මෛත්‍රි ජනාධිපති වෙන්න කලින් රාජ යෝගය මුල් වරට හෙළි කරපු ධම්මාලෝක හාමුදුරුවෝ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපතින් රජකම උරුම වූ ඔටුන්න හිමි කුමාරයකු නොවේ. රාජකීය පෙළපතකින් පැවත එන්නකු හෝ ඊට ආසන්න රදල පරම්පරාවකට නෑකම් කියන්නකුද නොවේ.
බස්නාහිරින් රජරටට සංක්‍රමණය වූ ජනපදවාසී පවුලක පුතෙකි. ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු එතුමා 2016 ඔක්තෝබර් 16දා බීජිං නුවරදී චීන
ජනාධිපති ෂී ජින් පින් හමු විය.

'ඔබේ පියා දෙවැනි ලෝක යුද්ධයේදී නාසි හමුදාවන්ට විරුද්ධව ලෝක සාමය උදෙසා රාජකීය හමුදාවට බැඳී සටන් වැදුණු බව මා දැනුවත්' යැයි චීන ජනපති පවසද්දී ලියුම්කරුද එම ස්ථානයේ සිටියේය. ලංකාවේ රජකමට අගමැතිකමට ජනපති තනතුරට උරුමක්කාරයෝ පෝල්ම--කාරයෝ අපමණ සිටිති. එසේ තිබියදී සාමාන්‍ය ගොවි පවුලක තැනැත්තකු විධායක ජනපති පුටුවට පැමිණියේ කෙසේද? අහම්බයක් වූ එම රාජ යෝගය සැඟවී තිබුණේ කොහිද? ඒ සම්බන්ධ උදාන වාක්‍යය හෝ අනාවැකිය කීවේ කවුද යන්න බෙහෙවින් කුතුහලය දනවන ප්‍රශ්නයකි.

මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාගේ කේන්දරයේ (එවකට) සැඟවුණු රාජ යෝගය මුලින්ම හඳුනාගෙන තිබෙන්නේ භික්ෂුන් වහන්සේ නමකි. උන්වහන්සේ ඇලහැර, මොරගහකන්ද, 12 කණුව මහසෙන් මහා විහාරාධිපති සපුවිද ධම්මාලෝක හිමියෝය. උන් වහන්සේ කලකට ඉහත මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජන්ම පත්‍රය බලා ඔහුගේ ජීවිතයේ ඉදිරි මඟ ගැන අනාවැකි පළ කර ඇත. ජනාධිපති අපේක්ෂකයාගේ ජන්ම පත්‍රය තමන් වහන්සේ සතු වීම නිසා නොයෙකුත් කරදරයන්ට මුහුණ පෑමටද උන්වහන්සේට සිදුවී ඇත
මේ සපුවිද ධම්මාලෝක හිමියන් සමඟ අප කළ සාකච්ඡාවය.

ඔබ වහන්සේ මේ ප්‍රදේශයට පැමිණියේ කොපමණ කාලයකට පෙරද?

මම ඇලහැරට ආවේ 2002 පෙබරවාරි 8 වැනිදා.

එතකොට මේ මහසෙන් මහා විහාරය තිබුණාද?

නැහැ. වනාන්ත රය මැද පොඩි ගමක් තිබුණේ. පවුල් 20ක් විතර තමයි හිටියේ. මේ ස්ථානයේ පොඩි කුටියක් හදාගෙන පිණ්ඩපාත කරලා තමයි වැඩ පටන් ගත්තේ. සල් පිල්, මල්වට්ටි වෙන්දේසි මොනවත් නැතිව ශීල ව්‍යාපාර පවත්වා මේ ගම්මානයේ අහිංසක ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුවට මාර්ගය සැලැසීම තමයි අප කළේ. පේෂල ජයරත්න මහ ඇමැතිතුමා පන්සල්වලට රුපියල් ලක්ෂය බැගින් දුන්නා. ඒකෙන් කුඩා ගොඩනැඟිල්ලක් හදලා දහම් පාසලක් පටන් ගත්තා. වෙන ඉතින් රජයෙන් කියල අපි කරගෙන යන ධර්ම ශාස්ත්‍රීය වැඩවලට පිළිසරණක් ලැබුණෙ නැහැ.

මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමා සමඟ සම්බන්ධය හැදුණෙ කොහොමද?

ඇමැතිතුමාට එතුමාගේ කේන්දරය මා ලවා බලාගන්න වුවමනාය කියලා පණිවුඩයක් එවා තිබුණා.

ඔබවහන්සේට ජේ‍යාතිෂ ශාස්ත්‍රය සම්බන්ධ ලොකු දැනුමක් තිබෙන බවට ප්‍රසිද්ධියක් තිබුණාද?

කවදත් ඉතිං ඒ කටයුතු කළා. අපි නිවැරැදිව ශාස්ත්‍රානුකූලව කරගෙන යනවා. ප්‍රසිද්ධද නැද්ද කියන්න මට අවබෝධයක් නැහැ.

එතකොට ඔබවහන්සේට ජේ‍යාතිෂ ශාස්ත්‍රය පිළිබඳ දැනුම ලැබුණෙ කොහොමද?

අපේ අප්පච්චි හොඳ ජේ‍යාතිෂවේදියෙක්. ආයුර්වේද වෛද්‍යවරයෙක්. නම ජයතිලක යාපා බණ්ඩාර.

ඒ කියන්නෙ පරම්පරාවෙන්ම ලැබුණු දායාදයක්?

අපිට අකුරු කියවන ගමන්මයි ලිත් හෝඩිය කියෙව්වේ. අපි පොඩි කාලෙ ඉඳලම විෂයයක් හැටියට විභාගවලට නොලිව්වට ජේ‍යාතිෂ ශාස්ත්‍රයත් ප්‍රගුණ කළා. නැකැත් බැලීම, කේන්දර බැලීම මේ හැම දේකටම අහල ගම් හත අටේ මිනිස්සු අපේ ගෙදරට තමා එන්නේ. ඒක අපේ වගකීමක් හැටියට සලකල බොහොම ගෞරවයෙන් තමයි අප්පච්චිල ඒ කටයුතු කළේ. අද වාගෙ මේව ආර්ථික වාසි බලාගෙන ඒ කාලෙ කළේ නැහැ නොවැ.

ඉතිං ඊට පස්සෙ සිරිසේන ඇමැතිතුමා හමුවුණාද?

ඔව්. එතුමා මහවැලි ඇමැතිනෙ. මට ජීප් එකක් එවල තිබුණ පොළොන්නරුවට එන්න කියලා. ඒ ගමන මම පොළොන්නරුවට ගියා. ඇමැතිතුමා බොහොම සුහදව කතා කරල මට කිව්වා ඔබවහන්සේ ලව්ව වේලපත්කඩය බලවගන්න කැමැත්තක් තියෙනවා කියලා.

ඔබවහන්සේ මොකද කිව්වෙ?

මම කිව්ව ඔව් ඒක හුඟක් හොඳයි මම බලන්නම්. මට කේන්දර කොපිය අවශ්‍ය නැහැ කියල මම එතුමගෙ උපන් දිනයයි වෙලාවයි අරගෙන ගියපු වාහනේම ආපසු ආවා.

මොකක්ද තත්ත්වය?

මම ගෙනාපු වෙලාවට අනුව කේන්දර පත්‍රයක් සකස් කළා. එතුමා තුලා ලග්නෙ. මට තේරුණා මේ කේන්දරය විශේෂ ලක්ෂණ සහිත අසාමාන්‍ය එකක් බව. මම හඳුනා ගත්තා එතුමාට සැඟවුණු රාජ යෝගයක් තිබෙන බව. රටේ ඉහළම නායකයා වන බව. ඒත් එක්කම ඒ දිනවල කේන්දරයට අපල කාලයක් තිබුණේ. චිත්ත පීඩාවෙන්. කනස්සල්ලෙන් සිටින බවත් පෙනුණා. ඒ වගේම මාරක අපලත් පෙන්නුම් කළා. මම සියලු විස්තර ඇතුළත් කරලා පලාපල සටහනක් සකස් කළා.

