"දෙවියෝ හීනෙන් පෙනිල මට කිව්ව උසාවිය බිඳින්න කියලා‘‘ උසාවියේදී දුන් අපූරු පිළිතුරෙන් අපරාද රැසක් හෙළිවෙයි..! අධිකරණ භූමියෙන් පැනයන්න හදද්දී කුණු වළකටත් වැටිලා..!

බන්ධනාගාර නිලධාරීන් භාරයේ රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ සිටියදී පසුගිය 03 වනදා පලා යැමට තැත් කළ සැකකරුවෙක්‌ නැවත අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත ලබා දුන් අපූරු පිළිතුරක් නිසා විත්තිකරු විසින් සිදුකරන ලද සොරකම් රැසක තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබී තිබුණා. එහිදී අදාළ විත්තිකරු අධිකරණයට පවසා තිබුනේ  "දෙවියෝ හීනෙන් පෙනිල මට කිව්ව උසාවිය බිඳින්න කියලා. මම ඒක
කළා. ඊට පස්‌සේ දෙවියෝ මට කිව්වා බැංකුව කොල්ල කන්න කියලා. මම ඒකත් කළා. අද මට උසාවියෙන් පැනපන් කියලා කිව්වෙත් දෙවියොමයි"  යනුවෙන්.

සැකකරු විසින් කරන ලද එම ප්‍රකාශයත් සමඟ මෙතෙක්‌ අභිරහසක්‌ව පැවති පසුගිය ජුනි 17 වැනිදා රාත්‍රියේ රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්‌ඩ කාමරය බිඳ ගංජා සොරා ගැනීමේ සිද්ධියේ සැකකරු ඔහු බවද හෙළිකර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

පසුගිය ජුනි 17 වනදා රාත්‍රියේ රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්‌ඩ කාමරය බිඳ ගංජා තොගයක්‌ සොරකම් කිරීමෙන් අනතුරුව ඔහු විසින් පසුගිය ජුනි 19 වැනිදා කිරිඇල්ල රාජ්‍ය බැංකුවකට කඩා වැදී එහි  සේවිකාවක්‌ බියගන්වා රුපියල් 84000 ක්‌ කොල්ල කා පලායැමටද තැත්කර තිබෙනවා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී අවට සිටි ජනතාව විසින් ඔහු අල්ලා කිරිඇල්ල පොලිසියට බාරදී තිබෙනනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ෙ දම්බුළුවන දිමියාවේ පදිංචි මනන්නලාගේ විරාඡ් නිශාන්ත ජයලත් නැමති පුද්ගලයෙක්. අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිසිය විත්තිකරුට එරෙහිව එල්ලකළ චෝදනා 3 ක්‌ සඳහා ඔහු වරද පිළිගනු ලැබුවා.කෙසේ වෙතත් ඔහුට එම අවස්‌ථාවේ දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුගේ ඇඟිලි සළකුණු වාර්තාවක්‌ කැඳවන ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළා.

පසුව ඇඟිලි සලකුණු ලබා ගැනීම සඳහා සිරමැදිරියේ සිට අධිකරණයේ කාර්යභාර නිලධාරියා හමුවට කැඳවා ගෙන එන අවස්‌ථාවේ විත්තිකරු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යෑමට තැත්කළ අතර එහිදී ඔහු  අධිකරණ භූමියේ තිබූ කුණුවළකට වැටුණු අතර එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින්ට ඔහු පහසුවෙන් අල්ලා ගැනීමට හැකියාව ලැබුණා.