"සෝමරත්න දිසානායක මුණගැහෙද්දී මට වයස අවුරුදු 14යි..ඔහු ලියලා දුන්නු කවිවලට මම ආදරේ කළා.." - Photos

සෝමරත්න දිසානායක රේණුකා බාලසුරිය කියන්නේ සිංහල සිනමාව උඩු යටිකුරු කළ නිර්මාණකරුවන් යුවලක්. මේ දෙදෙනාගේ ආදරේ නිසා නිර්මාණාත්මක සිනමා කෘති බොහොමයක් සිනමාවට බිහි වුණා. සිනමාපට නිෂ්පාදිකා රේණුකා බාලසුරිය ඇයගේ අතීතය මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ ගැනයි.

ඔබේ ළමා කාලය ගෙවුණේ කොහොමද...? ටිකක් කියමුකො ඒ සුන්දර අතීතය ගැන...?

මම පවුලේ වැඩිමලා. මට බාල නංගිලා දෙන්නයි මල්ලියි ඉන්නවා. මගේ අම්මගේ ගම හැටන්. තාත්තා මාතර. හැබැයි අපි ඉපදුණේ හැටන්වල. ඊටපස්සෙ අපි මහරගම පදිංචියට ආවා. ඒ නිසා මගේ ළමා කාලය වැඩිපුර ගෙවුණේ මහරගම තමයි. මම පුංචි කාලේ හරිම දඟ චරිතයක්. වැඩිපුරම හිටියේ ගස් උඩ. අද වගේ කාලයක් ඒ කාලේ තිබුණේ නෑ. නිදහස් පරිසරයක් තමයි ඒ කාලේ තිබුණේ. මට මතකයි ඒ කාලේ අපි ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත් අම්මා මේසයට බෙදලා තියෙන කෑම කනවා. එතනින් එහාට අපි ඉන්නේ එළියෙම තමයි. අපි හිටපු මහරගම ගෙදර ලොකු වත්තක් තිබුණා. ඉතින් අපි අහල පහල ළමයි ටික අර ලොකු වත්තේ කොස්, කජු ගස් උඩම තමයි ඉන්නෙ. එහෙමත් නැත්නම් අපි හිටියේ වෙලේ. වෙලට බැස්සාම වෙල ඉවරවෙනකම්ම අපි යනවා. අපිට පරිසරයක් එක්කම ගෙවුණු ළමා කාලයක් තිබුණේ.

මේ දඟකාර වැඩ කරන්න ගෙදරින් කැමැත්ත ලැබුණද...?
කොච්චර දඟ වැඩ කළත් තාත්තා වැඩ ඇරිලා ගෙදර එන්න කලින් අපි ගෙදර එනවා. තාත්තට වඩා අපේ අම්මා තමයි සැර. නමුත් තාත්තා එන්න කලින් කොහේ හිටියත් ගෙදර එන පුරුද්දක් අපේ තිබුණා. එහෙම ගෙදර එන්න පරක්කු වුණාම අම්මා අල්ලගෙන අපිට ගහන වෙලාවලුත් තියෙනවා. කොහොමත් තාත්තා ආවට පස්සෙ තමයි පාඩම් වැඩ කළේ. හැබැයි කවදාවත් අම්මවත් තාත්තවත් අපිව කිසිම දේකට කොටු කළේ නෑ.

ඒ කාලේ අද වගේ දරුවන් ගැන ඒ තරම් බිය විය යුතු සමාජයක් නෙමෙයි තිබුණේ...?
ඒක ඇත්ත. මට මතකයි ඒ කාලේ මායි නංගියි හැම ඉරිදාම පාන්දර හතරට අර විශාල වත්තට මල් කඩන්න යනවා. අපේ ගේ ගාව තිබුණු වත්තෙ එකයායට වතුසුද්ද මල් පිපෙනවා. එතකොට අපිට වයස අවුරුදු හත අටක් විතර ඇති. හැබැයි අපි එහෙම ගියාට ගෙදර අයට කිසිම බයක් නෑ. දැන් කාලේ දරුවන්ව මව්පියන්ගේ ඇස් මානේ තියාගන්න සිදුවෙලා. සිදුවන දේවල් හරිම ඛේදනීයයි. එදා ඒ නිදහස අපිට විතරක් නෙමේ මුළු රටේම තිබුණා. ඒ කාලේ හොඳ හර පද්ධතියක් තිබුණා. වැඩිහිටියන්ට වැඩිහිටියන් සේ සලකන දරුවන්ට දරුවන් සේ සලකන හොඳ හර පද්ධතියක් තිබුණා. අද ඒක නෑ.