ඔබවහන්සේ මේ ගැන ඇමැතිවරයා දැනුවත් කළාද?

ඔව්, දිනකට පසුව මට පොළොන්නරුවට පැමිණෙන්නැයි දන්වා වාහනයක් එව්වා. මම පලාපල ලේඛනයත් රැගෙන ගිහින් භාරදුන්නා.

ඔබතුමා කවදා හරි රටේ ජනාධිපති වෙන බව මේ කේන්දරයට අනුව පේන බව කීවාද?

එහෙමම කීවා කියන්න බැහැ. නමුත් ඉතා පැහැදිලිව කීවා. මේ කේන්දරයේ හැටියට කවද හරි ඔබතුමා රටේ ඉහළම නායකයා වෙනවා. එය වළක්වන්න කිසිවකුට නොහැකි බව. තවත් මම කිව්වා පරෙස්සම් වෙන්න. මේ යන්නේ ඉතා නරක කාලයක් බව. මාරක අපල පෙන්නුම් කරන නිසා බොහෝම කල්පනාකාරී වෙන්න කියලත් දැනුම් දුන්නා.

රටේ ඉහළම තැනට යනවා කීවම ඇමැතිතුමා මොකද කිව්වේ?
හිනා වුණා.

වෙන මොනවත් කිව්වෙ නැද්ද?

නැහැ උන්නැහෙ කතා කරන්නෙ නැහැනේ.

ඊට පස්සෙ මොකද වුණෙ?

මම පොළොන්නරුවේදී එතුමා හමු වෙලා හරියටම දවස් 10කට පසුව සිරිසේන මහත්තයට පිළියන්දල පාරෙ බොරලැස්ගමුවේදී බෝම්බයක් පිපිරෙව්වා. ඒත් එතුමා ඒ මාරකයෙන් නූලෙන් ගැලවුණා.

මේ හෙළි කිරීම සම්බන්ධව ඉන් පසු ඔබවහන්සේගේ කටයුතුවලට විශේෂ සහයෝගයක් ලැබුණාද?

නැහැ. මම ඉල්ලන්න ගියෙත් නැහැ. හැබැයි මම කල්පනාවෙන් හිටියා සිරිසේන මහත්තය යන දේශපාලන ගමන ගැන. 2015 ජනාධිපතිවරණය ආසන්න වෙද්දි පොදු අපේක්ෂකයා පිළිබඳ සාකච්ඡාව ඉදිරියට යද්දී මට තේරුණා පොදු අපේක්ෂකයා වන්නේ මෙතුමා බව.

මුල් හමුවීමෙන් පසු නැවතත් ඇමැතිතුමා හමු වුණේ නැද්ද?

නැහැ, අපි උත්සවවලට ගියාම ඉඳලහිටල හමුවුණා. නමුත් ආයෙ මේ සම්බන්ධව කතාබහක් නම් වුණේ නැහැ. කොහොම වුණත් මම මේ පොදු අපේක්ෂකයාගේ කතාව ආවට පස්සෙ නැවත කේන්දරය පරීක්ෂා කළා.

මට පෙනී ගියා මෙතුමා ජනාධිපති තරගයට ඉල්ලුවොත් නිසැකවම ජයග්‍රහණය කරන බව. මම එතුමාට දුරකථන ඇමැතුමක් ගත්තා. මට මතක හැටියට එදා දිනය 2014 නොවැම්බර් 10 නැත්නම් 11 මම ඇහුවා ඔබතුමා නේද පොදු අපේක්ෂකයා කියලා.
එතකොට පොදු අපේක්ෂකයෙත් තීරණය වෙලා තිබුණෙ නැහැ. එතුමා ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති මට උත්තරයක් නොදී හිනා වුණා මිසක ඒ ගැන වචනයක්වත් මා සමඟ කතා කළේ නැහැ.

