අපේ රටේ වෘත්තියක්‌ විදියට කලාව කරන්න අමාරුයි - බාචි සුසාන්

බුදුනේ... ඡේසුනේ... අල්ලා දෙවියනේ... මතකද මේ ගී හඬ. ඔව්... ඔහු බාචි සුසාන්... සංගීත කණ්‌ඩායමක නියාමක ගායකයකු ලෙස අද දකින්නට නැති වුණත්, සාර්ථකව තමන්ගේම ගමනක්‌ යන බාචි ඔහුගේ අලුත් තොරතුරු අපිට කිව්වේ මේ විදියට...

බාචි වැඩි සද්ද බද්දයක්‌ නැත්තේ ඇයි?

මට නම් එහෙම හිතෙන්නේ නෑ. ගොඩක්‌ වෙලාවට ස්‌ටුඩියෝ එකක්‌ ඇතුළෙ හරි කොහේ හරි තැනක සද්දයක්‌ දාගෙන තමයි ඉන්නේ.

ළඟදි අලුත් දෙයක්‌ කරන්න යනවලු?

ඔව්. හැම වෙලාවෙම මම උත්සාහ කළේ වෙනස්‌ විදිහේ දෙයක්‌ කරන්න. දැනටමත් එහෙම වැඩ ටිකක්‌ කරගෙන යනවා.

ඒ ගැන කියමු?

අද වෙනකොට සිංහල භාෂා සංගීත රටාව මිය යමින් පවතිනව කිව්වොත් නිවැරැදියි. බටහිර සංගීත සංයෝජනයන් එක්‌ක තමයි මේ දේ සිදුවෙන්නේ. ඒ නිසා මම උත්සාහ කරන්නේ සිංහල ගීතයේ තියෙන ගැඹුර පෙන්වා දෙන්න පුළුවන් නිර්මාණ බිහිකරන්නයි.

බාචි විත් ෆයර් සංගීත කණ්‌ඩායමට මොකද වුණේ?

ඇත්තටම සංගීත කණ්‌ඩායමේ වැඩ ටික කාලයකට නතර කරන්න සිදු වුණා. එකම රටාවකට ගිය නිසා හැමෝම කතාවෙලා තමයි එහෙම කළේ.

සංගීත කණ්‌ඩායමේ වෙනසක්‌ වෙනවා?

ඔව්. ඉදිරියට නිර්මාණය කරන සංගීත කණ්‌ඩායමේ සාමාජිකයන් පවා වෙනස්‌ වෙනවා. අලුත්ම එකක්‌ විදියට තමයි පටන්ගන්නේ.

අලුත් සංගීත කණ්‌ඩායමේ වෙනස?

ඉදිරියේදී නිර්මාණය කරන සංගීත කණ්‌ඩායම විදෙස්‌ ජාතිකයකුට වුණත් අපේ දෙයක්‌ රසවිඳින්න පුළුවන් ආකාරයට ගොඩනගන්න තමයි මගේ උත්සාහය.

ප්‍රසංග වේදිකාවේ කටයුතු?

ඇත්තටම මේ දවස්‌වල නම් භාරගන්න බැරි තරමට ප්‍රසංග ලැබෙනවා. අලුත් ගීත කිහිපයක්‌ ඉදිරිපත් කළා. ඒකත් හේතුවක්‌ වෙන්න ඇති.

ජනප්‍රියත්වය අඩුවෙලාද?

මට නම් හිතෙන්නේ දැන් ජනප්‍රියත්වය වැඩිවෙලා කියලයි. මොකද ඉස්‌සර ලොකු ප්‍රතිචාරයක්‌ ලැබුණේ නෑ. ඒත් දැන් එළියට බහින්න බැරි තරමට ප්‍රතිචාර ලැබෙනවා.

විදෙස්‌ සංචාර?

