ශානිකා මේ කියන්නේ ඇත්තද?

ශානිකා මධුමාලි ගායනයට පිවිසුනේ සිරස සුපිරි තරු මාවත දිගේ. පුංචි තිරයෙන් ඇයව නිතර දකින, ඇගේ ගී ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන්  නිතර විකාශය වන කාලයක් තිබුණා. ඒත් මෑත කාලයේ ශානිකා ගැන අලුත් ආරංචියක් අසන්නට ලැබුණේම නැහැ. ඔය අතරේ ඇය ගැන තවත් ආරංචියක් අන්තර්ජාලයේ පැතිර යන්නට පටන් ගෙන. මේ හැම දෙයක් ගැනම ඔබට කියන්නත් එක්ක අපි පසුගිය
දවසක ඇයව සොයාගෙන ගියා.

මොකද මේ දවස්වල වැඩි සද්දයක් නැත්තේ?

සද්දයක් නෑ වගේද දැනෙන්නේ. ඒත් මම නම් කාර්යබහුලයි. ප්‍රසංග වේදිකාව තුළ වැඩ ගොඩක් ලැබෙනවා.

අලුත් නිර්මාණයක් එහෙමත් ළඟදී කළේ නෑ නේද?

දෙස් විදෙස් ප්‍රසංග නිතරම ලැබෙනවා. මේ වසරේ වගේම ගිය වසරේත් විදෙස් ප්‍රසංග සඳහා තමයි වැඩි කාලයක් වෙන් වුණේ. ඒ හින්දා මගේම නිර්මාණයක් ගැන හිතන්න කාලයක් තිබුණේ නැහැ. ඒත් මම වෙනත් අයගේ නිර්මාණවලට නම් සම්බන්ධ වුණා.

වෙනත් අයගේ නිර්මාණ කිව්වේ?

වෙනත් ගායකයන්ගේ ගීත සඳහා යුග ගායනයෙන් එකතු වුණා. ඒ වගේම සිරස නිෂ්පාදනය කළ අලුත් ගීතයක් ගායනා කළා. ඒ ගීත නාලිකාවල ප්‍රචාරය වෙනවා. ඒත් මගේ කලින් ගීත තරම් ජනප්‍රිය වුණේ නැහැ.

ශානිකාම අලුත් ගීතයක් කළා නම් තමන්ට අවශ්‍ය විදියේ නිර්මාණයක් කරන්න තිබුණා නේද?

ඒක නම් ඇත්ත. මමත් හිතාගෙන ඉන්නේ අලුත් නිර්මාණයක් කරන්නයි. ඉදිරියේදී ඒ ගැන තවත් හිතනවා.

මොනවාද සාමාන්‍ය ජීවිතේ තොරතුරු?

සාමාන්‍ය විදියට ගෙවිලා යනවා.

ශානිකා ඔහොම කිව්වට අපිට නම් ශානිකා ගැන ලොකු ආරංචියක් ලැබුණා.

අ‍පොයි ඒ මොකක්ද

ශානිකා ළඟදි විවාහ වෙන්න යනවලු?

අයියෝ ඒ ගැන තවම හිතලාවත් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම බොරු ආරංචියක්.

අපිට ඔහොම කිව්වට ශානිකා තමන්ගේ පෙම්වතා එක්ක ගත්තු ඡායාරූප පෙළක් මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරනවලු. මේ මගේ පෙම්වතා. ළඟදි අපි විවාහ වෙනවා'' කියලා ශානිකා ඒ පින්තූර එක්ක සටහනකුත් තබලා තියෙනවාලු?

ඔය කියන විදියේ සටහනක් එක්ක ඔය කියන විදියේ  photos  මම නම් දැම්මේ නැහැ.  ඒත් මගේ නමින් හදපු බොරු  facebook  ගිණුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. facebook වලින් කරන ඔය වගේ දේවල් සමහර වෙලාවට මම දැනගන්නෙත් කවුරුහරි කිව්වම තමයි.

ඒත් පෙම්වතෙක් ඉන්නවානේ?

ඔව්. ඒක ඇත්ත. දැන්ම එයා ගැන වැඩි විස්තර කියන්න බැහැ.

ආරියවංශ කුලතිලක