ට්‍රැක්ටර් රෝදයත් සමග අඩි 30ක් ඉහළට විසිවී දෙදරු පියෙකු මරු දකී - හුළං ගසමින් සිටියදී රෝදය පුපුරා ගිහිල්ලා

ගම්පොළ පන්විලතැන්න ලෝරාවත්ත ප්‍රදේශයේ ගරාජයක්‌ තුළ විශාල ට්‍රැක්‌ටර් රෝදයක්‌ මත නැග එයට හුළං ගසමින් සිටි පුද්ගලයකු එම රෝදය පිපිරී රෝදයත් සමග අඩි 30 ක්‌ පමණ ඉහළ ඇති අධි බල විදුලි රැහැන් දක්‌වා විසි වී බිමට වැටීමෙන් ජීවිතක්‌ෂයට පත්ව ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.

පෙරේදා (25දා) සවස සිදු වූ මෙම සිද්ධියෙන්
මියගොස්‌ ඇත්තේ ලෝරාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නිලන්ත වීරසිංහ නමැති 46 හැවිරිදි දෙදරු පියෙකි.

මොහුගේ බිරිඳ හා පුත්‍රයකු විදේශ රැකියාවට ගොස්‌ සිටින අතර බාල පුත්‍රයා සමග මෙම පුද්ගලයා ගරාජය ආසන්නයේ නිවසක ජීවත් වෙයි. ස්‌ථිර රැකියාවක්‌ නොකරන මියගිය අය මෙම ගරාජයේ සුළු සුළු වැඩ කර දීම පුරුද්දක්‌ ලෙස සිදු කර ඇත.

පෙරේදා ගරාඡ් හිsමියා වෙනත් කාර්යයකට ගොස්‌ සිටියදී ගරාජය වෙත ගොස්‌ ඇති නිලන්ත හුළං ගැසීමට ගෙනවිත් තිබූ ට්‍රැක්‌ටර් රෝදයකට හුළං ගැසීමට සූදානම්ව ඇත. මාර්ගය අසලට ගෙන ඇති මෙම විශාල රෝදයට ඔහු හුළං ගසා ඇත්තේ ඒ මත නැග රෝදය නොසෙල්වෙන ලෙස බර යොදමිනි.

නමුත් එහිදී එක්‌වරම එම විශාල රෝදය පුපුරා ගොස්‌ ඇති අතර රෝදය ඉහළ ගොස්‌ ඇත්තේ එහි නැගී සිටි නිලන්ත ද සමගය. අනතුරුව ඉහළ ඇති විදුලි වයරයක්‌ ද කඩා ගෙන රෝදය ගරාජයේ වහළ කොනක ද වැදී බිම වැටී තිබේ.

ඉහළ ගිය නිලන්ත මාර්ගයෙන් අනෙක්‌ පසට වැටී ඇති අතර බිම වැටීමෙන් ඔහු බරපතළ තුවාල ලබා ඇත. වහාම ඔහු පන්විලතැන්න රෝහලට රැගෙන ගිය ද ඒ වනවිටත් මියගොස්‌ සිට ඇත. පශ්චාත් මරණ පරීක්‌ෂණ කටයුතු සඳහා සිරුර ගම්පොළ ශික්‌ෂණ රෝහලට රැගෙන ගොස්‌ තිබේ.


gossip lanka