ඒත් මම සිරිසේන මහතාට කීවා. 'ඔබතුමා ජනාධිපතිවරණයට ඉල්ලන්න නොවැරැදීම දිනනවා. ආයෙ කිසිම සැකයක් හිතන්න එපා. බොහොම සුබ කාලයක් ඉදිරියට එනවා' කියා.

'හාමුදුරුවනේ බලමු බලමු' කීවා මිසක වෙන මොනවත් කීවේ නෑ. මම කතා කරලා හරියටම දවස් 11කට පස්සේ එතුමා ආණ්ඩුවෙන් එළියට ආවා 2014 නොවැම්බර් 21දා.

ඔබවහන්සේ ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට උදවු කළාද?

ඇත්ත කියන්න බයවෙන්න ඕන නැහැනෙ. මම දේශපාලනයක් කරන්න ගියෙ නැහැ. නමුත් මේ පළාතෙ කවුරුත් දන්නවා මම හංසයාට තමයි හිතවත්ව හිටියෙ. නමුත් මම මිනිසුන්ට ඒව කියන්න ගියේ නැහැ. හැමතැනම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බලවේග තමයි තිබුණෙ.
මේ පැත්තෙ ඡන්දෙට පොත් පත්‍රිකා බෙදුවෙ, කැන්වසින් ගියේ හමුදාව. මින්නේරියෙන් හබරණින් ඔය නොයෙක් තැන්වලින් හමුදාව ඇවිත් හිටපු ජනාධිපතිතුමාට ප්‍රචාරක වැඩ කළා. දවසක් හමුදාවෙ ලොකු නිලධාරියෙක් පන්සලට ඇවිදින් මට කතා කරද්දී මම කිව්වා 'හමුදාවට අයිතියක් නැහැ දේශපාලනය කරන්න. මිනිස්සු නිශ්ශබ්දව ඡන්දෙ දෙයි මහත්තයලට පැවරිලා තියෙන්නෙ රට ආරක්ෂා කරන්නනෙ ඒක කරන්න කියලා' ඊට පස්සෙ මට මොනවත් කියන්න ආවෙ නැහැ.

ඉන්පසුව කුමක්ද වුණේ?

ජනාධිපතිවරණයට සතියකට කලින් දවසක් මට ලේක්හවුස් එකෙන් කියලා ගෑනු කෙනෙක් කතා කළා. එයා ඇහුවෙ ඔබවහන්සේ ළඟ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙ කේන්දරේ තියෙනව නේද. ඒකෙ කොපියක් දෙන්න පුළුවන්ද කියලා.

ජනාධිපතිවරණයට පෙරද?

ඔව්. මම කිව්වා මගේ ළඟ ඇති කේන්දරයක් නැහැ. අනෙක එහෙම තිබුණත් ඔය ළමයට දෙන්න හේතුව මොකක්ද කියලා. ඔයා කවුද මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙ කියල.

ඊට පස්සෙ කීපවරක්ම එක් එක් කෙනා මේ කේන්දරේ ඉල්ලලා කෝල් දෙන්න ගත්තා. දවසක් හමුදාවෙ පිරිසකුත් රෑ පන්සලට ඇවිත් 'මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙ කේන්දරේ තියෙනවා නම් දෙන්න හාමුදුරුවනේ' කීවා. මම කිව්වා
'එහෙම කාගෙවත් කේන්දරයක් කාටවත් දෙන්න බෑ. එහෙම ඉල්ලන්න අයිතියකුත් නැහැ. නක්‍ෂත්‍රවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ අනුවයි අපි කටයුතු කරන්නේ කියලා. හරි අපි බලාගන්නම් කියල ඒ පිරිස ගියා.'

ජනාධිපතිවරණය දවස්වල යමක් සිදු වුණාද?

