම ආදරය කරනවා. ප්‍රේක්ෂකයින් වැළඳගන්න විදිහට යමක් කිරීම එක්තරා අතකින් අභියෝගයක් තමයි. වෙනස් චරිත කරන්න මමත් ආසයි. ඒත් ලංකාවේ අද වැඩිපුරම විකාශය වෙන්නේ විදේශීය ටෙලිනාට්‍ය. හැදෙන සිංහල ටෙලි නාට්‍ය ටිකෙනුත් විකාශය වෙන්නේ කීයද? මට වෙනස් වෙන්න ඕනි. මම කොටු වෙන්න කැමති නැහැ. ඉතිං මම හිතුවා කාලයක් ඉඳලා හරි වෙනස් දෙයක් කරන්න. ඒ චරිතය හොඳට කරන්න අනිත් අයගෙනුත් මට හොඳ සහයෝගයක් ලැබුණා.

මහේෂි අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනෙක් එක්ක නිතර වැඩ කරනවා නේද?
මෙහෙමයි. වැඩ කරපු අධ්‍යක්ෂකවරු එක්ක මම දෙවැනි තුන්වැනි වතාවටත් වැඩ කරලා තියෙනවා. මෙගා නාට්‍යයක වගේ වැඩකරද්දී අධ්‍යක්ෂකවරයා එක්ක අවුරුදු එක හමාරක් විතර වැඩ කරන්න වෙනවා. ඒත් එහෙම එකම පිරිසක් එක්ක වැඩ කරනවා කියලා නෑ. ඕන අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කරන්න මට පුළුවන්. මම විවිධ අධ්‍යක්ෂකවරු  එක්ක වැඩ කළා. ඒ කළ නිර්මාණ සාර්ථක වුණා.

මහේෂිට මුල් කාලයේ ලැබිච්චි තැන තාමත් තියෙනවද?
මම කාලයක් දිගටම පේන්න හිටියා. ඉතිං මට වැඩ අඩු නැහැ. මම හිතනවා අවුරුද්දකට නිර්මාණ දෙකක් තුනක් කළාම ඇති. දාන දාන හැම නාලිකාවෙම පෙන්න ඉන්න ඕනි නැහැ.

සිනමාවෙන් එළියට ආපු මහේෂි දැන් සිනමාවේ නැත්තේ ඇයි?
ඒක මගේ වැරැද්ද. 2009 දී තමයි මම ජීවිතය ලස්සනයි චිත්‍රපටියේ රඟපෑවේ. ඊට පස්සේ මට එක දිගට ටෙලිනාට්‍ය ලැබුණා. ඒ නිසා සිනමාවට වෙන් කරන්න කාලය ගැන ප්‍රශ්නයක් තියෙන්නේ.

තමන්ගේ ගමනට රංගන ක්ෂේත්‍රය තෝර ගත්ත එක ගැන මහේෂි සතුටුවෙනවද?
ඔව්. අපි වෙන ක්ෂේත්‍රයක වැඩ කළා නම් අපිට ප්‍රේක්ෂක ආකරෂණය ලැබෙන්නේ නෑනේ. දැන් කොහේ ගියත් අපිට විශේෂ සැලකිල්ලක් ලැබෙනවා. ඒක වාසනාවට ලැබුණ දෙයක්. හැබැයි ජනප්‍රියත්වය පරිස්සමට පාවිච්චි කරන්න ඕනි.

සමහර රංගන ශිල්පීන් කියනවා දැන් ඔවුන්ට ලැබෙන ජනප්‍රියත්වය අඩුයි කියලා. ඒත් මහේෂිට නම් ලැබෙන ගරුත්වයේ ප්‍රශ්නයක් නෑ වගේ?
අපි ගරුත්වයක් දුන්නොත් විතරයි අපිට ගරුත්වය ලැබෙන්නේ. අද කාලේ ෆොටෝ ෂූට් එකක් කරලා එන අයත් රංගන ශිල්පිනියන් කියලා ලේබල් ගහගන්න හදනවා. වැරදි කියන දේවල් ඕන කෙනෙක් අතින් වෙනවා. ඒත් කලාකරුවෝ ජනප්‍රිය නිසා ඒවා වැඩිපුර ප්‍රසිද්ධ වෙනවා. කොහොම වුණත් අපි ඉදිරිය ගැන හිතලාවත් වැදගත් විදිහට ඉන්න ඕනි. මොකද නැත්තම් කතා අහගන්න වෙනවානෙ.

