"මගේ වාහන, රත්තරං දකිනකොට ගෑනු නිකන්ම මගේ ළඟට ඇදුනා.." - කුඩුවලට ඇබ්බැහි වී පිස්‌සු වැටුණු පොලී මුදලාලි කියන සංවේදී කතාව

ඔහු දක්‍ෂ ව්‍යාපාරිකයෙකි. දෙමවුපියන්ගේ ආදරය, රැකවරණය මෙන්ම හරි හැටි ඉන්න හිටින්නවත් තැනක්‌ නොමැතිව සිටි හේ තම දක්‍ෂතාවයෙන් කෝටිපති ව්‍යාපාරිකයෙක්‌ බවට පත් විය. එහෙත් ඔහුට සමාජයේ යහපත් පුද්ගලයෙක්‌ වීමට නොහැකි විය. මැරකම, සල්ලාලකම සහ මත්ලෝලී බව නිසා අවසානයේ ඔහුට පැල්මඩුල්ලේ 'මිතුරු මිතුරෝ' පවුලට එකතු වීමට සිදු විය. අපි ඔහුව ඩිකී ලෙස
හඳුන්වමු. මේ ඩිකී කියන කතාවය.

 ''මම පදිංචි වෙලා හිටියේ කඩුවෙල අවට ගමක. මට තව සහෝදරියක්‌ ඉන්නවා. මම දන්න කාලේ ඉඳලා තාත්තයි, අම්මයි එක වහලක්‌ යට ජීවත් වුණේ නෑ. ඒත් අපේ අම්මයි, තාත්තයි දෙන්නම නැවත කසාදයක්‌ කරගෙනත් නෑ. අපි හැදුණේ අම්මා ළඟ. තේරෙන කාලේ ඉඳලා මම අම්මා ළඟ හිටියෙත් නෑ. මම ජීවත් වුණේ යාළුවන්ගේ ගෙවල්වල. පුංචි කාලේ ඉඳල යාළුවො මට හරිම එකතුයි. මමත් යාළුවන්ට පණ ඇරලා...''

''මම සාමාන්‍ය පෙළ විභාගයටවත් වාඩි වුණේ නෑ. එතකොටත් මම එක, එක ජොබ් කළා. ඒ විදිහට පොඩි, පොඩි ජොබ් කරගෙන ඉන්නකොට මරියකඩේ අයියා කෙනෙක්‌ මට හමු වුණා. එතකොට මට වයස අවුරුදු දාසයක්‌ විතර ඇති. ඒ අයියා දවසේ පොලියට සල්ලි දෙන කෙනෙක්‌. පිටකොටුව මැනිං මාර්කට්‌ එකේ, පේව්මන්ට්‌ වෙළෙඳුන්ට ලක්‍ෂ ගණන් පොලියට සල්ලි දුන්නා. මට පැවරුණු රාජකාරිය වුණේ හවසට ගිහිල්ලා පොලී සල්ලි එකතු කරගෙන ඒම. ඒ කාලේ හැටියට දවසට ලක්‍ෂ දහසයක්‌, පහළොවක්‌ විතර සල්ලි එකතු වුණා. මාසයකට රුපියල් ලක්‍ෂයකට නොඅඩු පඩියක්‌ මටත් ගෙව්වා. සමහර මාසවල එක්‌ලක්‍ෂ පනස්‌දාහ පඩි දීලා තියෙනවා. අමතරව දෙන ගාන කීයද දන්නේ නෑ. ඒ අයියා ළඟට සම්බන්ධ වෙලා ටික කාලයක්‌ යනකොට මට ඩ්‍රයිවින් පුරුදු කරලා වෑන් එකකුත් අරගෙන දුන්නා. අවුරුදු තුනක්‌ විතර වැඩ කරගෙන යනකොට අයියා නැති වුණා. ඊට පස්‌සේ මට හිතවත් අයියලා දෙන්නෙක්‌ කිව්වා අපි සල්ලි ටිකක්‌ දාන්නම් ඔයා පොලියට දෙන්න පටන් ගන්න කියලා. ඒ දෙන්නා එතකොට හිටියේ කැනඩාවේ. මමත් වැඩේට කැමති වුණා. ඊට පස්‌සේ ඒ දෙන්නා ලක්‍ෂ පනහක්‌ මට එව්වා...''

