මාකටිං විතරක් ඔළුවේ තියෙන මිනිස්සු නිසා වෘත්තිය හෑල්ලූ වෙලා – රසාදරී මුණසිංහ

රංගනය, නිවේදනය, හඬකැවීම් කියන මේ සියලු ක්ෂේත්‍රයන් ස්පර්ශ කළ ඇය මේ වෙන කොට ඔබට මට හමුවන්නේ නිවේදිකාවක් වගේම හඬ කැවීම් ශිල්පිනියක් හැටියට. ඒ වෙන  කවුරුත් ‍නෙවෙයි. සිය කටහ¾ඩින්ම රුව හඳුනන රසාදරී මුණසිංහ.
මුලින්ම මේ දවස්වල මොකද වෙන්නේ කියලම කතා බහ අරඹමු

ටික කාලෙක පටන් මල්බර දෙරණ වැඩ සටහන නිවේදනය කරනවා. මිනිස්සු අතර තියෙන බැඳීම් හරි අපූරුවට කලාවත් එක්ක ගළපලා එතනදි ඒ වැඩසටහන කෙරෙනවා. ඊට අමතරව මේ දවස්වල ටී.වී. දෙරණේ විකාශනය වන ඉන්දියන් ටෙලි නාට්‍යයක හඬකැවීම් කෙරීගෙන යනවා.

ක්ෂේත්‍රයට ආපු මුලට ආයෙම ගිහින් එමුද?
පුංචි කා‍ලේ ඉඳලම මට මේ ක්ෂේත්‍රයට එන්න හීිනයක් තිබුණා. නමුත් එහෙම එක පාරටම එන්න තරම් ලොකු ලොකු සබඳතා තිබුණේ නෑ. මම පුංචි පවුලකින් ආපු කෙනෙක්.  නමුත් මම ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. එතන හිටියා දයා නෙල්ලම්පිටිය  මහත්මිය. මගේ ගරුතුමිය. ඇය හරහා ටික ටික මම සමාජයත් එක්ක ගනුදෙනු කරන්න   පටන් ගත්තා. රඟපාන්න, නිවේදනය කරන්න මාව යොමුවුණේ එතනින්. වේදිකාව, රංගනය, නර්තනය, ගායනය මේ හැම දේකම මුල තියෙන්නේ එතන. ඒ වගේම ලංකාවේ බොහෝමයක් ප්‍රසිද්ධ කලාකරුවන්ගේ දරුවෝ මාත් එක්ක ඒ කා‍ලේ ඉගෙන ගන්නවා. ඒ නිසා අපේ පාසල නිතරම කලාවට ලැදියි. ඉතින් ඒත් එක්කම මම ඉස්කෝ‍ලේ ඇතුළේ නමක්් ගොඩනගාගත්තා. ඊට පස්සේ මම ජයලාල් රෝහණයන් හරහා ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙනවා.

රංගනය කොතනින්ද මඟහැරෙන්නේ?
2000 දී මම විවාහ වෙනවා. ඊට පෙර කැලණි විශ්වවිද්‍යාලයෙන් රංගනය සහ නිවේදන කටයුතුවලට සම්බන්ධවෙලා මම වැඩ කරගෙන යනවා. ඊට පස්සේ ලක් හඬ ගුවන් විදුලිය, ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්, ජාතික රූපවාහිනිය කියන මාධ්‍ය ආයතනත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා.  අවුරුදු 10කට වැඩිය මම නුගසෙවණ වැඩසටහන ඉදිරිපත් කළා. ඉතින් මට තිබුණු එකම නීතිය තමයි විවාහයට පස්සේ රඟපාන්න බෑ කියන එක. මොකද මම හැම අතින්ම කාර්යබහුල වෙලා හිටපු කෙනෙක්නෙ. හැබැයි හඬකැවීම්වලට සම්බන්ධ වුණා. අදටත් මම රඟපෑවේ නැති වුණාට වේදිකාවේ මගේ පිරිසත් එක්ක හැමදාම ඉන්නවා.

රඟපෑම නැවතුණු එක ගැන දුක හිතෙන්නේ නැද්ද?
ඒ ගැන නම් හරිම දුකයි මට. ටෙලි නාට්‍ය චිත්‍රපට රංගනය මඟහැරුණු එක ගැන නම් මේ පවතින තත්ත්වයත් එක්ක මට ලොකු  දුකක් නෑ. නමුත් වේදිකාව මඟහැරුණු එක ගැන නම් සෑහෙන්න මම දුක්වෙනවා. රඟපාන්න නැති වුණාට වරද්දන්නේ නැතුව මම වේදිකා නාට්‍ය බලන්න නම් එක්කන් යනවා. එතකොට ඉතින් අත්පුඩි ගහන ගමන් අඬන අවස්ථාත් නැතුවම නොවෙයි.