පසුගිය දවස්‌වල යුරෝපීය රටවල් කිහිපයක ප්‍රසංගවලට සහභාගි වුණා. ඉදිරි මාස කිහිපය තුළ මැදපෙරදිග රටවල් කිහිපයකින් ආරාධනා ලැබිල තියෙනවා.

ප්‍රසංග භාරගන්නේ තෝරා බේරාගෙනද?

ඇත්තටම ඔව්. මොකද උච්ච ස්‌වරවලින් ගීත ගායනා කරන කොට එක දිගට ප්‍රසංගවලට සහභාගි වෙන්න අමාරුයි. ඒක සෞඛ්‍යයටත් හොඳ මදි.

ඔබේ හඬට අභියෝගයක්‌ නැද්ද?

අභියෝගයක්‌ තියෙනවද නැද්ද කියල හොයන්න මම උත්සාහ කරන්නේ නෑ. කාලෙන් කාලෙට එක එක හඬවල් බිහිවෙන නිසා රසිකයො තමයි ඒ දේ තීරණය කරන්න ඕනෙ. අලුතින් එන බොහෝ දෙනෙක්‌ හොඳ සූදානමකින් ක්‍ෂේත්‍රයට එකතුවෙලා තියෙනවා. ඒක සතුටට කාරණයක්‌.

බොහෝ විට ඔබේ ගීතවල රූප රචනාවලට පෙනී සිටින්නේ ඔබමයි?

ඔව්. බොහෝ වෙලාවට මමමයි රඟපාන්නේ. නමුත් වීඩියෝ ටීම් එක තමයි මාව සුදුසු බව තීරණය කරන්නේ.

අද සංගීත කණ්‌ඩායම් අතර තියෙන්නේ ලොකු තරගයක්‌?

සමහර අයට තරගයක්‌ ඇති. නමුත් සංගීතය කියන්නේ තරගයක්‌ නෙමෙයි. තරගයක්‌ වුණත් එතනින් බිහිවෙන්නේ සංගීතයක්‌ නෙමෙයි. වෙන දෙයක්‌.

අන්තර්ජාලය ශ්‍රී ලංකාවේ කණ්‌ඩායම් සංගීතයට බලපෑමක්‌ කළාද?

පැහැදිලිවම... අන්තර්ජාල භාවිතයත් එක්‌ක ලංකාවේ සංගීත කණ්‌ඩායම් ඒකාකාරී බවෙන් මිදුන කියල කියන්න පුළුවන්.

ඔබේ ඇතැම් නිර්මාණයන්ට සත්‍ය කතා පදනම් වුණා?

ඔව්. මම උත්සාහ කරනවා ගොඩක්‌ වෙලාවට මිනිසුන්ට මුහුණ දෙන්නට සිදුවන සිදුවීම් ගීතයකට නගන්න. ඒ වගේ නිර්මාණ හදවත්වලට හොඳින්ම දැනෙනවා.

මෑතකදී එවැනි ගීත නිර්මාණය වුණේ නැහැ?

ඒ වගේ නිර්මාණයක්‌ කරන්න බොහොම අපහසුයි. යහපත් වටපිටාවක්‌ තියෙන්න ඕන. අපහසුවෙන් වුණත් මේ වෙනකොට එවැනි ගීත හතරක්‌ විතර කරල තියෙනවා.

රැකියාව කලාවද?

අපේ රටේ වෘත්තියක්‌ විදියට කලාව කරන්න අමාරුයි. ලෝකයේ අනෙක්‌ රටවල නම් තත්ත්වය මීට වඩා වෙනස්‌. ඒ තත්ත්වය නිසා මම වෙනම ව්‍යාපාරයක්‌ කරනවා.

ව්‍යාපාරයයි කලාවයි සමබරව කරගෙන යන්න පුළුවන්ද?

ඇත්තටම අමාරු වැඩක්‌. සංගීත ශිල්පියකුට නිදහස තිබිය යුතුයි. ඒ අනුවයි හොඳ නිර්මාණයක්‌ බිහි වෙන්නේ.

මහේෂ් එදිරිසිංහ