gossip lanka

“නිවුස් කියවිල්ල පැත්තක තියලා ප්‍රින්සිපල් සර් වුණා”

චිරන්ත රන්වල කියනවට වඩා දෙවෙනි ඉනිමෙ ප්‍රින්සිපල් සර් කීව නම් අද නොදන්න කෙනෙක් නැති තරම්.

ඔහු සහන් රන්වලයන්ගේ වැඩිමහල් සොහොයුරායි. ඒ නිසාම ඔහුගේ තොරතුරු කතා කරන්න මේ ඉඩ
ඔහුට වෙන් කළා.

ප්‍රින්සිපල් සර් ගැන හැමෝම කතා වෙනවා නේද?
හරි ඉහළයි. සමහරු මගෙන් අහනවා ඇත්තටම මම ප්‍රින්සිපල් කෙනෙක්ද කියලා. 2007 තමයි මම ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති නිවේදනයෙන් අයින් වුණේ. වසර ගණනාවක්ම ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙස මම වැඩ කළා. ඒ නිසා සමහරුන්ට මාව මතක නැහැ. පාරෙදි ගොඩක් දෙනා මුණගැහුණම කතා කරන්නෙ සර් කියලා.

චිරන්ත කොහොමද ප්‍රින්සිපල් සර් වෙන්නෙ?
සාරංගව මම හඳුනන්නේ මගේ මල්ලි හරහා. ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍යයේ මාව ‍පොඩි චරිතයකට ගන්නවා. ඒ චරිතය මතක හිටින ලෙස කරපු නිසා තමයි දේදුන්නයි ආදරේ නාට්‍යයට රංගනයෙන් දායක කර ගත්තේ. ඒ හරහා තමයි නැවත මධු සාරංග, දෙවෙනි ඉනිමේ ප්‍රින්සිපල් සර් වෙන්න කතා කළේ.

කැමැති වෙනවද ප්‍රින්සිපල් සර් වෙන්න?
මට ස්වර්ණවාහිනියෙන් කතා කරනවා ප්‍රවෘත්ති නිවේදකයෙක් විදිහට එන්න කියලා. මම ලොකු ගැටලුවකට හිරවෙනවා ප්‍රවෘත්ති කියන්න යනවද ප්‍රින්සිපල් සර් වෙනවද කියලා.

මම පුද්ගලික විශ්වාස කරන දෙයක් තමයි නිවුස් කියන කෙනෙක් රඟපාන්න ඕන නැහැ කියන දේ. මගේ නෝනා, මොකක්ද තෝරා ගන්නෙ කියන දේට උදව් වෙනවා. ඇය මට මේ ප්‍රශ්නය හොඳට විසඳලා දෙනවා.

සාරංගත් එක්ක කතා කළහම ඔහු කීවෙත් මේක නිවුස් කියන ගමනුත් කරන්න පුළුවන් චරිතයක් කියලා. ඔයාව හිතේ තියාගෙන තමයි සමන් මේ චරිතය ලීවේ කියලා කීවා. අවසානයේදී මම ප්‍රින්සිපල් සර් වෙන්න තීරණය කළා. ඒ තීරණය නිවැරදියි කියලා අද හිතෙනවා.

ඒ චරිතය ඒකාකාරියි කියලා හිතෙන්නෙ නැද්ද?
එහෙම නැහැ. ගොඩක් අය කීවේ ප්‍රින්සිපල් සර් ඔයිට වඩා සැර වෙන්න ඕන කියලා. හැබැයි ඒ ප්‍රින්සිපල් දැන් මාර සැරයිනේ කියලා කියනවා. මුලදී සැර ප්‍රින්සිපල් කෙනෙක් හිටියා නම් කතාව මෙහෙම ගලාගෙන යන්නෙ නැහැ. අනෙක් එක එයා ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහ වෙනස් නිසා ඒකාකාරීයි කියලා දැනෙන්නෙ නැහැ.

ප්‍රින්සිපල් සර් තවත් සැර වුණොත් හොඳයි නේද?
බලමු. තව ඉස්සරහට තව සැරවෙන්න පුළුවන්.

චරිතය ලැබෙද්දී මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවද?
එහෙම නම් හිතුවේ නැහැ. බලා‍පොරොත්තු නොවුණු විදිහට තමයි මේ ප්‍රතිචාර ලැබෙන්නෙ.

ප්‍රින්සිපල්ට මල් වගේම ගලුත් ලැබෙනවා කියන්නෙ ඇත්තද?
මම මේ චරිතය කරන්නෙ මගේ හඬ වෙනස් කරලා. සාමාන්‍ය ජීවිතේ කතා කරද්දී අහනවා ඔයිට වඩා කටහඬ වෙනස් නේද කියලා. සමහර අයම කියනවා ඕවර් ඇක්ටින් කියලා. මම හිතනවා රංගනයේදී ඕවර් ඇක්ටින්වල යම් කොටසක් අපට චරිතයකට යොදා ගන්නත් පුළුවන්නේ.

