අවංකවම හදවතින් ආදරය කරපු පෙම්වතියන් හිටියා පස්සේ මග හැරුණා අතහැරුණා , උදාරිට කියන්න මට කවුරුහරි හොයලා දෙන්න කියලා - හේමාල්

‘ප්‍රවේගය’ චිත්‍රපටයෙන් ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් පෙම් යුවළක් තමයි හේමාල්-උදාරි කියන්නේ. මෙවර සතිඅන්ත පුවත්පතක් හා එක්වුණු මේ දෙපළ ප්‍රශ්ණ පහකට පිළිතුරු ලබාදීලා තිබුණා.

’ප්‍රවේගය’ චිත්‍රපටයෙන් ඉහළ ජනප්‍රියත්වයට පත් ඔබ එවැනි චිත්‍රපටවලින් නැවත දකින්න නොලැබුණේ ඇයි?

ප්‍රවේගය තිරගත වුණේ වසර පහකට පසුව. ඒ වෙනකොට මගේ බබාට මාස තුනයි. මම වැඩිපුර කාලය යොමුකළේ බබාට. දැන් එයා ලොකුයි. දැන් තමයි වැඩිපුර කාලය යොදවන්න හැකිවෙලා තියෙන්නේ.

උදාරිගේ නැගණියගෙන් පසු පරම්පරාවේ ශිල්පීන් ශිල්පිනියන්ට ලබාදෙන අවවාදය කුමක්ද?
කරන හැම වැඩක්ම හිතට එකඟව කරන්න. එයින් ලැබෙන ප්‍රතිඵලය සාර්ථක වෙනවා.

චිත්‍රපට රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට එකතු වීමෙන් පසුවත් ටෙලිවිෂන් නාළිකාවල රියැලිටි තරගකරුවකු වීමේ අදහස?
මගේ නංගි නිසයි රියැලිටි තරගයකට සහභාගි වුණේ. එයාට සහයෝගයක් ලබාදෙන්න ඕන නිසයි මම මේ සඳහා දායක වෙන්නේ.

 ඉතා සාර්ථක ලෙස ගුවන් සේවිකාවක් ලෙස ගමන් අරඹා ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ රංගන ශිල්පිනියක් වීම දක්වා ආපු ගමන ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
ආපු ගමන ගැන සෑහීමකට පත්වෙනවා. මට දේවල් කරන්න පුළුවන්. ඒත් මට ඒකට කාලය අවශ්‍යයි. මගේ පුතා ඉපදිලා ඒ කා‍ලේ මට සිනමාවට වෙලාවක් වෙන් කරන්න බැරිවුණා. ඒ නිසා මම ගොඩක් දේවල් භාරගත්තේ නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් උදාරි ප්‍රවේගයෙන් පස්සෙ කරපු වැඩ මදි කියලා. සිනමාවට දෙයක් කරන්න දැන් මම සූදානම්. ඊට පසුව මට සෑහීමකට පත්වෙන්න පුළුවන්.

ලාංකීය රංගන ශිල්පිනියක් ලෙස මීට වසර දහයකට පසුව ඔබ, ඔබව දකින්න කැමති කොහොමද?
ප්‍රේක්ෂක ජනතාවට මාව මතකයේ රැඳෙන රංගන ශිල්පිනියක් බවට පත්වේවි. ඒ වගේම මම හොඳ මවක්, ව්‍යාපාරිකාවක් ලෙස ජනතාව මාව දැනගනීවි.

උදාරිගෙන් හේමාල්ට ප්‍රශ්න පහක්

ඇයි මෙරට සිනමාවේ නිෂ්පාදකවරුන්ගේ දායකත්වය අවම වෙලා තියෙන්නේ?
චිත්‍රපට කර්මාන්තයක් ලෙස නොසැලකීම. නිෂ්පාදකවරයාගේ ආදායම මුළු ආදායමෙන් 40ක පමණ අගයක් ගැනීම, ප්‍රදර්ශනයෙන් අනතුරුව ආදායමේ ශේෂයන් ගණනය කිරීම ඇතුළුව බෙදීම අතර යාන්ත්‍රණයේ විනිවිද භාවයක් නොමැති වීම සහ එම යාන්ත්‍රණය නිරවුල්ව සිදු කිරීමට රාජ්‍ය අනුග්‍රහයක් අපේක්ෂිත ලෙස සිදු නොවීම. නව චිත්‍රපටශාලා ඉදිකිරීම මන්දගාමී වීම හා පවතින බහුතර චිත්‍රපට ශාලාවල පහසුකම් අවම වීම.

එකම චිත්‍රපටශාලාවල දර්ශන වාර තුනක් හෝ හතරක් විවිධ චිත්‍රපට පෙන්වීම නිසා ප්‍රේක්ෂකයා අපහසුතාවට පත්වීම නිසා කර්මාන්තයේ වර්ධනය අවම වෙනවා. චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල අවම වීමත් සමග නිපදවන චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට පමාවීම. චිත්‍රපට ප්‍රදර්ශන කාලය තීරණය කිරීම ප්‍රධාන ප්‍රදර්ශන මණ්ඩලය සතු වීම නිසා ඒ සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැතිකම යන කරුණු කාරණා නිසා නිෂ්පාදකයෝ කර්මාන්තයට එන්න බයවෙලා ඉන්නේ.මේ දවස්වල විසඳුම් ලැබෙනවා නම් මීට වඩා කර්මාන්තයට නිෂ්පාදකවරුන් එකතු වේවි කියලා මම විශ්වාස කරනවා.