''අවුරුදු, තුන හතරක්‌ යනකොට මට දීපු ලක්‍ෂ පනහ කෝටි හය, හතක්‌ කළා. මමත් කෝටිපතියෙක්‌ වුණා. සල්ලි නිසා මිනිස්‌සුන්ට ගහලා කිහිප වතාවක්‌ම රිමාන්ඩ් එකෙත් හිටියා. නොතේරීම මම මැරයෙක්‌ වුණා. එතකොට මගේ ජීවිතය වෙලා තිබුණේ සල්ලි හම්බ කිරීම විතරයි. කුලියට ගෙයක්‌ අරගෙන හරි ලස්‌සනට ජීවත් වුණා. ගමන් බිමන් යන්න එක, එක වාහන. සල්ලි ගෙවා ගන්න බැරිව සින්න වෙච්ච වාහනවලින් ගෙදර වත්ත පිරිලා. අතේ, කරේ රත්තරං පිරිලා. කරේ තිබුණු මාල දෙක පවුම් විසි එකක්‌. සුපිරි ව්‍යාපාරිකයා. මගේ වටේට යාළුවො රොත්තක්‌ එකතු වෙලා හිටියා. අපි සේරම ජීම් ගිහිල්ලා ඇඟවල් හරි ලස්‌සනට හදාගෙන හිටියේ. පහුගිය ආණ්‌ඩුවේ ප්‍රසිද්ධ ඇමැතිවරු දෙදෙනකුට අපි ඉස්‌කොඩ් එක දීලා තියෙනවා. ඒ වෙනුවෙන් කියලා රුපියලක්‌වත් අපි ගත්තේ නෑ. මගේ යාළුවොත් මොනවහරි බිස්‌නස්‌ කරලා හොඳට සල්ලි හම්බ කළා. එකාට, එකා උදව් උපකාර කරගෙන අපි ලස්‌සනට ජීවත් වුණා...''

 ''ඒ වෙනකොට මට ආදරවන්තියකුත් හිටියා. ඒත් එයාගේ ගෙදරින් මට කැමැති වුණේ නෑ. ආදරය කරන්නට පටන් අරගෙන අවුරුදු අටක්‌ විතර යනකොට තමයි එයාගේ දෙමවුපියො මට කැමැති වුණේ. පස්‌සේ අපි කසාද බැන්දා. එතකොට මට වයස අවුරුදු විසිදෙකයි. බැඳලා අවුරුදු දෙකක්‌ විතර යනකොට අපිට පුංචි දුවක්‌ ලැබුණා. අපි තුන්දෙනා හරිම සතුටින් ජීවත් වුණා. ඒ අතරෙත් පොලී සල්ලි ගන්න ගිහින් මිනිස්‌සුන්ට ගහලා කිහිප වාතාවක්‌ම බන්ධනාගාරගත වුණා. දවස්‌ හතයි, දාහහතරයි වැඩි දවස්‌ හිර බත් කෑවේ නෑ. වැඩි දවස්‌ ඉන්න විදිහට පොලිසිය වැරැදි ගොනු කළෙත් නෑ. පොලිසිය අපිත් එක්‌ක හිටියේ. පොලිසිය අපිට කරන උදව්වලට පෙරළා අපිත් උපරිමයෙන්ම උදව් කළා. රිමාන්ඩ් එකෙත් අපිට ෆුල් සැලකිලි. එළියෙන් කෑම.

 ''ඔහොම ජීවිතය ගලාගෙන යනකොට අපේ ගෙවල් ළඟ ගෑනු කෙනෙකුට මගේ හිත බැඳුණා. ටික දවසක්‌ යනකොට ඒ සම්බන්ධය ගොඩක්‌ දුර ගියා. එයා මට අසීමිතව ආදරය කළා. අන්තිමේ මට එයාව නැතුවම බැරි වුණා. අපේ ගෙදර තිබුණු සමගිය නැති වෙලා ගියා. ඒ ලැබුණු විවිධත්වයත් සමඟ මම තවත් ගෑනු ඇසුරු කරන්න පටන් ගත්තා. මගේ වාහන, රත්තරං දකිනකොට ගෑනු නිකන්ම මගේ ළඟට ඇදුනා. මම නිසා පවුල් අවුල් වුණා. මාත් එක්‌ක හිටිය ගෑනුන්ට මමත් උපරිමයෙන් උදව් උපකාර කළා. මුලින්ම මගේ හිත බැඳුණු කාන්තාවට මගේ ගානේ ගෙයක්‌ හදා දුන්නා. ඒත් මගේ පවුල පිළියම් කරන්න බැරි තරමට කැඩිලා, බිඳිලා ගියා. කසාද ගෑනි ගැන, දරුවා ගැන නිකමට නොබලන තත්ත්වයට වැටුණා. වටේ ගෑනු එක්‌ක ඉඳලා ගෙදර ගිහින් කාමරයට වෙලා නිදාගත්තා. සති ගණන් ගෙදර ගියේ නැති අවස්‌ථා තිබුණා...''

