කොත්මලේ ජලාශය සිඳී මතු වූ කඩදොර බුදුපිළිමෙට නිගරු කළ ලාංකිකයෝ

කොත්මලේ ජලාශයට යට වූ කඩදොර විහාරයේ බුදු පිළිම වහන්සේ ඉඩෝරය නිසා ජලය අඩු වීමෙන් යළි මතුවීමත් සමඟ පැමිණෙන සැදැහැවතුන් අතර සිටින විනෝදයට පැමිණෙන තරුණ පිරිස්‌ බුදු පිළිම වහන්සේට නිගරු වන ආකාරයෙන් හැසිරෙන බව වාර්තාවේ.

එවැනි තරුණ පිරිසක්‌ මෙම බුදුපිළිම වහන්සේගේ සිරුර මතට නැඟ දෙවුරට අත් තබා සිටින දර්ශනයකින් කොත්මලේ ජනතාව කැළඹී
සිටින අතර ඔවුන් ඒ සඳහා පරීක්‍ෂණයක්‌ මෙන්ම ඓතිහාසික වූ එම ප්‍රදේශය ආරක්‍ෂා කර දෙන ලෙසද ඉල්ලා සිටිති.

වර්ෂ 1979 දී ආරම්භ කරන ලද කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ ජලාශ පහ අතුරින් ඉහළින්ම ඇත්තේ කොත්මලේ ජලාශයයි. මෙය ඉදි කිරීමේදී අවට ගම්මාන රැසක්‌ සමඟ වෙහෙර විහාර 16 ක්‌ ද ජලාශයට යට වූ අතර ජලාශ බැම්ම ආසන්නයේම යට වූ විහාරස්‌ථානය කඩදොර ශ්‍රී බිම්බාරාමයයි.

මහවැලි ජලාශය සමඟ සුන්දර වූ මෙම ප්‍රදේශයට තවත් පිරිසක්‌ පැමිණෙන්නේ කා බී විනෝද වීමටය. ඉතා භයානක ජල කඳක්‌ සහිත මෙම ස්‌ථානයේ දිය නෑමට පවා පෙළඹෙන තරුණ පිරිස්‌ අනතුරට ලක්‌ වෙති.

මෙම තත්ත්වය මඟහැරවීම සඳහා ජලාශ භාර ඉංජිනේරු ඩබ්. ඒ. චන්ද්‍රතිලක මහතා මෙම ස්‌ථානයට බසින මාර්ගය වැසීමට පවා කටයුතු කළ ද එය යළි විවෘත කර තිබේ.

කෙසේ නමුත් කොත්මලේ ජනතාවගේ හදවත බඳු මෙම බුදු පිළිම වහන්සේට ඡායාරූපයේ දැක්‌වෙන පරිදි අවමන් සහගත ක්‍රියා සිදු කිරීම වැළැක්‌වීමට කටයුතු කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

gossip lanka