උපාධියත් ලබලා හිරගෙය සරසවියක්‌ කරගත් ශ්‍යාමන්ත හා බමුණුසිංහ එල්ලුම් ගහට නියම වුණ හැටි

අධිකරණය විසින් මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කරන ලද රැඳවියන්ගේ සිරගත ජීවිත පිළිබඳ සත්‍ය තොරතුරු සාමාන්‍ය සමාජය වෙත සන්නිවේදනය වන අවස්‌ථාවන් විරලය. බාහිර සමාජයෙන් ඈත්වන ආකාරයට දැඩි පවුරු පදනම් මැද බන්ධනාගාරගතකොට ඔවුන්ව රඳවා තබා ඇති අතර ඔවුන් අතරින් බොහෝ දෙනකු තම සිරගත ජීවිතය ගත කරනු ලබන්නේ දෙලොවක්‌ අතර අතරමං වූ පිරිසක්‌ පරිද්දෙන්ය.

පහත පෙළගැසෙන්නේ එම නියමයන් වෙනස්‌ කරමින් මෙරට බන්ධනාගාර ඉතිහාසය වෙනස්‌ කළ සුවිශේෂී රැඳවියන් දෙදෙනෙක්‌ පිළිබඳ කතාවක්‌ ය. ඉන් එක්‌ රැඳවියෙක්‌ මේ වනවිට රඳවා තබා ඇත්තේ කුරුවිට බන්ධනාගාරය තුළ ජීවිතාන්තය දක්‌වා සිරදඬුවමකට යටත් කොටය. 2005 වර්ෂයේදී රාජගිරියේ පිහිටි රෝයල් පාක්‌ නිවාස සංකීර්ණය තුළදී ඉවොන් ජොන්සන් නමැති සුරූපී තරුණිය ඝාතනය කිරීමේ චෝදනා පිට අධිකරණය මගින් මරණ දඬුවම නියම කළ ඔහුට 2016 වර්ෂයේ එම දඬුවම ලිහිල් කොට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් පමුණුවනු ලබන්නේය. මේ වන විට ඔහුගේ සිරගත ජීවිතයට වසර 13 ක්‌ සම්පූර්ණ වී ඇත.

මේ කතාවේ එන අනෙක්‌ රැඳවියා මරණ දණ්‌ඩනයට යටත් කොට වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියෙක්‌ වන අතර ඔහුට මරණීය දණ්‌ඩනය උරුම වන්නේ මොහොමඩ් සියාම් නමැති මුස්‌ලිම් ජාතිකයාගේ ඝාතනය සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැවැති නඩු විභාගයෙන් වරදකරුවකු ලෙස අධිකරණය මගින් තීරණය කිරීමෙන් අනතුරුවය. රට තුළ මහත් ආන්දොaලනයක්‌ ඇති කළ නඩු කටයුත්තකින් අනතුරුව අධිකරණය මගින් ඔහු ඇතුළු කීපදෙනකුට මරණ දණ්‌ඩනය නියම කළ අතර මේවනවිට ගතවෙමින් පවතින්නේ ඔහු ව මරණීය දණ්‌ඩනයට යටත් කොට ගතවන තෙවැනි වසරය. ඔහු පිළිබඳව මීට පෙරත් එක්‌ අවස්‌ථාවක මාධ්‍ය මගින් රට හමුවේ අනාවරණයක්‌ කළ අතර ඉන් ප්‍රකාශ වූවේ මරණය අභියස සිටිමින් ඔහු විසින් සිදු කළ සුවිශේෂී හපන්කමක්‌ පිළිබඳවය.

ඉහත සඳහන් සිදුවීම් දෙකට අදාළ කතා නායකයන් බවට පත්වන රෝයල් පාක්‌ ඝාතනයේ වරදකරු වන ශ්‍යාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ සහ ඉන්දික බමුණුසිංහ මේ කතාවට අදාළව මෙතැන් සිට සමානයින් දෙදෙනකු බවට පත්වන්නේ සහ රට පුරා බන්ධනාගාරවල මරණීය දණ්‌ඩනය සහ ජීවිතාන්තය දක්‌වා දඬුවම් විඳින අනෙකුත් රැඳවියන්ගෙන් වෙන්කොට හඳුන්වන්නේ සුවිශේෂී කරුණක්‌ හේතුවෙන්ය. එනම් මේ වනවිට ඔවුන් දෙදෙනා විසින් ඔවුන්ට උරුම ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම සහ මරණ දඬුවම අමතක කොට හිරගෙය සරසවියක්‌ බවට පත් කර ගැනීමට සමත් වී සිටීම හේතුවෙන්ය.

ඒ අනුව ශ්‍යාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ කුරුවිට බන්ධනාගාරය තුළත් ඉන්දික බමුණුසිංහ වැලිකඩ බන්ධනාගාරය තුළත් සිය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන අතර මේ වනවිට ශ්‍යාමන්ත බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්වවිද්‍යාලය යටතේ පවත්වන ලොවම පිළිගත් උපාධියක්‌ වන Iconomic and Finance උපාධිය හදාරන අතර සංජීව බමුණුසිංහ විසින් දේශීයව ලබා ගත හැකි ඉහළ උපාධියක්‌ වන දර්ශන ශූරී උපාධිය පිණිස අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටින්නේය.