 ''යාළුවොත් එක්‌ක සෙට්‌ වෙලා නයිට්‌ ක්‌ලබ් ගියා, ට්‍රිප් ගියා, පාටි දැම්මා. උපරිම ෆන් ගත්තා. ඒත් අරක්‌කු, සිරගට්‌ බිව්වට වෙනත් මත්ද්‍රව්‍යය ගත්තේ නෑ. කුඩු, ගංජා බිස්‌නස්‌ කරන අයව ඕන තරම් ඇසුරු කරලා තියෙනවා. ඔරුගොඩවත්තේ කුඩු, ගංජා විකුණන ගෑනියෙක්‌ව ළඟින්ම ඇසුරු කළා. ඒ ගෑනු කෙනා මහා පරිමාණයෙන් කුඩු විකුණුවා. කුඩු, ගංජා බොන තැන්වල ඉඳලා තියෙනවා. ඒත් අපේ සෙට්‌ එකේ කිසිම කෙනෙක්‌ කුඩු බිව්වේ නෑ. කුඩු බොන එකෙක්‌ හිටියොත් ඌට හොඳින් කියලා නතර කරන්න බලනවා. බැරි වුණොත් ගහලා හරි නතර කරනවා. කුඩු බීලා මාට්‌ටු වෙච්ච සමහර අයගේ අත, පය කඩලා තියෙනවා. අපේ ගමේ කුඩු විකුණන තැනක්‌ හොයාගන්න නෑ. කුඩු සුවඳටවත් අපි කැමති වුණේ නෑ. ඒත් අන්තිම වතාවට මම රිමන්ඩ් ගිය අවස්‌ථාවේ අපිට වතුර අදින කොල්ලා කුඩු බොන දිහා ඕනෑකමෙන් මම බලාගෙන හිටියා. ඊයම් කොළය රත් කරගෙන කුඩු උරන දර්ශනය මගේ හිතට තදින් වැදුනා. එක දවසකට හරි කුඩු ෆීලින් එක ගන්න ඕනෑ කියලා එදා මට හිතුනා. ඒ වතාවෙත් රිමන්ඩ් එකෙන් නිදහස්‌ වෙලා ඇවිත් පුරුදු විදිහට ව්‍යාපාර කරගෙන ගියා...''

 ''ඔහොම ඉන්න අතරේ මට තාත්තා දීපු ඉඩමේ තට්‌ටු දෙකක ගෙයක්‌ හදන්න ගත්තා. බාස්‌ලා, අත්උදව්කරුවො හුඟ දෙනෙක්‌ වැඩ කළා. ඒ අය අතරත් කුඩු බොන අය හිටියා. ඒ මිනිස්‌සු කුඩු බොන දිහාත් මම බලාගෙන හිටියා. මටත් කුඩු චුට්‌ටක්‌ බොන්න හිතුණා. මම ඔරුගොඩවත්තේ මගේ පෙම්වතියට කතා කරලා ගෙදර වැඩ කරන අයට කියලා කෑලි පහක්‌ ගෙන්න ගත්තා. රුපියල් පන්දාහක බඩු. ඒත් මගෙන් සල්ලි ගත්තේ නෑ. පස්‌සෙ මම සිගරට්‌ පෙට්‌ටියකුත් අරගෙන වාඩියට ගිහින් දැකලා තියෙන විදිහට ඊයම් කොලයට කුඩු දාලා රත් කරලා ඉරුවා. හුස්‌ම දෙක, තුනයි ඇද්දේ වමනේ දාගෙන වැටුණා. ඊට පහුවෙනිදා තමයි මට ඇහැරුණේ. ඒත් එදත් කුඩු චුට්‌ටක්‌ ගත්තා. පහුවෙනිදත් කුඩු චුට්‌ටක්‌ ගත්තා. ඔය විදිහට දවස්‌ දහයක්‌ කෑලි පහ බිව්වා. ගෙදර ගියෙත් නෑ. ඒ දවස්‌ දහයම නිදාගත්තේ වාඩියේ...''

