එහෙම ආකර්ෂණයක් තිබුණා – ඒත් මම ඒ කාටවත් කිට්ටු වෙන්න ගියේ නැහැ

කලා දිවියට වසර තිහක් සපිරුණත් ඇය තවමත් එදා වගේම සුන්දර, නිහතමානී චරිතයක්. ඇයගේ ජනප්‍රියත්වය තවමත් අඩුවක් වෙලා නැහැ. නමින් දිල්හානි ඒකනායක වන ඇය ගැන මේ දිනවල වැඩිපුර කතා වෙන්නේ ‘දෙයියන්ගේ රටේ’ ටෙලි නාට්‍යය නිසයි. ඒ නිසාම මේ ඉඩ ඇය වෙනුවෙන් වෙන් කළා.

කාලෙකට පස්සෙ නේද ඔබ පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ?
ඔව්. ගොඩක් කාලෙකට පස්සෙ තමයි දෙයියන්ගෙ රටේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.

ටිකක් වෙනස් කතා තේමාවක් නිසාද මේ සඳහා සම්බන්ධ වුණේ?
හාස්‍යයක් තියෙන නාට්‍යයක්. නමුත් මේ කතාව තුළ ලොකු ගැඹුරක් තියෙනවා. දඟලලා හිනස්සන කතාවක් ‍නෙවෙයි මේක. මටත් ආස හිතුණා. මොකද වෙනස් කතාවක්. ඒ වගේම මේ නාට්‍යයේ රඟපාන හැමෝම දක්ෂයෝ. ඒ නිසා මටත් ආස හිතුණා වැඩ කරන්න.

ඇයි පුංචි තිරයෙන් ටික කාලයකට ඉවත්වෙලා හිටියේ?
මම චිත්‍රපටවලට වගේ ගොඩක් ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණේ නැහැ. ඒ නිසා මම කරපු ටෙලි නාට්‍ය හරි අඩුයි.

ගුණාත්මක නිර්මාණ බිහිවීමේ අඩුවක් නිසාද නිර්මාණවලට දායක නොවන්නේ?
තෝරා බේරා ගැනීමක් කරන්න වෙලා තියෙනවා. අද ටෙලි නාට්‍යයක දවසකට කරන්න ගොඩක් වැඩ තියෙන නිසා හරි වෙහෙසයි ශරීරයට. ඒ නිසා මම කියලයි රූගත කිරීම්වලට යන්නේ. මට මේ ප්‍රමාණය විතරයි දවසකට කරන්න පුළුවන් කියලා. ඒ වගේම නිර්මාණ කරන්න අද අලුත් පරම්පරාවේ දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ඔවුන් හොඳ දේවල් කරගෙන යනවා.

ධර්ම යුද්ධයෙන් පසුව සිනමාවට සම්බන්ධ වුණාද?
චිත්‍රපට තුන හතරක් කළා. තවම ඒවා තිරගත වුණේ නැහැ.

ක්ෂේත්‍රයට එකතු වෙන නවක පරපුර ගැන මොකද හිතන්නේ?
මම එච්චරම හිතන්නේ නැහැ. දක්ෂයෝ එකතුවෙලා තියෙනවා. ඒ අයට හොඳ නිර්මාණ ලැබුණොත් වැඩ කරාවි කියන දේ තමයි කියන්න තියෙන්නේ.

එදා සහ අද ක්ෂේත්‍රයේ වෙනස මොන විදිහටද ඔබ දකින්නේ?
එදා තමන්ගෙ වැඩවලට වෙලාවක් තිබුණා. අද එහෙම නැහැ. තමන්ගෙ වැඩකටවත් වෙලාවක් නැතිවෙලා තියෙනවා. ඒ නිසා අර්ථවත් දේවල් ගැන කතාබහ කරන්න වෙලාවක් නැහැ. වෘත්තිය විතරක් පවතින තත්ත්වයක් තියෙනවා.

අද ඉන්න තැන ගැන ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
මගේ ජීවිතයේ හොඳ, නරක දෙක හොඳට අඳුනනවා. අතීතයේ ජීවත්වෙලා ඉන්න නැහැ වගේම අතීතය ගැන දුක්වෙන කෙනෙක් ‍නෙවෙයි. හැම වෙ‍ලේම හිතන්නේ මේ දවස මම හොඳින් ඉන්න ඕන කියලයි.

ජීවිතේ ඉටු කරගත් හීන තියෙනවාද?
මම හීන දකින්න අකමැති කෙනෙක්. ඒ නිසා හීන දකින්නෙම නැහැ. මම හිතන්නෙ නිතරම මේ ජීවිතය අස්ථිර දෙයක් කියලයි.