ඡන්දෙට දවස් 7කට ඉස්සර වෙලා හමුදාවෙ 7 දෙනෙක් පන්සලට ආවා. පන්සල වටේට පුටු තියාගෙන වාඩි වෙලා වටකරගෙන දවස් 7ක්ම හිටියා. හරියටම ඡන්දෙ දවසේ රෑ 2.00ට විතර එයාලට කෝල් එකක් ආවා. එතකොට ඒ අය කලබල වෙලා ඒ කට්ටියගෙ බඩුත් අරගෙන එළිවෙන්න ඉස්සර පිටවෙලා ගියා.

ඔබවහන්සේ ඇහුවෙ නැද්ද ඇයි හමුදාව පන්සල මුර කරන්නෙ කියලා?

මං ඇහුවම කිව්වා ආරක්ෂාවට කියලා. එතකොට මම කිව්වා මට ආරක්ෂාවක් ඕන නෑ. එල්ටීටීඊ කාලෙවත් අපිට මෙහෙම දෙයක් වුණේ නැහැ. මේක අපිට කරදරයක්. ඔයගොල්ලො පන්සල වටකරගෙන ඉන්න නිසා මිනිස්සු බයවෙලා දානෙ ගේන්නෙත් නැහැ. මේ මොන කරදරයක්ද කියලා.

පොලිසියට දැන්නුවෙ නැද්ද?

කිව්වා. කිව්වා. පොලිසිය කිව්වෙ අපට කරන්න දෙයක් නැහැ හාමුදුරුවනේ ඕව ඉහළින් එන උපදෙස් කියලා. ඔන්න ඡන්දෙ අවසාන වුණා. කිව්වත් වගේ මෛත්‍රිපාල සිරිසේන මහත්තය ජනාධිපති වුණා.

මේ වෙද්දී මොකක්ද තත්ත්වය?

මේ පන්සල ගාව ඉඳන් මොරගහකන්දට කිලෝමීටර් 1 1/2යි තියෙන්නේ.
දැන් මේ ගමට උඩින් තියෙනවා වැවක්. කිරිමැටිපිටිය වැව කියල කියන්නෙ. 2007 දී මේ වැව හදල දෙන්න ඉඩම් දෙන්න කියලා හිටපු ජනාධිපතිතුමාට ලියුමක් දුන්නා. ඊට පස්සෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇවිදින් සොයල බලල, මැනල අක්කර 200ක් මාස් කන්නටත් උඩ පෝරු වගාවටත් අක්කරය බැගින් දෙන්නට හැකි බව දැන්නුවා. නමුත් ඒවා ඉටු වුණේ නැහැ.

මොරගහකන්ද යෝජනා ක්‍රමයෙන් මෙහාට වතුර ලැබෙන්නේ නැද්ද?

නැහැ. මොරගහකන්දෙ වාන් බඳින්න කිරිමැටි ගත්තෙ මේ වැවෙන්. වැව් බන්ට් එක බැඳල ඒ වෙලාවෙ සොරොව්ව වහල දැම්මා. ඊට පස්සෙ අභයභූමිය ඇතුළෙ විශාල ගල් කොරියක් පටන් ගත්තා.
ඒව ගැන රජයේ ඉහළ තැන්වලට මම ලියපු ලියුම් නම් ඕන තරම් තිබෙනවා. ප්‍රතිඵල තමයි නැත්තේ.

අපි විශාල ශාසනික මෙහෙවරක් කරනවා. මම මෙතැන විහාර කර්මාන්ත රාශියක් ආරම්භ කළා. ඒව ඉදිරියට කරගෙන යන්න ක්‍රමයක් නැහැ. යමක් කමක් තියෙන පන්සල්වලට නම් ලක්ෂ 10, 25 රජය වියදම් කළා. අපි වගේ දුප්පත් ස්ථාන ගැන අවධානයක් නැහැ. මම පෞද්ගලිකව උදවු ඉල්ලගෙන යන්න සතුටුත් නෑ. ගිහිල්ලත් නෑ. අඩුම තරමෙ මේ ගමේ මිනිසුන්ගෙ ජල ප්‍රශ්නෙයි ඉඩම් ප්‍රශ්නෙයි විසඳලා දුන්නොත් ඒ ඇති.

උදේනි සමන් කුමාර

- මවුබිම