ධනුෂ්ක ගුණතිලක අමාරුවේ වැටුනේ මිතුරා නිසාද? තරුණියන් නිසාද ? - හොටෙල් කාමරයේ සිදු වූ සියල්ලේ සුළමුල හෙළිවේ

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම දකුණු අප්‍රිකානු පිල පරාජය කර ඓතිහාසික ටෙස්‌ට්‌ තරගාවලි ජයග්‍රහණයක්‌ ලබා ගත්තේය. දකුණු අප්‍රිකානුවන් දණගස්‌සවා එවැනි ජයග්‍රහණයක්‌ අප ලබා ගත්තේ වසර 12 කට පසුවය.

එහෙත් මේ සුවිශේෂී ජයග්‍රහණයේ නියම සතුට භුක්‌ති විඳීමට අපේ ක්‍රිකට්‌ කණ්‌ඩායමට සහ ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට ඉඩ ප්‍රස්‌ථාව නොලැබුණේ තරුණ ක්‍රීඩකයකු සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නයක්‌ නිසාය.

සිදුවීම වාර්තා වන්නේ අප දෙවැනි ටෙස්‌ට්‌
ජයග්‍රහණය අභිමුවේ සිට දිනට පෙරදින එනම් ජුලි මස 21 වැනිදා රාත්‍රියේදීය.


පොලිස්‌ විමර්ශනවලින් හෙළිවූ අන්දමට මේ ජුගුප්සාජනක ක්‍රියාවලියේ කථානායිකාව සිල්ඡේ තයිලෑන්ය. ඇය 23 හැවිරිදිය. තයිලෑන් නෝර්වේ ජාතික තරුණියක වූවාය. තයිලෑන්ගේ මව එරට පොලිසියේ උසස්‌ නිලධාරිනියකි.

තයිලෑන්ගේ මිතුරිය හේඡ් බර්ග් බැකින්සින්ය. ඇය ද නෝර්වේ ජාතික තරුණියක වූවාය. මොවුන් දෙදෙනා එරට ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරයක්‌ කරගෙන යන්නීය.

සෙල්ලක්‌කාර තරුණියන් දෙදෙනකු වන මොවුන් ශ්‍රී ලංකාවේ සංචාරයට එන්නේ ඉකුත් 15 වැනිදාය. ඔවුන් සතියක කාලයක්‌ ශ්‍රී ලංකාවේ ගත කළහ.

රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් විනෝද වූ තරුණියන් දෙදෙනා 20 වැනිදා කොළඹ නගරයට ආහ. ඒ 22 වැනිදා නැවත ඔවුන් මව් රටට යැමේ බලාපොරොත්තු ඇතිවය.

තයිලෑන් සහ බැකින්සින් නවාතැන් ගත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි තරු හෝටලයකය. ශ්‍රී ලංකාවට පැමිණි මුල් දිනයේදීම තයිලෑන්ට ෆේස්‌බුක්‌ හරහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ තරුණ ක්‍රීඩකයකු වන ධනුෂ්ක ගුණතිලක හඳුනා ගන්නට ලැබිණි.

නෝර්වේ රට ක්‍රිකට්‌ ක්‍රීඩාවට උනන්දුවක්‌ නොදක්‌වන රටක්‌ නිසා තයිලෑන් ක්‍රිකට්‌ ක්‍රීඩාව ගැන මෙලෝ හසරක්‌ දැන සිටියේ නැත.

එහෙත් තරුණ ක්‍රීඩකයාගේ කඩවසම් බව ෆේස්‌බුක්‌ හරහා දුටු තයිලෑන් ඔහු හා මිතුදමක්‌ ගොඩනඟා ගන්නට උනන්දු වූවාය. ෆේස්‌බුක්‌ හරහා ඔවුන් නිතර අදහස්‌ හුවමාරු කර ගත්තේ එය හුදෙක්‌ මිතුදමකට පමණක්‌ සීමා කරගෙනය.