මම ‍නෙවෙයි ඔතන ඉන්නෙ. විශ්‍රාම යන්න ළං වෙච්ච ප්‍රින්සිපල් කෙනෙක්. මොකද මට වයසත් නැහැ. ඒ චරිතෙට සාධාරණයක් කරන්න ඕන නිසා ඇවිදින විදිහ කොන්ද වකුටු ගතිය, කතා කරන විදිහ වෙනස් විදිහට කරනවා. ඒකට සාරංගගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

රංගනයට වැඩි දායකත්වයක් දෙන නිසා නිවේදනය මගහැරිලද?
හඬ කැවීමේ ශිල්පියෙක් කොමර්ෂල් කරන කෙනෙක් විදිහට ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්තිවල පසුබිම් කථනය අවුරුදු දහයක ඉඳන් කරනවා. දැනට මේ නාට්‍ය විතරයි කරන්නේ.

චිරන්ත ජනප්‍රිය නිසා රංගනයට ආරාධනා ලැබෙනවා ඇති?
ඇත්තටම කීවොත් එහෙම ලොකුවට ආරාධනා ලැබෙන්නෙ නැහැ. චිත්‍රපට දෙක තුනක ‍පොඩි චරිත කිහිපයක් කළා. මම ආසයි වෙනස් චරිත රඟපාන්න. මට විශ්වාසයි මට විවිධ චරිත රඟපාන්න පුළුවන් කියලා.

ලයනල් රංවලයන්ගේ ලොකු පුතා විදිහට තාත්තාගේ වැඩ ඉදිරියට අරගෙන යන්න ලබාදෙන දායකත්වය මොන වගේද?
තාත්තා අපේ නම සමාජගත කිරීමේ භාරදූර කටයුත්තට අත තියපු වෙලාවේ මම තමයි තාත්තා එක්ක හිටියේ. මම ස්ථිර රැකියාවක් සඳහා යොමු වෙද්දී මට ඒ දේ මගහැරෙනවා මගේ මල්ලි සහන් තමයි දිගටම ඒ දේ කරගෙන යන්නේ.

මම හිතනවා මම අත‍පොවන්න ඕන නැහැ කියලා. මොකද මල්ලි ඉතාම දක්ෂ විදිහට හැමෝගේම ආශීර්වාදය ඇතිව ඒ දේවල් කරගෙන යනවා. උදව් අවශ්‍ය වෙලාවලදී මම උපරිම දායකත්වය දෙනවා.

තාත්තගේ වැඩ මගහැරුණු නිසා අපේ දේවල් චිරන්තට අකැපයිද?
අනේ එහෙම දෙයක් නැහැ. පෙනී ඉන්න පුළුවන් හැම තැනකදීම මම ඒ වෙනුවෙන් ඉන්නවා. එක්තරා කොමර්ෂල් එකකදී මට කීවා දරු නැලවිලි ගීයක් වෙනස් විදිහට කියන්න කියලා.

මම ඒ වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කළා. මට ඒකට ලැබෙන මුදල වැදගත් වුණේ නැහැ. මම කොහොමද තාත්තා අපේ දේ රැක ගන්න හදද්දී ඒක විනාශ කරන්නේ. මට සමාවෙන්න කියලා ආවා. ඒ අය වෙන කෙනෙක් අරගෙන ඒ දේ කරලා තිබ්බා.

රන්වල බළකායට ලබාදෙන දායකත්වය මොන වගේද?
මල්ලි විදේශගත වුණහම ප්‍රසංග දෙකක් එකට වැටුණහම අයියේ උදව් කරන්න කීවාම ඒ දේවල්වලට මම සහාය දෙනවා. මොනවා කළත් මල්ලිට තියෙන සංවිධාන ශක්තිය මට නම් අඩුයි කියලයි හිතෙන්නේ.

තරුණ පරපුරත් එක්ක අරමුණක් කරා යාම අපහසුයි. කාර්යබහුලකම, ආර්ථික, සමාජීය දේවල් එක්ක මල්ලි මේ දේවල් කළමනාකරණය කරගෙන වැඩ කිරීම ලොකු වගකීමක්.

පුද්ගලික විස්තර මතක් කළොත්?
මගේ බිරිඳ අසංගා, දුව තෙනුෂි, එයා තවම මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගන්නවා. අපි තුන්දෙනා තමයි ඉන්නේ.

බිරිඳගෙන් ලැබෙන සහාය මොන වගේද?
එයා තමයි මාව නිතර දිරිමත් කරන්නේ. මොකද මම වැඩ ගොඩක් එකට පටලවගෙන කරන්න කැමැති නැහැ. හැමෝම අහනවා නාඹර රූ සඳ පස්සෙන් ඇයි ගීතයක් කළේ නැත්තේ. ඒ ගීතයත් කළෙත් බිරිඳගේ වුවමනාවට.

තිළිණි කරුණාරත්න


gossip lanka