අධිවේගයේ කළු ගලක් නිසා මාර්ග සංවර්ධන අධිකාරියට චෝදනා - ව්‍යාපාරිකයෙකු ටයරයත් රැගෙන පොලිසීයට ඇවිත් වන්දි ඉල්ලයි

දක්ෂිණ අධිවේගි මාර්ගයේ තිබූ ගලකට තම මෝටර් රථයේ  ටයරය කැඩි ගිය බව පවසමින් ඒ සඳහා සාධාරන වන්දි මුදලක් ඉල්ලා මහරගම  ප්‍රදේශයේ පදිංචි  ව්‍යාපාරිකයකු විසින්  බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. කොට්ටාව පිවිසුමෙන් අධිවේගි මාර්ගයට ඇතුලු වී මෝටර් රථය  මාතර දෙසට ධාවනය කරමින් තිබියදී අදාළ මෝටර් රථයේ ඉදිරිපස වම් රෝදයේ හුලං ගිය බවත් පසුව තමා මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී අධිවේගී
මාර්ගයේ කලු ගලක් තිබෙනු දුටු බවත් එම පැමිණිල්ලේ සඳහන්.

අදාල සිදුවීමෙන් පසු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය අමතා  ව්‍යාපාරිකයා විසින් ඒ පිළිබඳව දැනුම් දී ඇති අතර ඒ අනුව පැය දෙකකට පමණ පසු අාපදා  රථය පැමිණ මෝටර් රථය පටවාගෙන කුරුඳුගහහැතැක්ම පිවිසුම තෙක් ගෙන ගොස් ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් 2500ක මුදලක් සහ  ටිකට් පත වෙනුවෙන් අයකරන රුපියල් 250 ක මුදලද අයකරගෙන ඇති බවයි ව්‍යාපාරිකයා පොලිසියට ඉදිරිපත් කල පැමිණිල්ලේ සඳහන් වන්නේ.

තමන්ට හානි වූ ටයරය වෙනුවෙන් නව ටයරයක් මිලදී ගැනීම සඳහා  රුපියල් 12,500ක මුදලක් වැය වූ බවත්, අධිවේගී මාර්ගයේ මුදල් දී ගමන් කලද එය නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා මෙවැනි ගැටළුවලට මුහුණදීමට සිදුවන බවත් පෙන්වා දෙමින් පැමිණිළිකාර ව්‍යාපාරික  අතුල අබේසිරිවර්ධන ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්.

මම කුරුඳුගහහැතැප්ම කාර්යාලයේ නිලධාරියෙකුගෙන් ඇහුවා මගේ වැරැද්දකින් නෙවෙයි මෝටර් රථයේ ටයරය ගලකට කැපුණේ මාර්ගය නිසි අයුරින් නඩත්තු නොකිරීම නිසා නේද කියලා. ඔහු මට දුන් උපදෙස් මත බණ්ඩාරගම ගැලනිගම කාර්යාලයට මම පෙරේදා (24) ඇවිත් මට වූ අසාධාරණය ගැන කිව්වහම, එහි නිලධාරී මහත්තයෙක් කිව්වා මෙවැනි දේවල්වලට වන්දි මුදල් දීම සම්බන්ධයෙන් ක්‍රමවේදයක් හදලා නැහැ කියලා. ඒ පාර මම ඔහුගෙන් ඇහුවා අපේ අතින් අනතුරක් වෙලා අධිවේගී මාර්ගයේ දේපළවලට අලාභ හානි වුණත් අය කර ගන්න ක්‍රමවේද විතරද හදලා තියෙන්නේ කියලා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක දැක්වූයේ මෙවැනි අදහසක්.

"මෙවැනි ටයර් පිපිරිම් සිද්ධීන් මාසයකට විස්සකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. අපිට එක පාරටම කියන්න බැහැ මෙම අයගේ මෝටර් රථයේ ටයරය ගලකට කැපුණ කියලා. ඒ වගේම ප්‍රකාශ කළ පමණින් අපිට හැකියාවක් නැහැ පිළිගන්න ඒ වගේම තීරණ ගන්න.''  ඔහු මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කළා කියලා දැන ගන්න ලැබුණා. පරීක්ෂණවලින් හෙළි වන තොරතුරු අනුව මෙන්ම ඔහු අපට ඒ පිළබඳ  ලිඛිතව ඉදිරිපත් කිරීමක් කළොත් අපි සලකා බලනවා."