ෆේස්‌ බුක්‌ හරහා සිදුවූ අදහස්‌ හුවමාරුව ජංගම දුරකථනයෙන් කෙරුණු සංවාදයක්‌ දක්‌වා දුරදිග යැමට ඒ තරම් කාලයක්‌ ගතවුණේ නැත. ෆේස්‌බුක්‌ මිතුදම දොරේ ගලා යන්නට විය.

"මම හෙට ආපහු නෝර්වේ යනවා. මං කැමතියි යන්න ඉස්‌සර ඔයාව දකින්න.

තයිලෑන් තම ෆේස්‌බුක්‌ මිතුරා වූ ධනුෂ්කට කීවාය. ඒ වනවිට ධනුෂ්ක දෙවැනි ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කරමින් සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම නවාතැන් ගෙන සිටියේ ද කොල්ලුපිටිය ප්‍රදේශයේම පිහිටි තරු හෝටලයකය.

21 වැනිදා රාත්‍රියේ තයිලෑන්ට ධනුෂ්කගෙන් ඇමතුමක්‌ ලැබිණි. ඒ වන විට තායිලෑන් සහ ඇගේ මිතුරිය වන බැකින්සින් සිටියේ හෝටල් ආලින්දයේ වයින් පානය කරමින්ය.

"මම හෝටලේ ඉන්නෙ. හෙට ඔයා යන නිසා මමත් කැමතියි ඔයා එක්‌ක ටිකක්‌ කතා කරන්න.

 ධනුෂ්ක ෆේස්‌බුක්‌ මිතුරියට තමන් නතර වී සිටින හෝටලයට එන්නට ඇරයුම් කළේය.

පසුදින මව්රට බලා යැමට නියමිත නිසා තයිලෑන් ද ඊට කැමැති වූවාය. ඇය තම මිතුරිය ද සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම නවාතැන් ගෙන සිටින කොල්ලුපිටියේ පිහිටි තරු හෝටලය වෙත ආහ.

ධනුෂ්ක හෝටලයේ සිටියේ ඔහුගේ සමීප මිතුරකු සමඟය. ඔහු නමින් සන්දීප් ජූඩ් සෙල්ලයියාය. බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන සිටි ශ්‍රී ලාංකිකයකු වූ සෙල්ලයියා 26 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. එංගලන්තයේ එක්‌තරා ක්‍රිකට්‌ සංගමයක ක්‍රීඩා කරන සෙල්ලයියා නිවාඩුවක්‌ ගතකිරීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.

ධනුෂ්ක තම ෆේස්‌බුක්‌ මිතුරිය හෝටල් ආලින්දයේදී උණුසුම් අයුරින් පිළිගත්තේය.

"මේ සන්දීප් සෙල්ලයියා, මගේ හොඳම යාළුවෙක්‌."

ධනුෂ්ක තම මිතුරා නෝර්වීජියානු තරුණියන් දෙදෙනාට හඳුන්වා දුන්නේය.

"අපි යමු රූම් එකකට වයින් එකක්‌ බිබී නිදහසේ කතා කරන්න පුළුවන්නෙ."

ධනුෂ්කගේ යාළුවාගේ යෝජනාවට නෝර්වීජියන් තරුණියන් දෙදෙනා ද එක පයින් කැමැති වූහ. නෝර්වීජියන් තරුණියන් දෙදෙනා ධනුෂ්ක ගුණතිලක නවාතැන් ගෙන සිටින කාමරයට එන්නේ ඒ ආරාධනාවට අනුවය. තරුණියන් දෙදෙනාට අවශ්‍ය කරන ආහාරපාන සියල්ල ඇනවුම් කළේ ධනුෂ්කය. ඒ සඳහා මුදල් ගෙව්වේ ද ඔහුය.

නන්නාඳුනන රටක ආගන්තුක තරුණියන් තරුණයන් දෙදෙනෙක්‌ තම කාමරය වෙත ගොස්‌ මත්පැන් පානය කිරීමට කළ ආරාධනය ලැඡ්ජා බයට හැදුණු චරිතවත් තරුණියක්‌ පිළිගනීද? එවැනි අත්දැකීම් ඇති තරුණියකට නම් එය අරුමයක්‌ නොවන්නේය.