අනෙක් නළුවන්ට වඩා ඔබ හුදකලාව ජීවිතය ගත කරන්න කැමති කෙනෙක්. තරුණ, ජවසම්පන්න නළුවෙක් වෙලා ඇයි ඒ විදිහ තෝරාගත්තේ?
මම මෙච්චර දවසක් දැනගෙන හිටියේ නැහැ මම හුදකලාව ජීවත් වෙනවා කියල බාහිර ලෝකයට පේනවා කියලා.රටේ වර්තමාන තත්ත්වයත් එක්ක රංගන ක්ෂේත්‍රයේ අය පමණක් නොවෙයි, සියලුම වෘත්තිකයන් බලවත් මානසික ආතතියකින් පෙළෙනවා. ඒ වගේම අද සම්බන්ධතා යාන්ත්‍රීකරණය වෙලා. ඒ නිසා හොඳ මානුෂීය, සමාජීය සම්බන්ධතා පවත්වාගෙන යන්න අමාරුයි. මම කැමති හරවත් දේවල් විෂයානුබද්ධ දේවල් කතා කරන්න වගේම දැනුම බෙදාහදා ගන්න. අලුත් චිත්‍රපට බලන්න, ගීත අහන්න වගේම කියවන්න කැමති නිසා මට හුදකලාවක් දැනෙන්නේ නැහැ.

තවම පෙම්වතියක් නැද්ද?
අවංකවම හදවතින් ආදරය කරපු පෙම්වතියන් මට හිටියා. මේ ක්ෂේත්‍රයට යොමුවුණාට පස්සේ ගොඩක් දේවල් මග හැරුණා, අතහැරුණා. හැමදාම මේ කර්මාන්තයට ආදරය කළා.ප්‍රවීණයෝ එදා වගේම අදත් කියනවා කවදාවත් කලාව ජීවිතයේ අංක එක කරගන්න එපා, දෙක කරගන්න, තමන් සහ පවුල ආදරය අංක එක කරගන්න කියලා. මම ඒක ඇහැව්වේ නැහැ. ආපස්සට හැරිලා බලද්දි ප්‍රවීණයෝ කියපු කතාව ඇත්ත කියල වෙලාවකට මට හිතෙනවා. ජීවිතයේ එහෙම දේවල් මගහැරිලා තියෙනවා. මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. සියලු දේවල් මම කාලයට භාරදීලා තියෙන්නේ. ඔය ප්‍රශ්නවලට උත්තර ලැබේවි. නැත්නම් උදාරිට කියන්න මට කවුරුහරි හොයලා දෙන්න කියලා.

මෙරට සිනමාව ජාත්‍යන්තරයට රැගෙන යන්න තමන් කොපමණ කැපකිරීමක් කරන්න ලෑස්තිද?
මම සියලු දේ සිනමාව වෙනුවෙන් කැප කළා සහ කැප කරනවා. ඒක ඉදිරියටත් එහෙමයි. දේශීයද ජාත්‍යන්තරද කියන එක ‍නෙවෙයි මට අදාළ වෙන්නේ හොඳ නිර්මාණවලට දායකත්වය ලබාදෙන්නයි. නමුත් වර්තමානයේ අපේ කැපකිරීම් වාරණයකට පත් කරලා කියලා වෙලාවකට මට හිතෙනවා වගේම රාමුවකට කොටුවෙලා. අපෙන් නිසි ප්‍රයෝජනයක් අරගෙනද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. අපි ලෑස්තියි. කර්මාන්තයක් ලෙස වගේම රටක් හැටියට අපිව ප්‍රයෝජනයට ගන්න ලෑස්තියි. කියලා තමයි අහන්න තියෙන්නේ.

කවදාහරි ඔබ අධ්‍යක්ෂවරයෙක් වෙන්න බලා‍පොරොත්තුවක් තියෙනවාද?
අධ්‍යක්ෂවරයෙක්ගේ භූමිකාව බැරෑරුම් වගේම පැකේජ් එකක්. නිර්මාණයේ මුල සිට අග දක්වාම නිර්මාණය තුළින් ඔහුව පේනවා. ඔහුට ක්ෂේත්‍රය ගැන සියලුම ඥානය තිබිය යුතුයි වගේම කාලය මිඩංගු කිරීම අවශ්‍යයි.
මම හිතනවා තවම මම එතැනට සුදුසු නැහැ. මම ඒ අවශ්‍යතා සපුරාගෙන නැහැ. තවමත් මම මෙරට රංගන ශිල්පියාගේ භූමිකාව හදාගැනීමට උත්සාහ කරන කෙනෙක්.

කවදාහරි මම අධ්‍යක්ෂණයක් කරන්න සුදුසුයි කියලා හිතුණොත් අධ්‍යක්ෂණය කරාවි. මම තවමත් රංගන ශිල්පියාගේ භූමිකාව අංශු මාත්‍රයක්වත් දන්නෙ නැහැ. ඒ ගැන තවමත් සොයා යන කෙනෙක් ලෙස තවම එවැනි අදහසක සේයාවක්වත් නැහැ