"මම ගුවන් හමුදාවට ගියෙත් ඒකයි. නමුත් කොහොම හරි අන්තිමේදී නැවතුනේ නිළියක්‌ වෙලා.." - මීනා කුමාරි

මීනා කුමාරී කියන්නේ පුංචි තිරයෙන්  දකින්න ලැබෙන අහිංසක චරිතයක්. පුංචි තිරයට වගේම රිදී තිරයට සමීප මීනා වැඩිපුර දකින්න ලැබෙන්නේ ආදරණිය අම්මාගේ චරිතයෙන් හෝ ආදරණිය බිරිදකගේ චරිතයෙනුයි. ඇය ගැටිස්සි කාලේ කළ කී දේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි.

පාසල
පාසල තුළ නම් මම ක්‍රීඩා අංශයට තමයි හුඟාක්‌ම
යොමුවෙලා හිටියෙ. අවසාන කාලයේදී දැල්පන්දු, බැඩ්මින්ටන් මලල ක්‍රීඩා වල සමස්‌ත ලංකා මට්‌ටමේ තරගවලට සහභාගි වුණා. ඊට අමතරව කලා අංශයෙනුත් මම මගේ දායකත්වය සැපයුවා. මගේ මුල්ම නාට්‍යයෙන් මම හොඳම නිළියට සම්මානය පවා ලබා ගත්තා. ඊට පස්‌සේ තමයි මගේ කලා ජීවිතයට අඩිතාලම වැටෙන්නෙ. පාසලෙන් පස්‌සේ මම යෞවන සම්මාන උළෙලේ නියෝජනය කරපු නාට්‍යවලට සම්බන්ධ වෙනවා. ලංකාවේ ප්‍රවීණ කලා ශිල්පීන්ගේ ගුරුහරුකම් මට ඒ තැන්වලදී ලැබුණා. ඉතිං පාසල තුළත් ඉන් පසුවත් මම ගත කරපු කාලය හරිම සුන්දරයි.

කරපු - කියපුවා
විශේෂයෙන්ම කියලා එහෙම කරපු දේවල් නෑ.! මම පාසලේ ක්‍රීඩා නායිකාව විදිහට හිටපු හින්දා වගකීම් වැඩියි. ඊට අමතරව පාසලේ ශිෂ්‍යභට කණ්‌ඩායමේ අණදෙන නිලධාරිනිය විදිහට කටයුතු කළා. ඔය විදියට තමයි ඉතිං කාලය ගෙවුනේ.

යාළුවෝ
මගේ හොඳම යාළුවෝ කණ්‌ඩායමේ හිටියෙ සමන්ති අංජලි, නිලුෂා, අනෝමා, ක්‍රිෂානි ජෝර්ඡ්, ගංගා, ආරියරත්න, තවමත් මම හොඳට මතකයි. අපි පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේදී මුණගැහෙනවා. තාමත් අපි අපේ අතීතය මතක්‌ කරලා සතුටු වෙනවා.

පට බැඳි නම්
මගේ මුල් නම දීපානි. ඉතිං හැමෝම මට කිව්වේ දීපානි කියලා....! නමුත් මගේ දෙවැනි නම මීනා ඒක දන්නේ කීප දෙනයි. ඒ අය නිකං විහිළුවට වගේ මට මීනා කියලා කතා කරනවා. ඒක නිකං දෙමළ නමක්‌ වගේ කියලා විහිළු කරනවා.

කල්ලි හැහුණු තැන්
විශේෂයෙන්ම එහෙම අපි ගිය තැනක්‌ නෑ. නමුත් පුහුණුවීම් වලට ටොරින්ටන් යනවා. එතැන තමයි අපි ඔක්‌කෝමලා මුණ ගැහෙන්නේ. මට මතකයි ඒ කාලේදී මම 27 වන විවෘත බැඩ්මින්ටන් තරගාවලියේදී මම ශූරතාව දිනා ගත්තා. ටොරින්ටන් එක තමයි අපි ඔක්‌කෝම මුණගැහුණු තැන.

විනෝදාංශ
ක්‍රීඩාව කෙරුවෙ විනෝදාංශ විදිහට නෙමෙයි. මොකද අපි ජාතික මට්‌ටම නියෝජනය කරපු හින්දා විනෝදාංශයක්‌ විදිහට ඒක කරන්න බෑ. විනෝදාංශ විදිහට කෙරුවෙ නර්තනයයි ගායනයයි තමයි.

බලාපොරොත්තු
ක්‍රීඩා ක්‍ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න තමයි ආසාවෙන් හිටියේ මම ගුවන් හමුදාවට ගියෙත් ඒකයි. නමුත් කොහොම හරි අන්තිමේදී නැවතුනේ නිළියක්‌ වෙලා

දෙමාපියෝ
මගේ හැම කටයුත්තකදීම මගේ දෙමාපියෝ දෙන්නා ලොකු සහයෝගයක්‌ දුන්නා. මම පුහුණුවීම්වලට ටොරින්ටන් යනකොට අම්මයි තාත්තත් එනවා. අදත් කවුරුහරි පරණ කෙනෙක්‌ මුණ ගැහුනොත් අහන්නෙම අම්මයි තාත්තයි ගැන. එතරම්ම ඒ අය අපිත් එක්‌ක සමීපයි. මට මගේ දෙමාපියෝ දෙන්නා ලොකු ශක්‌තියක්‌ වුණා.

ගුරුවරු
මට මතකයි මගේ ක්‍රීඩා ගුරුවරියෝ දෙන්නා ගුණදාස මිස්‌, කැලණියගේ මිස්‌, ඊට අමතරව බස්‌නායක මිස්‌ රෝහිනි මිස්‌, රුක්‌මනී මිස්‌, අයිරින් සිරිවර්ධන මැඩම්, ජයසිංහ මැඩම්, ඒ අය ඔක්‌කෝම වගේ මට මතකයි.

අහල පහල අය
මට මතකයි මගේ අසල්වැසි යාළුවෝ තමයි විල්මා නෙලුකා, පුංචි කාලෙ හම්බ වුණාට පස්‌සේ ඒඅය හමුවුණේ නෑ. නමුත් දවසක්‌ ලොකේෂන් එකට මගේ යාළුවෙක්‌ ඇවිල්ලා ඉන්නවා කියලා කිව්ව. මම ගිහින් බැලුවම විල්මා මට පුදුම හිතුනා. මම හිතන්නේ අවුරුදු ගණනකින් එයාව දැක්‌කෙ. මට හරි සතුටුයි. එයාටත් එහෙමයි......ඒක අමතක වෙන්නෙ නෑ.....!