 ''බඩු ටික ඉවර වුණාට පස්‌සේ ඒ ෆීලින් එක හොඳටම ඇති, ආයෙත් ජීවිතේට කුඩු බොන්නේ නෑ කියලා හිතාගත්තා. ඒත් වෙනදා කුඩු බිව්ව වේලාව ළං වෙනකොට මගේ ඇඟේ හිරුගඩු පීපීගෙන ඇවිත් වමනය ගියා. ඇඟට තෙහෙට්‌ටු ගතියක්‌ එක්‌ක බඩ එළිය ගියා. මම දන්නේම නැතුව ඇඳගෙන හිටිය කලිසමෙත් බඩඑළිය ගියා. කටට සෙම ගුලි ආවා. හරිම අමුතුයි. ලෙඩක්‌ හැදීගෙන එනවාදෝ කියලත් මට හිතුණා...''

 'නෑ... මේ කුඩු බීලා නතර කරපු නිසා වෙන්න ඇති...' කියලා හිතලා කුඩු බොන හිතවතෙකුට කතා කරලා සම්පූර්ණ විස්‌තරයම කිව්වා. ඒක අහලා එයා කිව්වා 'උඹට ඔය තියෙන්නේ සික්‌ එක. කුඩු චුට්‌ටක්‌ අරගනිං එතකොට හරි යයි' කියලා. ඊට පස්‌සෙ මම එයාට කියලා කුඩු කෑලි දෙකක්‌ ගෙන්නගෙන දෙන්නත් එක්‌කම බිව්වා. ඇඟට දැනුණු අමාරු සේරම නැති වෙලා ගස්‌, ගල් පෙරළන තරමට ශක්‌තියක්‌ ආවා. ලොකු මත් ගතියකුත් නෑ. මගේ නොතේරුම්කමටත්, තියෙන කාලකණ්‌ණිකමටත් කුඩුවලට හිත බැඳුණා...''

 'මචං හැමදාම කෑල්ල, කෑල්ල ගේන්න බෑ. එක පාර බඩු ටිකක්‌ ගමු...' කියලා මම ඔරුගොඩවත්තේ මගේ කෙල්ලට කතා කරලා යාළුවකුට බිස්‌නස්‌ කරන්න කියලා කුඩු ග්‍රෑම් දහයක්‌ ගෙන්න ගත්තා. ඒ ටිකට රුපියල් ලක්‍ෂයක්‌. අපි දෙන්නා දවසට ග්‍රෑම් දෙක, තුන බිව්වා. මුළු දවසම කුඩුවලට දිය කළා. යාළුවා නැතිව මම තනියෙනුත් ගත්තා. බිම වාඩි වෙලා ඉන්නකොට නළල බිම වඳින ගානට කුඩු බිව්වා. කුඩුවලට ඇබ්බැහි වුණාට පස්‌සේ පාටියකට ගියත් ඇල්කොහොල් ගත්තේ නෑ. අරක්‌කු දකිනකොට අප්පිරියයි. මම යාළුවන්ගෙනුත් ටිකෙන්, ටික අයින් වෙලා කුඩු බොන අය විතරක්‌ ඇසුරු කළා...''

 ''බත්තරමුල්ල බණ්‌ඩපුර යාළුවකුගේ ගෙදරක මාස තුනක්‌ විතර නතර වෙලා ඇති වෙන්න කුඩු බිව්වා. මම නියම මෝරෙක්‌ කියලා දැනගත්තම ඒ අයත් දෙයියන්ට වගේ සැලකුවා. මොන සැලකිලි ලැබුණත් කුඩුවලින් මිදෙන්න ඕනෑ කියලා මටම හිතුණා. පස්‌සෙ මම යාළුවකුට කියලා සීදූවේ පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයකට ගියා. එතැන කුකුළු කූඩුවක්‌ වගෙයි. මට ගැලපුණේ නෑ. පස්‌සේ මම එතැනින් ආයෙමත් බණ්‌ඩපුරයට ගියා. එතකොට මම කුඩු බොන්න අරගෙන අවුරුදු එකහමාරක්‌ විතර ඇති. කොහේ හිටියත්, මොන ජරාව බිව්වත් ෆෝන්  එකෙන් බිස්‌නස්‌ එක යනවා. සල්ලි ටික බැංකුවට වැටෙනවා. අවශ්‍ය කෙනෙකුට මම සල්ලි දානවා. ඒ එකතු වෙන සල්ලි කුඩුවලට වියදම් කළා..''

