"ඇත්තටම සතුටුයි. ඒක වචනවලින් විස්‌තර කරන්න අමාරුයි. දැන් මගේ ජීවිතේ සම්පූර්ණයි කියලා හිතෙනවා.." - අයිෂ් අතුකෝරළ

නිරූපිකාවක් විදිහට කලාවට අවතීර්ණ වුනු අයිෂාරා අතුකෝරාල ලගදීම අම්මා කෙනෙක් වෙන්න මගබලමින් ඉන්නේ. පැණිමකුළුවෝ චිත්‍රපටයෙන්  ජනප්‍රිය වුණු ඇය පසු කාලයේ වේදිකා නාට්‍ය තුලිනුත් දකින්න ලැබෙනවා. ඒ විදිහට කලා නිර්මාණ එක්ක එකතු වූ ඇය ගැන අලුත්  මේ.

අයිෂ් කොහොමද ඉතිං ?
වරදක්‌ නැහැ.

දැන් ලංකාවේ නැහැ නේද?

ගිය අවුරුද්දේ අවසානයේ තමයි අපි විවාහ වුණේ. ඒත් එක්‌කම තමයි විදෙස්‌ගත වෙන්න සිද්ධවුණේ. සැමියාගේ රැකියාව නිසයි විදෙස්‌ගත වෙන්න සිද්ධවුණේ.

දිගටම විදෙස්‌ගතවෙලා ඉන්නද කල්පනාව?
නැහැ. නැහැ. දිගටම එහේ ඉන්න කල්පනාවක්‌ නැහැ. ඉක්‌මනට ලංකාවට එන්න තමයි කල්පනාව.

ඒ ගෙවන ජීවිතය සුන්දරයිද?
වරදක්‌ නැහැ. හොඳයි.

තවමත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවාද?
ගොඩක්‌ නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. ආරාධනාවලින් නම් අඩුවක්‌ නැහැ. ඒ ලැබෙන ආරාධනාවලට සහභාගිවෙන්න නොලැබීම ගැන පුංචි දුකක්‌ තියෙනවා.

අයිෂාරා අම්මා කෙනෙක්‌ වෙන්න යනවා කියලත් ආරංචියි ?
ඔව්. මම අම්මා කෙනෙක්‌ වෙන්න යනවා. තවම මාස හතරයි. දුවෙක්‌ද පුතෙක්‌ද කියන්න දන්නේ නැහැ.

මේ ළඟකදී හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණා නේද?
ඔව්. ඒත් ඒ වැඩේ මග හැරුණා. ජැක්‌සන් ඇන්තනී මහත්මයා තමයි ආරාධනාව කළේ. ඔහු සමග තමයි රඟපාන්න තිබුණේ. ඔය වගේ ගොඩක්‌ ආරාධනා මගහැරුණා.

ලංකාවේ පදිංචිවෙන්න කැමැති නැතිද?
ලංකාවේ තමයි පදිංචි වෙන්න කැමැති. බොහොම ඉක්‌මනට ලංකාවට එනවා. සැමියාගේ රැකියාව නිසයි බැඳපු ගමන් ලංකාව දාලා එන්න වුණේ.

අම්මා කෙනෙක්‌ වුණාට පස්‌සේ රඟපෑමෙන් සමුගන්නවාද?
රඟපෑමෙන් සමුගන්නේ නැහැ. බබා ලැබුණට පස්‌සෙත් රඟපෑමට සම්බන්ධ වෙන්න අදහසක්‌ තියෙනවා. බබා ලැබුණට පස්‌සේ ආරාධනා ලැබුණොත් ලංකාවට ඇවිත් ඒවාට දායකවෙනවා.