ඔබ ක්ෂේත්‍රයට එකතුවෙලා වසර තිහක් සපිරෙනවා. නිර්මාණකරණයට යොමුවෙන්න අදහසක් නැද්ද?
එහෙම චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නවත්, අධ්‍යක්ෂණය කරන්නවත් මට අදහසක්වත් නැහැ. ඒ දේ වෙනම විෂයක්. ඒ පැත්තට යන්න නම් මම ඒ ගැන වැඩිපුර හදාරන්න ඕන. දෙයක් හදාරන්නෙ නැතුව කරන්න අමාරුයි.

ඔබ රංගන ශිල්පිනියක් නොවුණා නම් මොන ක්ෂේත්‍රය නියෝජනය කරාවිද?
එහෙනම් මම නර්තන ශිල්පිනියක් වේවි.

කොහොමද ගෙදරදි කාලය ගත කරන්නේ?
ගෙදර වැඩ කරනවා. උයනවා, වත්තේ පිටියේ වැඩ කරනවා. ‍පොත්පත් කියවනවා. මම ගොඩක් ආසයි කියවන්න. හොඳ චිත්‍රපට ගෙනත් බලනවා. ඒ නිසා ගෙදරදී විවේකයෙන් තමයි කාලය ගතවෙන්නේ.

විවේකයක් ලැබුණාම කොහෙද යන්න කැමති?
එහෙම විවේකයක් ලැබුණාම විශේෂයෙන් යන්න තැනක් නැහැ. ගෙදරදිත් විවේකයෙන් තමයි මම ඉන්නේ. සීතල පළාත්වල තමයි ඇවිදින්න කැමති. වැඩිය ගෙවල් නැති රිවර්ස්ටන් වගේ පැතිවල මම ඇවිදින්න කැමතියි.

ඔබ තවමත් සුන්දරයි. රහස මොකක්ද?
මම හිතන්නේ මගේ හිත. මම සරලව ජීවත්වෙන නිසා මට පුදුම සැහැල්ලුවක් තියෙනවා. ඒ සැහැල්ලුවයි මගේ මුණෙන් පේන්නේ. පීඩාකාරීව හිටියොත් ඒ බව මුණෙන් පේනවා.

රංගන ක්ෂේත්‍රයට එකතු වෙන්න කලින් ඔබේ සිහින තරු වුණේ කවුද?
‍පොඩි කා‍ලේ ඉඳන්ම විජය කුමාරතුංගටයි, මාලනී ෆොන්සේකාටයි ගොඩක් කැමතියි. කාලයක් යද්දි හැමෝම රඟපාන චිත්‍රපට ගොඩක් ආසාවෙන් බැලුවා. දැනුත් හැමෝම මට විශේෂයි.

රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඔබට ලොකු ආකර්ෂණයක් ලැබෙන්න ඇති?
ඔව්. එහෙම ආකර්ෂණයක් තිබුණා. මම ක්ෂේත්‍රයට ආපු කා‍ලේ තරුණ පිරිස හරි අඩුයි. ඩිලානි, ඊට පස්සේ සංගීතා ආවා. අපට කරගන්න බැරි තරම් වැඩ තිබුණා.

ක්ෂේත්‍රයේ වැඩ කරද්දි හිත ගිය අය හිටියේ නැද්ද?
එහෙම හිටපු අය හිටියා. ඒත් මම ඒ කාටවත් කිට්ටු වෙන්න ගියේ නැහැ. කැමති වෙච්ච අය හිටියට ඒ අය සදාකාලික වුණේ නැහැ. හැබැයි ක්ෂේත්‍රයේ කෙනෙක්ම එක්කයි මම විවාහ වුණේ. මම රංගන ක්ෂේත්‍රයට ආපු හැටියේම විවාහ වුණා. ඊට පස්සේ පුතා ලැබුණා. ජීවිතේ වෙනස් වුණ නිසා ඒ දේවල් ගැන හිතන්න ගියේ නැහැ.

පුතා රංගනයට එකතු වෙන්න කැමැත්තක් නැද්ද?
එයා උසස් අධ්‍යාපනයට විදේශගත වෙලා ඉන්නේ. ඒ වැඩකටයුතුත් දැන් අවසන් වේගෙන යන්නේ. ඊට පස්සේ ලංකාවට ඔහු ඒවි. මම කැමති එයා ඉගෙන ගත්ත පැත්තෙන් ඉස්සරහට යනවට. ආසාවට රංගනයට ආවත් වර්තමානයේ කලාව වෘත්තිය කර ගන්නවාට මම කැමති නැහැ.

තිළිණි කරුණාරත්න



gossip lanka