 ''යාළුවන්ව කට්‌ කරනකොට ඒ අය මම යන, එන තැන් හොයන්න පටන් ගත්තා. දවස්‌ දෙක, තුනක්‌ම මගේ යාළුවො සෙට්‌ එකක්‌ බණ්‌ඩරපුරයට ගිහිල්ලා කෑගහලා, මහ තොවිලයක්‌ නටලා ඇවිත් තිබුණා. ඒ බයට බණ්‌ඩපුරේ මම නතර වෙලා හිටිය ගෙදරින් මාව තියාගන්න අකමැති වුණා. වත්තේ කවුරුවත් මට කුඩු දුන්නෙත් නෑ. ඒ වෙනකොට මම කුඩු බොනවා කියලා හැමෝම දන්නවා. පස්‌සෙ මම වෙන, වෙන පොට්‌වලින් කුඩු අරගෙන හුදෙකලා වෙලා ගත්තා. සමහර දවස්‌වලට අලුතින් හදන ගෙදරට ගිහින් කුඩු බිව්වා. අපේ ගෙදර කාමරයට වෙලා බිව්වා. එතකොට මම වයිෆ එක්‌ක සම්බන්ධය නතර කරලා අවුරුදු හයක්‌ විතර ඇති. දරුවා එක්‌ක වැඩි කතා බහකුත් නෑ. කුඩු බොනවා නිදිය ගන්නවා. දවසටම එක වේලායි කෑවේ. ඒ කෑවෙත් කඩෙන්. ගෙදරින් කෑවේ නෑ. ලස්‌සනට, පිම්බිලා තිබුණු ඇඟ හාල් දණ්‌ඩට හීන් වුණා. මූණ, කට විරූපී වුණා. දවසක්‌ කුඩුයි, අරක්‌කුයි දෙකම බීලා ස්‌ලැබ් එකකින් වැටිලා බඩ කැපුණා. වකුගඩුව ගාවට යනකං කැපිලා තිබුණා. ජීවිතේ බේරුණේ අනූනවයෙන්. ඉස්‌පිරිතාලේ ඉඳලා ඇවිල්ලත් බෙහෙත් එක්‌ක කුඩුත් බිව්වා...''

 ''මම කුඩු බොන්න පටන් ගත්තේ අවුරුදු විසිනවයේදී. දැන් මට වයස අවුරුදු තිස්‌ දෙකයි. ඒ කාලය තුළ කෝටි ගාණක කුඩු බිව්වා. මට පණ දෙන්නම් කියාගෙන හිටපු ගෑනු වාෂ්ප වුණා. දැන් ඒ ගෑනු මම උන්නද, මළා ද කියලා බලන්නේ නෑ. ඒ සේරම හිටියේ සල්ලිවලට. අමාරුවෙන් ගොඩනඟාගත්ත ව්‍යාපාරය අදටත් බේරිලා තියෙන්නේ යාළුවො නිසා. ඒ අය රුපියලක්‌වත් වංචා නොකර ගානට සල්ලි ටික බැංකුවට දානවා. මම මෙතැනට ආවේ ජීවිතය කුඩු වෙන්න ඉස්‌සෙල්ලා කුඩුවලින් සදහටම ඈත්වෙන්න. දැන් මම මෙතැනට ඇවිත් මාස දෙකක්‌ විතර වෙනවා. මාව මෙතැනට ගෙනාවෙත් යාළුවො. දැන් මගේ ඇඟට පැහැදිළි වෙනසක්‌ දැනෙනවා. වෙනදා දැනෙන කුඩු සික්‌ එක නෑ. ඒ වගේම මේ ආගමික පරිසරයේ ජීවත් වෙනකොට අපි මොනවද කළේ කියලා හිතට මහා වේදනාවක්‌ එනවා. මාව මෙතැනට ගෙනාපු යාළුවන්ට දැන් මම පිං දෙනවා. කුඩුවලට වෛර කරනවා. මම මෙතැනින් යන්නේ කුඩු විතරක්‌ නතර කරලා නෙමෙයි සමාජයේ යහපත් පුරවැසියෙක්‌ විදිහට ජීවත් වෙන්න හිතාගෙන. මම සමාජයට කියන්නේ කුඩු අත්දැකීම නම් විඳින්න යන්න එපා. ගියොත් ඉවරයි. කුඩු කියන්නේ මිනිසුන් විනාශ කරන්න ආපු මර උගුලක්‌. මොළේ පාවිච්චි කරලා ජීවත් වුණොත් කුඩු ගොඩක හිටියත් කුඩු බොන්නේ නෑ...''


 තරංග රත්නවීර


gossip lanka