නෝර්වීජියානු තරුණියන් දෙදෙනා මත්පැන් පානයට ධනුෂ්කගේ යාළුවා කළ ආරාධනාව එක පයින් පිළිගත්තේ එවැනි ක්‍රියාවන් ඔවුන්ට අලුත් අත්දැකීමක්‌ නොවන නිසා විය යුතුය. සුරූපී තරුණියන් දෙදෙනාගේ කතා විලාශය මෙන්ම හැඟීම් අවදි කරවන හැසිරිම හමුවේ ධනුෂ්කගේ යාළුවා සෙල්ලයියා සිටියේ කුල්මත් වූ ස්‌වභාවයකින් ය.

ඔවුන් එදින මධ්‍යම රාත්‍රිය වන තුරු මත්පැන් පානය කරමින් විනෝද වූහ. ධනුෂ්ක තම ෆේස්‌බුක්‌ මිතුරිය සමඟ හුදකලා වෙද්දී සන්දීප් සෙල්ලයියා ඇගේ මිතුරිය සමඟ විනෝද වීමට උත්සාහ කළේය.

මධු පානයෙන් කුල්මත් වී සිටි නෝර්වීජියන් තරුණියන් දෙදෙනා රිසි සේ විනෝද වූහ.

තම හැඟීම්වලට වහල් වී සිටි සන්දීප් සෙල්ලයියා සීමා මායිම් බිඳගෙන යන්නට ගත් උත්සාහයට බැකින්සින් නමැති තරුණිය විරුද්ධ වූවාය. එහෙත් ඇගේ විරෝධය ගණනකට නොගත් සෙල්ලයියා තම අවශ්‍යතාව ඉටුකර ගත්තේය.

ඒ වන විට ධනුෂ්ක සහ ඔහුගේ ෆේස්‌බුක්‌ මිතුරිය නින්දට වැටී සිටියහ.

පසුදා අලුයම තම මව් රටට යැමට නියමිතව සිටි නිසා නෝවීජියන් තරුණියන් දෙදෙනා අවදි වුණේ දැඩි කලබලයෙන් යුතුවය. ඔවුන් 22 වැනිදා උදැසන කොල්ලුපිටියේ පිහිටි හෝටලයෙන් පිටවුණේ කටුනායක ගුවන් තොටුපළ බලා යැමටය.

තයිලෑන් ධනුෂ්කගෙන් සමුගත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයේ අවසන් දිනය අමතක නොවන දිනයක්‌ කිරීම පිළිබඳව ඔහුට මුව නොසෑහෙන සේ ස්‌තුති කරමින්ය. එහෙත් බැකින්සින් සිටියේ කෝපයට පත් වූ ස්‌වරූපයකින් ය. නෝර්වීජියන් තරුණියන් දෙදෙනා කුලී රථයකින් කටුනායක ගුවන් තොටුපළ බලා යැමට පිටත් වුහ.

බැකින්සින් තම මිතුරිය වන තයිලෑන් සමඟ කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත ආවේ 22 වැනිදා උදැසනය.

කොල්ලුපිටියේ පිහිටි හෝටලයකදී තරුණයකු තමාට අතවර කළ බවට බැකින්සින් නමැති තරුණිය කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත පැමිණිලි කළාය.

මවු රටට යැමට අති දිනය පසුදාට ඇති බව තරුණියන් දෙදෙනා දැන ගත්තේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුවය. ඔවුන්ට නියමිත ගුවන් යානය තිබෙන්නේ 23 වැනිදා පෙරවරුවේ බව දැනගත් තරුණියන් දෙදෙනා පොලිසිය වෙත පැමිණිල්ල කර ආපසු කොළඹ බලා යැමට පිටත් වූහ.

"මට කරපු අපරාධයට දඬුවමක්‌ ලැබෙන්න ඕනෙ. මට සාධාරණයක්‌වෙනකල් මම බලා ඉන්නවා....."

බැකින්සින් නමැති තරුණිය පොලිසියෙන් පිට වුණේ තමාට සාධාරණයක්‌ අවශ්‍ය බව කියමින් ය.