පාසලේ දී ඔබ මොන වගේ චරිතයක්ද...?
මම මුලින්ම පුංචි බොරැල්ල සංඝමිත්තා පාසලේ අවුරුද්දක් හෝ දෙකක් ඉගෙන ගත්තා. ඊටපස්සෙ මම මහරගම විද්‍යාකර විද්‍යාලයට ඇතුළත් වුණා. පොඩි කාලෙත් මම පාසලේ බාහිර වැඩවලට ඉදිරිපත් වුණු චරිතයක්. සංඝමිත්තා පාසලේ දී විවේක කාලෙදී කිරි වීදුරුවයි බනිස් ගෙඩියයි දුන්නා. ඒ වෙලාවෙත් මම තමයි ඒ දේවල් බෙදන්න ඉදිරිපත් වුණේ. මට තාම මතකයි අපි කෘෂිකර්මයට සංඝමිත්තාවේ රටකජු වැව්වා. තවමත් සංඝමිත්තාවේ ඒ ගස්වැල් වවන ක්‍රමය තියෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි.

පාසල් වේදිකාවට සම්බන්ධ වුණේ නැද්ද...?
පාසලේ සමිති සමාගම්වලදී මම කවි කිව්වා. කතාන්දර කිව්වා. දහම් පාසල් සමිතිවල කවි කිව්වා. කතා පැවැත්වුවා. හැමදේකදීම ඉදිරිපත් වුණා. එහෙම ඉන්නකොට විද්‍යාකර ගුරුවරුන් දෙදෙනෙක් මාර්ගයෙන් ලයනල් වෙන්ඩ්ට් එකේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය වැඩමුළුවකට සම්බන්ධ වුණා. එතකොට මට වයස අවුරුදු දාහතයි. ඒක තමයි මගේ ජීවිතේ වෙනස් කළ සිදුවීම වුණේ.

ඒ ඔස්සේ ඔබේ ජීවිතේට තවත් අපූරු කෙනෙක් මුණගැහුණා නේද...?
ඔව්. ඒ සෝමරත්න දිසානායක. එතකොට මගේ වයස අවුරුදු දාහතරක් විතර ඇති. මම ගොඩක් චූටි කෙල්ලෙක්. ඉතින් මම නටන දිහා බලාගෙන ඉඳලා සෝමේ කවි ලියලා දුන්නා. ඒ කවිවලට මම ආදරේ කරන්න පටන් ගත්තා. මගේ ජීවිතේ මම තෑගි ලෙස සෝමෙගෙන් බලාපොරොත්තු වුණේ ඒ කවි තමයි. ඇත්තටම ඒ කාලේ අපි පෙම්වතුන් නෙවේ. හැබැයි කියාගන්න බැරි මොකක්දෝ බැඳීමක් තිබුණා. අදටත් මම සෝමෙගේ කවිවලට හරි ආදරෙයි. ඇත්තටම මම මුලින්ම ආදරේ කළේ එයාගේ කවිවලට. ඊටපස්සෙ තමයි ඒ මනුස්සයාව දැක්කේ. ඒ ලියලා දෙන කවිවල සුන්දරත්වය විතරමයි මම දැක්කෙ.

ඔබ වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා නේද...?
ඔව්... වේදිකා නාට්‍ය කිහිපයක්ම කළා. මම සාමාන්‍ය පෙළ කරද්දී වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. විභාගය හොඳින් සමත් වුණු නිසා මම උසස් පෙළට තෝරගත්තෙ විද්‍යා විෂය. මම උසස් පෙළ විභාගය සඳහා කොළඹ ආනන්ද බාලිකාවට ආවා. විද්‍යා විෂය නිසාම මම වේදිකා නාට්‍යවලින් අයින්වෙලා අධ්‍යාපනයට මුල්තැන දුන්නා. අපේ තාත්තා වුණත් මුලදී මම රඟපානවට කැමති වුණේ නෑ. ඒ වුණාට මගේ අම්මයි සීයයි මට ගොඩක් උදව් කළා. සීයා වැඩ කළේ බ්‍රවුන්ස් එකේ. සීයා තමයි වැඩිපුරම මාව කලාවට යොමුකළේ. ඒ නිසා පසුකාලයේ දී තාත්තත් මගේ දේවල්වලට උදව් කළා.

අද නිවේදිකාවක්, නිෂ්පාදිකාවක් වුණාට ඔබ ටෙලිනාට්‍ය කිහිපයකම රඟපෑවා?
ඔව්.. පුංචි පැටව්, ධවල රාත්‍රිය වගේ නිර්මාණවලත් මම රඟපෑවා. ඊටපස්සෙ මට ලොතරුයි දිනුම් ඇදීම්වල නිවේදනය කරන්න අවස්ථාව ලැබුණු නිසා අනිත් නිර්මාණවලට යන එක ටිකක් සීමාවුණා. කාලයත් එක්ක මම ලොතරුයිවලට විතරක්ම සීමාවුණා.

