“පාරෙ යන වෙලාවක හොඳට ඇහැට කනට පේන ගැහැණු කෙනෙකුගේ මූණ පොඩ්ඩක් ඉම්බා නම් පැය දෙකතුනක් යනකොට මං ගැන මුළු රටම දැනගන්නවා”

වික්ටර් රත්නායක යන නම මෙරට ජනතාවට මුල්වරට දැනගන්නට ලැබී දැනට දශක පහකට ආසන්න කලක් ගතවී තිබේ. එදා මෙදා තුර ඔහුගේ නම ජාති, ආගම්, ‍භේදයකින් තොරව ශ්‍රී ලංකා වාසීන් සියළුම දෙනාගේ අඩුම තරමින් කන වැකී හෝ තිබේ. ඒ ඔහු ගායකයෙකු සහ සංගීතඥයකු වශයෙන් පළ කළ සුවිශේෂී ප්‍රතිභාව මුල්කර ගිනිමිනි.

විශේෂයෙන් වික්ටර් රත්නායකයන්ගේ ගායන ජීවිතයේ මුල් අවදියේ ඔහු විසින් ගයන ලද දෙව්රම්
වෙහෙරේ, ආදරයේ උල්පත වූ අම්මා, සිහිල් සුළං රැල්ලේ, සෝක සැනසුම් වේදනා ආදී ගීත මුල්වරට අප රසවිඳින ලද්දේ කොළඹ ආනන්දයේ පාසල් සිසුන්ව සිටි අවදියේ දීය. එදා මෙදා තුර සිය ගායන හැකියාවෙන් සහ සංගීත ප්‍රභාවෙන් ගොඩනගා ගන්නා ලද ප්‍රසිද්ධිය වත්මන් ස්ථාවරය දක්වා ගෙන ඒමට ඔහුට දශක පහක පමණ කලක් ගතව තිබේ. එහෙත්, ඒ අඩසියවසකට ආසන්න කාලය තුළ ඔහු ලත් ප්‍රසිද්ධිය අතික්‍රමණය කරමින් වික්ටර් රත්නායක යන නම රට පුරා කියැවෙන්නට පටන් ගත්තේ ඔහු දෙවන විවාහය සඳහා තමන්ට වඩා බෙහෙවින් ළාබාල කාන්තාවක තෝරා ගැනීම මුල්කොට ගනිමිනි.

ඒ අනුව ඔහු තම සංගීත ප්‍රතිභාවෙන් දශක පහක් තුළ ගොඩ නඟා ගත් ප්‍රසිද්ධියට නොදෙවෙනි ප්‍රසිද්ධියක් තමන්ට වඩා බෙහෙවින් ළාබාල කාන්තාවක දෙවන විවාහය සඳහා තෝරා ගැනීමෙන් ‘සති පහක්’ තුළ ලබා ගෙන තිබේ. පළමු විවාහක සහකරු ගේ හෝ සහකාරියගේ මරණයෙන් පසු නැවත විවාහයක් කර ගැනීමට කිසිදු නීතිමය බාධාවක් පැනවී නැත. එය තම තමන්ගේ පෞද්ගලික ජීවිත හා සම්බන්ධ කරුණකි. එමෙන්ම එලෙස තමන්ට වඩා වයසින් ඉතා අඩු කාන්තාවන් සේම පිරිමින් විවාහ කරගත් ස්ත්‍රී පුරුෂයන් ලොව සෑම සමාජයකම දක්නට ලැබේ.

එහෙත් ලොව දියුණු සමාජයන්හි එවන් කටයුතු කෙරෙහි පොදු සමාජ උනන්දුවක් පළ නොවේ. එසේ උනන්දුවක් පළවන්නේ නම් ඒ එම සමාජයන් හි සුළුතරයක් කෙරෙන් පමණි. එහෙත් වික්ටර් රත්නායක ගේ දෙවන විවාහය අප රටේ ‘ජාතික මට්ටමේ’ මාතෘකාවක් බවට පත්වන ලද්දේ අතිශය නොදියුණු ප්‍රාථමික සමාජ ලක්ෂණයක් ප්‍රකට කරමිනි.

මෙවැනි කටයුතු වලදී ‘එයාට හොඳනම් අපිට මොකද?’ යනුවෙන් සිතා එය පහසුවෙන් අමතක කර දැමීමේ මානසිකත්වයක් අප සමාජය තුළ නොමැති වීමට හේතුව කුමක්ද? මෙය අප ගැඹුරින් විමසා බැලිය යුත්තකි.