නෝර්වීජියන් තරුණියන් දෙදෙනා කළ පැමිණිල්ල ඉතාම බරපතළ එකක්‌ බව තේරුම් ගත් කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්‌ථානාධිපති වනසිංහ මහතා ඒ මොහොතේම මේ පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය දැනුවත් කළේය. නෝර්වීජියන් ජාතික තරුණියකට අතවර කිරීම බරපතළ සිදුවීමකි. එය රාජ්‍යතාන්ත්‍රික මට්‌ටමේ ප්‍රශ්නයක්‌ වීමට ඉඩ ඇතැයි සිතූ කොල්ලුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති බන්ධු ප්‍රියදර්ශන ද සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වුණේය. පැමිණිලි සටහනේ තිබූ ජංගම දුරකථනයට ස්‌ථානාධිපතිවරයා ඒ මොහොතේම ඇමතුමක්‌ ලබා ගත්තේය.

පැමිණිල්ල ඉදිරිපත් කළ බැකින්සින් සහ තයිලෑන් ඒ වන විටත් ශ්‍රී ලංකාවේ සිටින බව දැනගැනීමෙන් ප්‍රියදර්ශන සිල්වා මහතා සතුටට පත් වුණේය. මෙම සිද්ධිය පිළිබඳව කඩිනමින් විමර්ශන පැවැත්වීම සඳහා ඒ මොහොතේ ම නිලධාරීන් කණ්‌ඩායමක්‌ යෙදවීමට කොල්ලුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පියවර ගත්තේය.

කොල්ලුපිටිය පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂකවරියක වන නෙල්කා ශිරෝමාලා, ඇතුළු නිලධාරීන් පිරිසක්‌ නෝර්වීජියන් තරුණියන් සොයා විමර්ශනය ආරම්භ කළහ. තරුණියන් දෙදෙනා ඒ වනවිට නවාතැන් ගෙන සිටියේ වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි හෝටලයකය. පැමිණිල්ලේ තිබූ තොරතුරු අනුව තරුණිය අතවරයට පත් වූ හෝටලය වෙත ගිය පොලිස්‌ නිලධාරීන් සීසීටීවී දර්ශන පරීක්‍ෂා කර සැකකාර තරුණයා හඳුනා ගත්තේය. නෝර්වීජියන් තරුණියන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට යද්දී සැකකාර තරුණයාගේ ඡායාරූප කීපයක්‌ රැගෙන යැමට පොලිස්‌ පරීක්‍ෂකවරිය අමතක කළේ නැත.

මේ සිදුවීමට ක්‍රිකට්‌ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සම්බන්ධයක්‌ තිබෙන බව හෙළිවන්නේ නෝර්වීජියන් තරුණියන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දීය.

ධනුෂ්ක මගේ හොඳ යාළුවෙක්‌ වුණා. මම එයත් එක්‌ක විනෝද වුණා. ඒක කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. ඒත් එයාගෙ යාළුවා සන්දීප් තමයි මේ වැරැද්ද කළේ. එයා මගේ යාළුවාගෙ අකමැත්ත උඩ එයාට අතවර කරලා තියෙනවා. මේකට අපි සාධාරණයක්‌ බලාපොරොත්තු වෙනවා.

බැකින්සින් සිදු වූ සියල්ල පොලිස්‌ පරීක්‍ෂකවරිය හමුවේ හෙළි කළාය. සීසීටීවී කැමරා මගින් ලබාගත් තරුණයාගේ ඡායාරූප පොලිස්‌ නිලධාරීන් නෝර්වීජියන් තරුණියන්ට පෙන්වුහ. ඒ ඡායාරූපවල සිටින්නේ සන්දීප් සෙල්ලයියා බව හඳුනා ගැනීමට තරුණියන් දෙදෙනාට අපහසු වුණේ නැත.

"සන්දීප් සෙල්ලයියා මාරුවෙන්න ඉස්‌සර අල්ල ගන්න ඕනෙ. එහෙම නොවුණොත් අපට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා."

