gossip lanka

තාත්තා දඩබිමේ මයිකල්ට කළ රඟපෑම් හරිම තාත්විකයි

ප්‍රතිභා මොකද මේ දවස්වල නිහඬ.

පොඩ්ඩක් විතර නිහඬයි. බබා තාම පුංචි නිසාත් රැකියාවේ කාර්ය බහුලත්වය හේතුවෙන් තමයි ටිකක් විතර නිහඬවන්න සිදුවුණේ. එහෙත් පසුගිය දිනවල ලයනල් වෙන්ට්ඩ් හිදී රඟදැක්වු කදා වළලු නාට්‍යයේ සිටු දුවට රඟපෑවා. 2006 සිට එම නාට්‍යයේ සිටු දුව ලෙස රඟපාන්නෙ මම.

ප්‍රතිභාගේ අම්මා නේද එහි මිත්තණිය.

ඔව්. මගේ අම්මා සුභාෂිණි හෙට්ටිආරච්චි තමයි මගේ මිත්තණිය ලෙස රඟපාන්නේ. ඇය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමේ රංගන ශිල්පිනියක් වගේම ගුරුවරියක්.

ඒ කියන්නෙ ඔබගේ පවුලම කලා පවුලක්.

තාත්තා, අම්මා,සහ මා පමණයි. අයියා ශක්ති හෙට්ටිආරච්චි කලාවට සම්බන්ධ නැහැ. ඔහු දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යනවා.

ඔබේ පියා අපේ රටේ සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔහුගේ මගපෙන්වීමෙන්ද රංගනයට අවතීර්ණ වුණේ.

ගොඩක් දුරට එයත් බලපෑවා රංගනයට පිවිසීමට. විශේෂයෙන්ම කුඩා කාලයේ සිටම අපේ ගෙදර දකින්න ලැබුණේ කලාපරිසරයක්. වේදිකා නාට්‍ය පුරුදු පුහුණු වෙනවා. රංගන ශිල්පීන් අපේ ගෙදරට එනවා යනවා.අපි වේදිකා නාට්‍ය නැරඹීමට යනවා.ඔය කාලයේදි පොඩි පොඩි චරිතවලට අපිවත් සම්බන්ධ කරගන්නවා. ඔහොම තමයි රංගනයට යොමුවුණේ.

ඒ කියන්නේ පාසල් කාලයේත් රඟපෑවා කියන එකද?

මම පාසල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. එහිදී වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒ කාලයේත් සරච්චන්ද්‍රයන්ගේ වේදිකා නාට්‍ය කණ්ඩායමට සම්බන්ධව සිටියා. වේදිකා නාට්‍ය රංගනය වෙනුවෙන් සම්මාන පහක් හිමිකරගත්තා. නරිබෑණා නාට්‍යයෙහි ගම දුව ලෙස රඟපෑවේත් මමයි.

ඉන් පසුවද පුංචි තිරයට සම්බන්ධවන්නේ.

වේදිකාවට පසුව පුංචි තිරයට සම්බන්ධවෙනවා. අපි අපි වගේ, සැණකෙළියයි මායා, සිහින පුරය, රුවන් මාළිගා, සුබා වැනි ටෙලිනාට්‍ය පහළොවක් පමණ රඟපෑවා.ඉදිරියටත් මම රඟපෑ ටෙලි නාට්‍ය කිහිපයක් එන්න තියෙනවා.

පුංචි තිරයෙන් සිනමාවට ප්‍රවිෂ්ට වෙන්න අදහසක් නැද්ද?

ආරාධනා කිහිපයක්ම ලැබුණා. මොන හේතුවක් නිසාද මන්දා එකක්වත් භාරගන්න බැරිවුණා විවිධ ප්‍රශ්න නිසා.

•ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ ගොඩේ ඔබේ පියාත් සිටිනවා. ඔහුගේ රංගනය දකින්නේ කොහොමද ?

මෙහෙමයි. සෑම රංගන ශිල්පියකුටම අනන්‍ය වු රංගන හැකියාවක් තිබෙනවා. මගේ පියාටත් එසේමයි. ඔහු චරිතාංග නළුවෙක්.විවිධ චරිත නිරූපණයට දක්ෂයි. දඩබිම ටෙලිනාට්‍යයේ මයිකල්ගේ රංගනය අදටත් ප්‍රේක්ෂකයන්ට මතකයි. එදා ‍තාත්තා දඩබිමේ මයිකල්ට කළ රඟපෑම් රූපවාහිනියෙන් දකින විට මම බයට පුටුව යට රිංගනවා. ඒ තරම් තාත්විකයි.

ඉදිරියේදි රැකියාව සහ පවුලේ වගකීම් ඉටු කරමින් සාර්ථක රංගනයක නිරත විය හැකියැයි විශ්වාස කරනවාද?

අනිවාර්යයෙන්ම. සෑම දෙයක්ම නිසි ලෙස කළමනාකරණය කරගෙන වැඩ කිරීමේ හැකියාවක් මට තිබෙනවා. රංගනයෙන් නම් කවදාවත් ඉවත්වන්නෙ නැහැ. එය ශරීරයේ කොටසක් බවට පත්වෙලා. සැමියා වෙනුර රඟපානවාට කිසිම විරුද්ධත්වයක් නැහැ.පුතා තව ටිකක් ලොකු වුණහම නැවත පුරුදු පරිදි රංගනයෙහි නියැළෙනවා.


gossip lanka