සැමියාගෙන් මොනවගේ සහයෝගයක්‌ද ලැබෙන්නේ ?
මම අම්මා කෙනෙක්‌ වෙන්න යන හින්දා ගොඩක්‌ ලොකු සහයෝගයක්‌ ලැබෙනවා. එයා කැමැති දුවෙකුට. මේ දවස්‌වල මම ගෙදර වැඩ කරන්නේ නැහැ. එයා තමයි සියලු වැඩකටයුතු කරන්නේ. සැමියා මට මේ දවස්‌වල කෑම පවා උයලා දෙනවා. ඉස්‌සරනම් සැමියාට උයන්න බැහැ. හැබැයි දැන් එයා මට රසට කෑම හදලා දෙනවා.

බබා හම්බවුණාට පස්‌සේ සැමියා රඟපාන්න එපා කිව්වාද?
එහෙම තහංචි දාලා නැහැ. එයා කියන්නේ රඟපාන්න කියලා. මම උදව් කරන්නම් කියලා නිතරම කියනවා.

ඔහේ ඉඳන් මොනවාද කරන්නේ ?
ලංකාවේ චිත්‍රපට බලන එක තමයි වැඩිපුර කරන්නේ. පරණ චිත්‍රපට තමයි වැඩිපුර බලන්නේ. අලුත් වැඩ කිහිපයක මුහුරත් උළෙලවලට පවා ආරාධනා ලැබුණා. ඒත් ඒවාට එන්න විදිහක්‌ නැහැ. මොකද වෛද්‍යවරු උපදෙස්‌ දුන්නා ට්‍රැවල් කරන්න එපා කියලා.

ලංකාව දාලා ගිය එක ගැන දුක නැතිද?
මගේ පවුලේ සහ සැමියාගේ පවුලේ ඥතීන් සියලුම දෙනා ඉන්නේ ලංකාවේ. ඒක හින්දා බොහොම ඉක්‌මනට අපි ලංකාවට එනවා.

මේ දවස්‌වල මොනවද කරන්නේ ?
ෆුට්‌බෝල් මැච් බලන එක තමයි කරන්නේ.දැන් මම විවේකයෙන් කාලය ගෙවනවා.

ඔබ දායකවුණ නිර්මාණ තියෙනවාද?
ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්‍ෂණය කරපු අයිස්‌ක්‍රීම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට මම දායකවුණා. මේ අවුරුද්ද අවසානයේ ඒ චිත්‍රපටය තිරගත වෙනවා කියලා ආරංචියක්‌ තියෙනවා. එහෙම වුණොත් මේ අවුරුද්ද අන්තිමේ අපි ලංකාවට ඇවිත් යන්න හරි එනවා. බබා ලැබුණාට පස්‌සේ හොඳ නිර්මාණවලට ආරාධනාවක්‌ ලැබුණොත් ලංකාවට ඇවිත් ඒවාට සම්බන්ධවෙලා හරි යන්න අදහසක්‌ තියෙනවා.

ලංකාවේ අධ්‍යක්‍ෂවරුන්ට ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද?
ලංකාවේ මම පාවිච්චි කරපු දුරකථන අංකය හරහා වට්‌ස්‌අප්, වයිබර් වගේම මුහුණුපොතේ සහ ඉන්ස්‌ටර්ග්‍රෑම් හරහාද මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

අයිෂ් තවම කිව්වේ නැහැනේ ඔයා කැමැති දුවෙකුටද? පුතෙකුටද කියලා ?
දුවෙක්‌ ලැබුණත් පුතෙක්‌ ලැබුණත් මම නම් සතුටින් භාරගන්නවා.

අයිෂ් අම්මා කෙනෙක්‌ වීම ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම සතුටුයි. ඒක වචනවලින් විස්‌තර කරන්න අමාරුයි. දැන් මගේ ජීවිතේ සම්පූර්ණයි කියලා හිතෙනවා. හැමදේම මට නිසි වයසට ලැබුණා. මට හොඳ සැමියෙක්‌ ලැබුණා. ඔහුගෙන් දරුවෙක්‌ ලැබෙන්න ඉන්නවා. මම හරි වාසනාවන්තයි.

දිනේෂ් විතාන

gossip lanka