පසුගිය ජූලි 2 වැනිදා අම්මා මියගියා -දවසක මම තනිවෙයි -මට සලකන්න කෙනෙක් නැති වෙයි – දීපානි ද සිල්වා

මගේ තාත්තා මියගියේ 1973දී. ඒ වෙද්දී මම පාස‍ලේ ශිෂ්‍යාවක්. ඉන් පස්සේ අපි සියලුම දෙනාගේ ජීවිතවලට තදින්ම බලපෑ චරිතය වුණේ මගේ අම්මා. මට අක්කලා දෙන්නයි, අයියලා දෙන්නයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. පවු‍ලේ ගෑනු ළමයි තුන්දෙනා අතරින් බාලයා මම හින්දා අම්මා මට වැඩි ආදරයක් දැක්වුවා. මට ගෙදරට කතා කළේ චූටි කියලා. පුංචි කා‍ලේ මම ටිකක් දඟයි. ඒත් වැඩි ආදරය හින්දද මන්දා අම්මා මට දඬුවම් කළේ බැරිම අවස්ථාවක
විතරයි එසේ කියමින් මේ කතා බහට එකතු වුණේ ප්‍රවීණ රංගන ශිල්පිණි දීපානි ද සිල්වායි. ඇගේ ආදරණීය මව වූ නන්එදිරි මැගී පියසි මැගිලියන් වීරතුංග සේනානායකගේ වියෝව පිළිබඳවත්, ඒ හරහා තමන්ගේ ජීවිතයට ඇති වූ කම්පනය පිළිබඳවත් දීපානි මේ විදියට අපත් සමග අදහස් බෙදා හදා ගත්තා.

ඔබේ ආදරණීය මෑණියන් මොන වගේ චරිතයක්ද?
අම්මා කයින් වගේම සිතින් හරිම ශක්තිමත් අත් උදව්වට කෙනෙක් හිටියත් ගෙදර කටයුතු අපේ කටයුතු වගේම කඩේ වැඩකටයුතු ගැනත් අම්මා තමයි හොයලා බැලුවේ. ලොකු අයියා කථිකාචාර්යවරයෙක්. මල්ලි ස්වාධීනව එයාගේ ආර්ථිකය ගොඩනගාගෙන යනවා. අනිත් අක්කලයි අයියයි ගුරුවරු. දරුවෝ හය දෙනාගේම ජීවිත සාර්ථකව ගොඩනගාගන්න අම්මගේ ධෛර්යය, ශක්තිය තමයි වැඩියෙන්ම බලපෑවේ.

අම්මගේ සෙවණේ ගෙවී ගිය ඒ සොඳුරු අතීතය අද සිහිපත් කරන්නේ කොහොමද?
අපි හිටියේ කළුතර කලමුල්ල කියන ගමේ. ඒක ධීවර පරිසරයක් තිබුණ ගමක්. වෙල් යායවල් නැතත් ගහකොළ පිරුණු පරිසරයක් තමයි ඉස්සර තිබුණේ. අම්මා අපිට නීති රීති දාලා හැදුවේ නැහැ. දුවන්න පනින්න සෙල්ලම් කරන්න කජු ගස්වල නඟින්න, අපිට නිදහස දුන්නා. අම්මාට කටට රසට කෑම වේල තිබිය යුතුමයි. බලමාළු කෙලවල්ලෝ, අම්මට තරම් රසට උයන්න කාටවත් බැහැ. කොස්, දෙල් වගේම බල මාළුව එක්ක ‍පොල් කෑම වේලට තියෙනවාමයි. ඒ අතීතය හරිම සුන්දරයි.

පවු‍ලේ බාල දුව ‘චූටි’ ගමෙන් කොළඹට ඇවිත් නිළියක් වෙනවාට අම්මා විරුද්ධ වුණේ නැද්ද?
මම බම්බලපිටියේ රංගන ශිල්ප ශාලිකාවේ නාට්‍ය හදාරනකොට වයස 20ක් විතර ඇති. හවස පුහුණුව ඉවර වෙලා ගෙදර යද්දී මහ රෑ වෙනවා. පස්සේ වීදි නාට්‍යවලටත්, වේදිකා නාට්‍යවලටත් එකතු වුණා. බස් එකෙන් බැහැල ගෙදරට වැඩි දුරක් නැහැ. මම රෑ. 12ටත් තනියම තමයි ගෙදර යන්නේ. කිසිම දාක අම්මා මට මොකුත් කිව්වේ නැහැ. අපේ වීදි නාට්‍ය කණ්ඩායමේ 25 දෙනෙක් ඒ දවස්වල අපේ ගෙදර නැවතිලා දවස් 3ක් කළුතර නගරයේ වීදි නාට්‍ය පෙන්නුවා. ඒ 25දෙනාටම අවශ්‍ය සියලුම සත්කාර ක‍ලේ අපේ අම්මා. මගේ කලා ජීවිතය ගැන අම්මා තුළ විශාල සතුටක් තිබුණා.

දීපානිගේ තනිකඩ ජීවිතය ගැන අම්මා දැක්වූයේ මොන විදියේ ප්‍රතිචාරයක්ද?
ඒ දවස්වල දෙතුන් වතාවක් මට කිව්වා විවාහයක් කරගන්න කියලා. මම ස්වාධීන ජීවිතයට කැමතියි කියලා කිව්වට පස්සේ. අම්මා නිහඬ වුණා. දවසක මම තනිවෙයි. මට සලකන්න කෙනෙක් නැති වෙයි කියලා නම් කිසිම දාක මට කියලා නැහැ. අම්මා ඒ විදියට සෘණාත්මකව හිතපු කෙනෙක් ‍නෙවෙයි.

අම්මාගේ අභාවය දීපානිට ලොකු කම්පනයක් ඇති කරන්න ඇති?
මීට සති කිහිපයකට කලින් රටේම ආන්දෝලනයක් ඇති කරපු මගේ රිය අනතුර වුණේ. අම්මා ලෙඩ වුණා කියලා ආරංචි වෙලා අම්මව බලන්න ගෙදර යන අවස්ථාවේදී. එදා ‍පොලිසි ගිහින් ඊට පස්සේ මම ගෙදර ගියා. රෝහල් ගත කළ අම්මා ටිකට් කපාගෙන ගෙදර ආවා. වයසත් එක්ක ඇති වූ ආබාධ ඇරුණාම අම්මට ලොකු අසනීප තත්ත්වයක් ඒ වේලාවේ තිබුණේ නැහැ. ඊට පස්සේ මම ආයෙම කොළඹ ආවා. අම්මා අයෙම අසනීප වුණත් ගෙදර අය මට කෝල් කළේ නැත්තේ රිය අනතුර සම්බන්ධ සිදුවීම හින්දා හැමෝම බයවෙලා හිටපු හින්දයි. පසුගිය ජූලි 2 වැනිදා අම්මා මියගියා. ඊට පසුව තමයි මට දැනුම් දුන්නේ. අම්මා ඉපදුනේ 1921-10-25 වැනිදා. අවුරුදු 97ක් ජීවත් වුණා. ඒත් අම්මගේ අඩුව දැන් තමයි වැඩිපුරම දැනෙන්නේ.

උපුටා ගැනීමකි.


gossip lanka