"මේ ගෑණි එලියට ඇදලා දාපන්" - දරුවාට බෙහෙත් ගන්න ගිය අම්මාට ඉස්පිරිතාලෙන් ගුටි බැට

අසනීප වූ සිවු හැවිරිදි දරුවකුට බෙහෙත් රැගෙන ඒමට ගම්පොළ පොලිස් වසමේ ගලහ ග්‍රාමීය රෝහලට ගිය මවකට එහි වෛද්‍යවරිය බැන වැදී ඇති අතර රෝහල් උපස්ථායිකාවක් එහිදී කළ පහර දීමෙන් එම මව මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

දරුවා කැටුව වෛද්‍යවරිය ළඟට යෑමේදී කුඩා දරුවාගේ පාවහන් නොගැලවීම හා දරුවා කහින්නට වූ නිසා මෙම පහරදීම හා බැන වැදීම කළ බවට එම මව ගලහ පොලිසියට පැමිණිලි කර තිබේ.

සිද්ධියෙන් රෝහල්ගත කර ඇත්තේ ඔපිස් හන්දිය
ප්‍රදේශයේ පදිංචි එම්. නිත්‍යකල්‍යාණි නමැති විසිහත් හැවිරිදි මවකි. ඇයගේ පැමිණිල්ල අනුව සිවු හැවිරිදි දරුවා උණ - හෙම්බිරිස්සා ගතියෙන් පෙළීම නිසා පෙරේදා (16දා) සවස 3.00ට පමණ ගලහ රෝහලට දරුවා කැටුව ගොස් තිබේ. එහි වෛද්‍යවරිය අසලට යෑම සඳහා සියලු දෙනා පාවහන් ගැලවිය යුතු වන අතර ඒ අනුව මව පාවහන් ගලවා ඇතුළට යෑමට සූදානම් වූ අවස්ථාවේ දරුවා කහින්නට පටන්ගෙන තිබේ.

දරුවාගේ පාවහන් ගැලවීමට පෙර කහින්නට වූ නිසා කෝපයට පත් වූ වෛද්‍යවරිය 'ඔහොමද ළමයින් හදන්නේ අත තියලා කහින්න පුරුදු කළේ නැද්ද? හරක් වගේ ළමයින් හදලා අපටයි කරදර' ආදී වශයෙන් බැන වැදී තිබේ.

ඒ අවස්ථාවේ මෙම මව 'අනේ ඩොක්ට මේ පොඩි දරුවාට ඔය විදියට බනින්න එපා. එයාට තවම මේවා තේරෙන්නේ නෑ. අසනීපය නිසා කැස්ස එන්නේ. එයා ඒක කොහොමද නතර කරගන්නේ?' කියා විමසා ඇත.

එයින් කෝප වූ වෛද්‍යවරිය උපස්ථායිකාවකට කතා කොට 'මේ ගෑනි එළියට ඇදලා දාපන්' කියා කෑ ගසා තිබේ. ඒ සමඟම එතැනට පැමිණි උපස්ථායිකාවක් වෛද්‍යවරිය ඉදිරිපිටම මෙම මවගේ කනට, මුහුණට හා හිස දෙසට පහර කිහිපයක් එල්ල කර ඇති අතර, ඇයගේ අතක්ද සූරා තිබෙන බව පැමිණිල්ලේ දැක්වේ.

පසුව මෙම උපස්ථායිකාව මෙම මව රෝහලෙන් එළියට ඇද දමා ඇති අතර, ඇය විසින් මේ බව පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ සේවයේ නියුතු සිය පියාට දුරකථනය මඟින් දන්වා තිබේ.

පියා වන එස්. නිත්‍යරාජ් එහි පැමිණ තොල් ඉදිමී නිය පහර වැදී සිටි සිය දියණිය කැඳවාගෙන ගොස් මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

කිරි දෙන සිය අතදරුවාත් සමඟ මෙම මව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම සිද්ධිය පිළිබඳව ගලහ ග්‍රාමීය රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරිය වන සිරුමිණි ද සිල්වා මහත්මිය මෙසේ පැවැසුවාය.

"අපේ රෝහල ටයිල් කරලා තියෙන්නේ. එම නිසා මෙහි පැමිණෙන සෑම රෝගියකුම පාවහන් ගැලවිය යුතුයි. මේ මව එයට අකැමැත්ත ප්‍රකාශ කරලා පසුව ගැලෙව්වා. දරුවාට නොනැවතී කැස්ස තිබුණා. මම එවිට ලේන්සුවක් පාවිච්චි කරන්න කීවා. පසුව ඇය මගේ කාමරයට පැමිණ ඔයාට මට කතා කරන්න ඕනෑ කිව්වා. කතා කළ විලාසය නිසා මම ඒ ගැන වැඩිය ගණන් ගත්තේ නෑ. පස්සේ එයා 'අපේ ළමයි හරක් නෙමෙයි' කියලා මට ‍ෙදාස් කිව්වා. එවිට උපස්ථායිකාවක් පැමිණ ඇය එළියට අරන් ගියා. පහර දීමක් සිදුවුණේ නෑ."

ගලහ පොලිස් ස්ථානාධිපති කේ.එම්.ආර්.එස්. කෝනාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. නීල් කළුආරච්චි මහතා ඇතුළු කණ්ඩායම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ අරඹා තිබේ.


gossip lanka