සම්මත සමාජ සදාචාරයට අනුව විවාහය සිදුවිය යුතු බවට පැනවුණු පොදු සම්මතයන් කිහිපයක් තිබේ. ඉන් එක් සම්මතයකට අනුව පුරුෂයා ස්ත්‍රියට වඩා වැඩිමල් විය යුතුය යන්න පොදු පිළිගැනීමකි. නමුදු එම වැඩිමල් භාවය පිළිබඳ නිශ්චිත අර්ථ නිරූපනයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් විවිධ අය විවිධාකාර අදහස් පළ කරති. ‘සැමියා බිරිඳට වඩා අවුරුදු 10 කට වඩා වැඩිමල් වීම හොඳ නෑ.’ පිරිසක් එසේ කියද්දී තවත් පිරිසක් කියනුයේ ‘ඒක අවුරුදු 15 ක් වෙනස් වුණත් ප්‍රශ්නයක් නෑ’ යනුවෙනි. මේ අතර දෙදෙනා කායික සහ මානසික වශයෙන් ගැලපේනම් විවාහය සඳහා වයස් ප්‍රශ්නය බල නොපාන බව පවසන පිරිස්ද අප සමාජයේ අඩු වශයෙන් හෝ දක්නට සිටිති. කෙසේ හෝ මෙම ස්ත්‍රී පුරුෂ වයස් පරතරය පිළිබඳ දැඩි බලපෑමක් අපේ සංස්කෘතිය තුළින් ඉදිරිපත් වූ අවස්ථා සොයාගත නොහැක.

එහෙත් අප රටෙහි නූතන ආකෘතිය 19 වෙනි සියවසේ අග භාගයේ එංගලන්තයෙන් බිහි වූ වික්ටෝරියානු සුචරිතය මුල්කොට පැනනඟින ලද පොදු සමාජ ආකල්පයක් බව ඒ පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් විමසීමේ දී පෙනී යයි. එමෙන්ම මෙම වික්ටෝරියානු සදාචාරය පසුකාලීන සමාජයට අහිතකර ලෙසින් බලපෑ අවස්ථාවන් පිළිබඳවද සමාජ විද්‍යාඥයන්ගේත්, සමාජ මනෝ විද්‍යාඥයන්ගේත් අවධානය ‍යොමුව තිබේ. නූතන මනෝ විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන සිග්මන් ෆ්‍රරොයිඩ් විසින් අනාවරණය කරන ලද ‘හිස්ටීරියා’ නම් තත්ත්වය සහ මෙම වික්ටෝරියානු සුචරිතවාදය හා සබැඳියාවක් පවතින බව අනාවරණය වී තිබේ.

ඒ කෙසේ හෝ අන්‍යයන්ගේ පවුල් ජීවිත නැත හොත් ‘නිදන කාමර’ තුළට එබී බැලීමට අප සමාජයේ බොහෝ දෙනෙකු තුළ පවත්නා ලිංගික කුතුහලය තමන්ගේ අපරිපූර්ණත්වයක් මුල්කොට ඇතිවන ලද්දක් ලෙසට ඇතැම් මනෝ විද්‍යාඥයෝ අනුමාන කරති. නමුත් ඒ පිළිබඳ පැහැදිළි නිශ්චයක් නොමැත. පසුගිය වකවානුව පුරා ශාස්ත්‍රීය පර්යේෂණ රාශියක නියැලුණු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු මට හමු විය. එවැන්නෙකු හට හිමි විය යුතු නිසි සමාජ පිළිගැනීමක් නොමැතිවීම සම්බන්ධයෙන් මම ඔහු සමඟ දොම්නස් සහගතව කතා කළෙමි.

“සර් ගෙ මේ පර්යේෂණ කටයුතු ගැන අපේ සමාජයේ තියෙන නොදැනුවත්කම ගැන මගේ හිතේ ලොකු කණගාටුවක් තියෙනවා. මම හිතන විදිහට සර්ගේ මේ පර්යේෂණයෙන් එළිවුණු කරුණු ගැන සමාජය මීට වඩා දැනුවත් විය යුතුයි. ඒ වගේම ඒ ඔස්සේ සර්ට මීට වඩා ලොකු ප්‍රසිද්ධියකුත් හිමිවිය යුතුයි. ලෝකයේ දියුණු රටක නම් සර් ගැන රටේ වැඩි දෙනෙක් කථා වෙනවා.”

“පිස්සුද?” මගේ කීම ඇසූ මහාචාර්යවරයා සිනා සී ම’දෙස බැලුවේය.

“මේ රටේ ප්‍රසිද්ධියක් ගන්න නම් මට මෙච්චර නහින්න ඕනෙ නැහැ. පාරෙ යන වෙලාවක හොඳට ඇහැට කනට පේන ගැහැණු කෙනෙකුගේ මූණ පොඩ්ඩක් ඉම්බා නම් පැය දෙකතුනක් යනකොට මං ගැන මුළු රටම දැනගන්නවා. රටම කතා වෙනවා.”

මා එම මහාචාර්යවරයාගේ උපහාස වදන් මෙසේ සටහන් කරනුයේ වික්ටර් රත්නායක නම් වන එම කලාකරුවාට උපහාසයක් පිණිස නොවේ; අප රටේ ජනතාවගේ ලිංගික කුතුහලය නම් වන ප්‍රාථමික සමාජ ලක්ෂණය වික්ටර් රත්නායක නමැති දැවැන්ත සමාජ ප්‍රතිරූපයට වඩා කෙතරම් ප්‍රබල දැයි කියා පෑම පිණිසය.

මහාචාර්ය දයා අමරසේකර,
සමාජ විද්‍යා අධ්‍යනාංශය,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

gossip lanka