රේණුකා - සෝමරත්න දෙපළ සරෝජා තුළින් සිනමාව වෙනස් කළා...?
මම ඇත්තටම නිෂ්පාදිකාවක් වුණේ සල්ලි තියෙනවට නෙමෙයි. එතකොට සෝමෙ හිටියේ ඔස්ට්‍රේලියාවේ. එයා ඔස්ට්‍රේලියාවේ ඉඳන් සරෝජා පිටපත ලියලා මට ඒකට නිෂ්පාදකයෙක් හොයන අභියෝගය බාරදුන්නා. මෙහේ නිෂ්පාදකයෙක් මම හෙව්වා. නමුත් හම්බවුණේ නෑ. ඊටපස්සෙ සෝමෙ මම අකුරක්වත් මීටපස්සෙ ලියන්නෙ නෑ. මේ සරෝජා චිත්‍රපටය නිර්මාණය කරනකම් කියලා මට කිව්වා. ඒ වෙලාවේ ඇත්තටම මම බයවුණා. ඒ නිසා මම ඒ අභියෝගය බාරගෙන සෝමෙට සරෝජා වෙනුවෙන් ලංකාවට එන්න කිව්වා.

එතකොට චිත්‍රපටයක් කරන්න රේණුකාගේ අතේ සල්ලි තිබුණද...?
නැහැනෙ... අපි මුලින්ම සරෝජා කරන්න පටන් ගත්තෙ අපේ ක්‍රෙඩිට් කාඩ්වලින්. ඊටපස්සෙ අපි ගෙයත් බැංකුවට තබලා ලෝන් එකක් ගත්තා. සරෝජා කරගෙන යන අතරතුරේදී සල්ලි හිරවුණාම සෝමෙගෙ ගමේ ඉඩමක් තිබිලා අපි ඒක විකුණුවා. එහෙම තමයි සරෝජා ඉවර කළේ.

සරෝජා කරද්දී ලංකාවේ සිනමාව තිබුණේ ඒ තරම් සතුටුදායක තැනක නෙමෙයි...?
ඔව්... මට මතකයි අපි සරෝජා එහෙම ණයවෙලා ඉඩම් විකුණලා කරද්දී බොහෝ දෙනෙක් අපෙන් ඇහුවා ඇත්තටම ඔය දෙන්නගේ ඔළුව හොඳ නැද්ද කියලා. ඒ කාලේ කාමරැල්ලක් ඇවිත් සාමාන්‍ය මිනිස්සු සිනමා ශාලාවට ආපු නැති කාලය තමයි ඒ. සරෝජා ඒ හැමදෙයක්ම වෙනස් කළා. ඇත්තටම මට නම් ඕනවුණේ කොහොමහරි සල්ලි හොයාගෙන සරෝජා කරන්න. නැත්නම් සෝමෙ නිර්මාණ කරන එක නවත්තනවා කිව්වනෙ. ඒකට මම බයවුණා. හැබැයි සරෝජා සිනමා නිර්මාණයත් සමඟ මට නිර්මාණ නිෂ්පාදනය කරන්න තවත් මඟපෑදුණා.

ඔබ දැන් පුංචි මිණිපිරියකගේත් මුණුපුරෙකුගේත් ආදරණීය මිත්තණියක්... එහෙම නේද...?
ඔව්... ඔව් මගේ ලොකු පුතා නිවන්ත විශ්වනාත් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඔහු පදිංචිවෙලා ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. තිලංක විශ්වජිත් මගේ පොඩි පුතත් ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගත්තෙ. දැන් පොඩි පුතා සිනමා කැමරා අධක්ෂකවරයෙක් විදිහට වැඩ කරනවා. අපේ නිර්මාණ දෙකකට පුතා සම්බන්ධ වුණා. ඉතින් අද දරුවන් දෙන්නා ගැන ගොඩක් සතුටුයි. අද මායි සෝමෙයි හරිම සතුටින් ජීවත් වෙනවා.

තාමත් ඒ කවිකාර හිතටද ආදරේ කරන්නෙ...?
තාමත් ඒ කවි හිතට ආදරෙයි තමයි. මට මතකයි ඉස්සර ඔස්ට්‍රේලියාවේ සෝමෙ ඉඳිද්දී එයා එවන ලියුම කියවන්න මම කොයිතරම් මඟ බලාගෙන ඉන්න ඇත්ද..? සෝමෙ හැම ලියුමක්ම පටන් ගන්නෙ කවියකින්. ලියුම අවසන් කළෙත් කවියකින්. අද වගේ ඒ කාලේ තාක්ෂණය දියුණු නෑ. කෝල් කරන්නත් සල්ලි ගොඩක් යනවා. ඉතින් කටහඬ අහන්න පුදුම දුකක් විඳලා තියෙනවා. කටහඬ කියන එක ඒ කාලේ මොනතරම් සැපක්ද...? ලියුම් එනකම් කීපාරක්නම් මඟ බැලුවද...? මොන දුක මොන ප්‍රශ්න ආවත් ඒවා තමයි මේ සම්බන්ධතාවයන් රඳවලා තිබ්බේ. ඒ සුන්දරත්වය කොයිතරම් නම් දුකක් විඳලද රඳවාගත්තෙ. ඒ කාලේ අපිට කොයිතරම් දුෂ්කර මතක තියෙනවද...? ඇත්තටම අදටත් මම ඒ කවිකාර හිතට හරි ආදරෙයි.