එදා සහ අද ගැන කතා කළොත් අද ඉන්න පිරිස ගැන මොකද හිතෙන්නේ?
දක්ෂතාව, හැකියාව නිර්මාණ ශීලීත්වය අතින් උපරිම පිරිසක් අද මේ ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා. හැබැයි වෙලා තියෙන්නේ ඔවුන්ගේ නිදහස් අදහස් වාණිජකරණයට හා දේශපාලනීකරණයට ලක්වුණු මාධ්‍ය විසින් ගිලගෙන ඉන්නේ. ඒ වගේම තමයි කොච්චර  හොඳ ආකල්ප තියාගෙන දෙයක් කරන්න පිරිසක් හිටියත් ඔහේ කියවන, මාකටිං විතරක් ඔළුවෙ වැඩ කරන පිරිස් නිසා මේ වෘත්තිය හෑල්ලුවට ලක්වෙලා නිකන්ම. ඉතින් එතැනදී මේ වෘත්තියට වටිනාකමක් දුන්නු ප්‍රවීණයින්ගේ ගෞරවයත් වෘත්තියේ ගෞරවයත් නිරායාසයෙන්ම පහළට වැටෙනවා. සුබවාදී ආපසු හැරි බැලීමක් අවශ්‍ය කාලය දැන් ඇවිත් කියලයි මට හිතෙන්නේ.

මතකද මුලින්ම නිවේදනය කරපු වැඩසටහන?
මුලින්ම මම ලක්හඬ ගුවන්විදුලිය හරහයි මාධ්‍යයට සම්බන්ධ වෙන්නේ. එතකොට  එහි සභාපතිතුමා අයිටීඑන් නාලිකාවෙත් සභාපතිතුමා හැටියට  කටයුතු කරනවා. ඉතින් අයිටීඑන් නාලිකාවේ සියත් රාවය කියලා  අලුත් සඟරාමය වැඩසටහනකට අලුත් මුහුණක් හොයන කාලයක් තිබුණා. එතැනදී ඒ වැඩසටහන ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලැබුණා.  ඉතින් එතන තමයි නිවේදිකාවක් කියන වෘත්තිය වෘත්තීය මට්ටමින් පටන් ගත් තැන.

ලැබෙන ප්‍රතිචාර ගැන එදා වගේම අදත් සතුටු  වෙන්න පුළුවන්ද?
ඒ ගැන නම් මට හොඳටම සතුටු වෙන්න පුළුවන්. මොකද මට ලැබෙන්නේ ගෞරවනීය ආදරයක්.  විශේෂයෙන්ම වැඩිහිටි දෙමාපියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර තමයි වැඩි වශයෙන්ම තියෙන්නේ. ගොඩක්ම ඔෂීන්ට හඬකවන කා‍ලේ මගේ කටහ¾ඩින් මාව අඳුරගෙන  ඇවිත් කතා කරපු පිරිසක් හිටියා. ඒ වගේම කියන්න ඕනි මට ඉන්නේ පිළිගත්ත වටිනා ප්‍රේක්ෂක සමූහයක්. ඒ හැමෝටම මගෙන් ආදරය සහ ගෞරවය නිබඳව හිමිවෙනවා.

නිවේදනය කියන්නේ ‍ලේසි දෙයක් ද?
ලෝකෙ තියෙන කිසිම දෙයක් ‍ලේසි නෑ. කෙනෙක් එහෙම යම් දෙයක් ‍ලේසියි කියලා කියනව නම් ඒක ගැන ඒ පුද්ගලයාගේ නොදැනුවත්කම තමයි ඒ පෙන්නුම් කරන්නේ.  මම අදටත් වැඩ සටහනකට යන්න කලින් මම එක්ක, කතා බහට එන පිරිස ගැන හොයලා  බලනවා. මොකද එහෙම නැතුව කොහොමද පැයක් එකහමාරක් වැඩසටහනක් කරගෙන යන්නේ.  ඒ වගේම තමයි හඬකැවීමත්. එතැනදීත් තියෙන්නෙ ලෙහෙසි පහසු කාර්යයක් ‍නෙවෙයි. ඉතින් පෙර සූදානම සොයාබැලීම තුළින් වෘත්තිය හුරුපුරුදු කරගන්නවා මිසක් කිසිම වෘත්තියක් ‍ලේසියි කියලා කියන්න මට නම් පුළුවන්කමක් නෑ.

පෞද්ගලික ජීවිතේ ගැනත් කතා කරමු?
මම විවාහ වෙලා දැනට අවුරුදු දහඅටක්. එතකොට දැන් අපිට අවුරුදු පහළවක පුතෙක් ඉන්නවා. අම්මත් ඉන්නේ අපි එක්ක තමයි. ඉතින් මේ පුංචි පවුලත් එක්ක සතුටින් ජීවිතේ ගත කරනවා.

පුතා කලාවට උනන්දුයි ද?
ඒ දවස්වල නම් එයාට කලාව ගැන එච්චරම උනන්දුවක් තිබුණේ නෑ. හැබැයි දැන් මට දැනෙනවා එයාට කලාව ගැන උනන්දුවක් තියෙනවා කියලා. දැන් එයා නාට්‍ය කලාව හදාරමින් ඉන්නවා.

අලුතින් නිවේදනයට එන්න ඉන්න කෙනෙක්ට දෙන්න තියෙන උපදේශය මොකක්ද?
මුලින්ම ආසාව,  කැපවීම, දැනුවත්වීම මේ වෘත්තිය වෙනුවෙන් ඇති කරගන්න. අපිට වාගේ නොවෙයි අද තාක්ෂණය ගොඩක් දියුණුයි.  ඉතින් ඕනි තරම් දැනුම ගලාඑන මාධ්‍ය තියෙනවා. කට තියෙන අයට, මයික්‍රෆේ‍රා්නයක් අතට ලැබුණු පලියට  කියවන්නේ නැතුව දෙයක් දැනගෙන තැනකට එන්න උත්සාහ කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ.

නඳුනි ආරියවංශ