කොල්ලුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රියදර්ශන සිල්වා මහතා විමර්ශන නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේ හැකි ඉක්‌මනින් සන්දීප් සිටින ස්‌ථානය සොයා ගන්නා ලෙසය. "ඒකත් එකට මිනිහ අද මැච් එක බලනව ඇති. එස්‌. එස්‌. සී. ග්‍රවුන්ඩ් එකට ගියොත් මිනිහව සොයාගන්න පුළුවන් වෙයි." පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය.

කොළඹ දකුණ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සමන් යටවර මහතා පොලිස්‌ අධිකාරි ඊ. ඒ. දයාරත්න මහත්වරුන් විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස්‌ ලබා දීමට කටයුතු කළහ.

පොලිස්‌ කණ්‌ඩායම කොළඹ එස්‌. එස්‌. සී. ක්‍රීඩාංගණයේ සෝදිසි මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ. වැඩි වේලාවක්‌ ගත වීමට පෙර සන්දීප් සෙල්ලයියා සොයා ගැනීමට පොලිස්‌ නිලධාරීන් සමත් වූහ.

ක්‍රීඩාංගණයට පැමිණි පොලිස්‌ නිලධාරීන් එකවරම තමා අත්අඩංගුවට ගනිද්දී සන්දීප් තුෂ්නිම්භූත වුණේය. තමන් සමඟ හෝටලයේ පෙම් සුව විඳිමින් සිටි නෝර්වීජියන් තරුණිය තමන්ට එරෙහිව පැමිණිල්ලක්‌ කරනු ඇතැයි සන්දීප්ට කිසි ලෙසකින්වත් සිතුනේ නැත.

සන්දීප් සෙල්ලයියා කොල්ලුපිටිය පොලිසිය වෙත රැගෙන ගොස්‌ ඔහුගෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට විමර්ශන නිලධාරීහු කටයුතු කළහ. අතවරයට පත් වූ නෝර්වීජියන් ජාතික තරුණිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීමට ද පොලිස්‌ නිලධාරීන් පියවර ගත්තේය.

නෝර්වීජියන් තරුණියකට බලහත්කාරකම් කිරීමේ චෝදනාව මත සන්දීප් සෙල්ලයියා බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර 23 වැනිදා අලුයම තරුණියන් දෙදෙනා නෝර්වේ බලා පිටව යන්නේ යළි කිසි දිනයක ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව තම ෆේස්‌ බුක්‌ ගිණුම හරහා දන්වමින්ය.

ඒ වන විට මේ සිදුවීමෙන් මුළු රටම ගිනි ගනිමින් තිබුණේය. ධනුෂ්ක ගුණතිලකගේ මිතුරකු වන සන්දීප් සෙල්ලයියා නෝර්වීජියන් තරුණියන් දෙදෙනකු තම හෝටල් කාමරයට කැඳවා ඔවුන්ට අතවර කළ බවට වූ ප්‍රවෘත්තිය ලැව් ගින්නක්‌ මෙන් රටපුරා පැතිර යන්නට විය.

අන්තර්ජාලය ඔස්‌සේ ද මේ ප්‍රවෘත්තියට ලැබී තිබුණේ ප්‍රමුඛස්‌ථානයකි. එහෙත් පොලිස්‌ විමර්ශනවලින් හෙළි වුයේ මේ අතවර සිද්ධියට ධනුෂ්ක ගුණතිලකගේ සම්බන්ධයක්‌ නොමැති බවයි. ඒ වනවිට මේ සිදුවීම ලොව පුරා ක්‍රිකට්‌ ක්‍රීඩා කරන රටවල ද ප්‍රචාරය වී තිබුණේය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට මැකිය නොහැකි කළු පැල්ලමක්‌ එක්‌ කිරීමට මේ සිදුවීම ඉවහල් විය. අප ලැබූ ඓතිහාසික ක්‍රිකට්‌ ජයග්‍රහණයේ ගෞරවය හෑල්ලුවට ලක්‌ කරමින් ඉස්‌මතු වුණේ නෝර්වීජියන් තරුණියට අතවර කිරීමේ සිදුවීමය.

 හේමන්ත රන්දුණු