මහේෂි මිනිස්සු කියන දේවල් ගැන හිතලා වැඩ කරන නිසාද බොහෝ දේවල් හංගන්නේ?
මෙහෙමයි මගේ පෞද්ගලික ජීවිතේ දේවල් මාධ්‍යයට කියලා නෑ. හැබැයි එක එක අය මගේ ජීවිතය ගැන රසකතා කියනවා. මම ඒ අයට ඇත්ත පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපිට සමාජයට ඕන විදිහට ජීවත් වෙන්න බැහැනේ. අපි දෙයක් කරද්දී, අපේ සැමියන්ට, දරුවන්ට මුහුණ දෙන්න පුළුවන් විදිහට වැඩක් කළොත් හොඳයි. මම ලංකාවේ ඉන්න නිසා හැම දෙයින්ම පරිස්සම් වෙලා ජීවත් වෙනවා.

අනාගතය ගැන හිතලා වැඩ කරනවා වගේ?
අපිට ඉදිරි ගමනක් තියෙනවා. අපිට මෝඩයෝ වගේ හැසිරෙන්න බැහැ. සමහර ළමයි ක්ෂේත්‍රයට ඇවිත් කරන මෝඩ වැඩවලට ප්‍රේක්ෂකයෝ දාන කමෙන්ට් දැක්කම ජීවිතයම එපා වෙනවා. කලා ක්ෂේත්‍රයට එන්න පහසු ක්‍රම තියෙනවා. එහෙම ඇවිත් කරන වැඩවලට හැමෝටම තමයි බැණුම් අහන්න වෙන්නේ.

මහේෂිගේ ජීවිතයට වාරණ පනවලා තියෙන්නේ කවුද?
වාරණයක් නෙමෙයි. හැබැයි මගේ ජීවිතේ පස්සෙන්ම ඉන්නේ මගෙ අම්මා. ඒ වගේම මගෙ පෞද්ගලික ජීවිතේ ඉන්න හැමෝම සහ මගේ ප්‍රේක්ෂකයෝ ගැනත් හිතලා තමයි මම වැඩ කරන්නේ.

මහේෂි ගොඩක් පරිස්සම් වෙන නිසාද ගොසිප්යවලින් බේරිලා ඉන්නේ?
ඇත්තමට කාගෙන්වත් බැණුම් අහන්නෙ නැතුව ඉන්න පුළුවන් නම් ඒකත් පිනක්. ලංකාවේ මිනිස්සුන්ගෙන් බැණුම් අහන්න මං බයයි. ඒ නිසා මම ප්‍රසිද්ධ ස්ථානවලට වුණත් ගිහාම ඔළුවෙන් වැඩ කරනවා. රංගන ශිල්පිනියන් මාර විදිහට බැණුම් අහනවනේ.

මහේෂිගේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධ නොකරන්නේ ඒ නිසාද?
උදේ සවස ෆේස්බුක් ඇවිත් කරන හැමදේම ප්‍රසිද්ධ කරනවට වඩා මෙහෙම ජීවත් වෙන එක හොඳයි. අපි දේවල් ප්‍රසිද්ධ කළත් වැරදියි. නොකළත් වැරදියි. ඉතිං හැමදේම අවශ්‍ය කාලෙදි එළියට දානවා.

ජීවිතේ විශේෂ තොරතුරු කියන්න කැමතිද?
මට ජීවිතය ගැන කියන්න තියෙන්නේ ඒක මාර ෂෝක්. මම ඇත්තටම සතුටින් ජීවත් වෙනවා. මම දැන් අංග සම්පූර්ණයි. මම වැඩකරන ක්ෂේත්‍රයෙන් මට ගරුත්වයක් ලැබෙනවා. හරිම සුන්දරව ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යනවා.

මහේෂි මවක් වෙන්න සූදානම් කියලා පහුගිය කාලේ කතා පැතිරුණා. පුංචි තිරයේ මව් භූමිකාව නිරූපණය කරලා දැන් ගෙවෙන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
එක්තරා ටෙලි නාට්‍යයක මට මවකගේ චරිතය කරන්න ලැබුණා. ඒ දරුවා මගේ කියලත් ඡායාරූප පළවුණා. මම කවදාහරි මගේ දරුවෙක්ට නෙමෙයි ඕනම දරුවෙක්ට ආදරේ කරනවා. මම දරුවන්ට ආදරෙයි. විශේෂයෙන් පුතෙක්ට.

තිළිණි කෞෂල්‍යා විජේසිංහ