ශ්‍යාමන්ත විසින් සිරගෙය සහ සිරගත ජීවිතය පරිවර්තනීය වෙනසක්‌ කරා මෙහෙයවීම ආරම්භ කරනු ලබන්නේ ඔහුව සිරගත කොට වසරකට ආසන්න කාලයක්‌ ගතවීමෙන් අනතුරුවය. පළමුව බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක්‌ මගින් පවත්වන ලද Diet and Nutrition (ආහාර හා පෝෂණවේදී) ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක ලෙස හදාරන ශ්‍යාමන්ත ඒ සඳහා වන සහතිකපත් ලාභියෙක්‌ බවට පත් වන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරදඬුවම් විඳින අතරතුරය. සහජයෙන්ම උරුම ඉංගී්‍රසි භාෂාව පිළිබඳ දැනුමත් ඔහු අතින් මිනිස්‌ ඝාතනයක්‌ සිදුවීමට පෙර ඔස්‌ටේ්‍රලියාවේ මොනෑෂ් සරසවියෙන් ලබාගත් උසස්‌ අධ්‍යාපනයත් ඒ සඳහා ඉවහල් වී ඇති අතර ඔහු විසින් සිරගෙය සරසවියක්‌ බවට පත් කර ගනු ලබන්නේ එතැන් සිටය.

ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරගතව සිරදඬුවම් විඳින ශ්‍යාමන්ත සිරගතව සිටිමින් තවදුරටත් උසස්‌ අධ්‍යාපනය හදාරන්නට තීරණය කරන අතර එවර යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් විශ්වවිද්‍යාලය මගින් පිරිනමන උපාධිය හැදෑරීම ආරම්භ කරන්නේය.

සිරගතව ගත කරනු ලබන ජීවිතයේ පවතින ඒකාකාරී බව සහ නීරස බව අමතක කර Iconomic and Finance (ආර්ථික හා මූල්‍ය) උපාධිය හැදෑරීම ආරම්භ කරමින් අධ්‍යයන කටයුතුවල නිරත වී ඇති ශ්‍යාමන්ත විෂයන් 12 ක්‌ යටතේ සිය උපාධිය පිණිස අධ්‍යයන කටයුතු සිදු කර ඇති අතර වසර තුනක කාලයක්‌ තුළ ඉන් විෂයන් 7 ක්‌ සම්පූර්ණ කිරීමට ඔහු සමත් වන්නේය.

ජීවිතය යනු අනපේක්‍ෂිත සිදුවීම් සමූහයක්‌ යෑයි ශ්‍යාමන්ත ඉදිරියේ යළිත් වරක්‌ ඔප්පු වන්නේ ඒ අතරතුරය. එතෙක්‌ දිනක්‌ වසර 12 ක සිරදඬුවමකට යටත්ව බන්ධනාගාරගතව සිටි ශ්‍යමන්ත හමුවේ දෛවය යළිත් වරක්‌ සරදම් කරන්නේය.

මහාධිකරණය විසින් ලබාදී තිබූ දොළොස්‌ අවුරුදු සිරදඬුවමට අභියාචනාධිකරණය ඉදිරියේ මරණ දඬුවමක්‌ දක්‌වා පරිවර්තනය වන්නේ එතැන් සිටය. එම තීරණය ශ්‍යාමන්තගේ අධ්‍යාපන කටයුතු පමණක්‌ නොව නිදහස පිණිස වන සියලු බලාපොරොත්තු දවාහළු කළ සිදුවීමක්‌ බවට පත්ව ඇත. එතැන් සිට සියලු අධ්‍යාපන කටයුතුවලින් බැහැර වන ශ්‍යාමන්ත කලක්‌ යනතුරු මරණ දණ්‌ඩනයට යටත්ව වැලිකඩ බන්ධනාගාරය තුළ දඬුවම් විඳිමින් සිටින අතර කල්යත්ම ඔහුව කුරුවිට බන්ධනාගාරයට මාරු කර හරින්නේය.

ශ්‍යාමන්තගේ සිරගත දිවියෙහි අලුත් පරිච්ඡේදයක්‌ නැවත ආරම්භ වී ඇත්තේ එතැන් සිටය. අලුත් පරිසරයකින් හා වැඩි තදබදයකින් තොර කුරුවිට බන්ධනාගාරය තුළදී මානසික වශයෙන් ඔහු දැවැන්ත පරිවර්තනයකට ලක්‌වන අතර එහිදී ඔහු විසින් තීරණය කර ඇත්තේ අතරමග නතර කර දමන ලද අධ්‍යාපන කටයුතු නැවත වතාවක්‌ ආරම්භ කළ යුතු බවය.

කුරුවිට බන්ධනාගාරයේ නිසි අවසරය පිට නැවත ඔහු සිය උපාධිය සම්පූර්ණ කිරීම පිණිස අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේ එය සාර්ථකව නිම කොට බන්ධනාගාර ජීවිතය තුළ උපාධිධාරියකු බවට පත්වීමේ අසීරු ඉලක්‌කය සාර්ථකව නිම කිරීමේ අරමුණින් යුතුවය.

2015 මැයි මස 5 වැනි දින කුරුවිට බන්ධනාගාරය වෙත මාරු කර හරින ශ්‍යාමන්ත ඉන් මාස කීපයකට පසුව නැවතත් සිය උපාධිය සම්පූර්ණ කරනු පිණිස අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේය.

මරණය අභිමුව හිඳිමින් ජීවිතය ජය ගැනීම පසෙක තබන ශ්‍යාමන්ත එතැන් සිට දිරිගන්නේ අතරමග නතර කළ සිය උපාධිය ජය ගැනීම පිණිසය. ඒ වනවිට උපාධියට අදාළ විෂයන් හතක්‌ සම්පූර්ණ කොට සිටි ඔහු ඉතිරි විෂයන් පහ අතුරින් විෂයන් තුනක්‌ සම්පූර්ණ කිරීමට මේ වනවිටත් සමත්ව ඇත. ඒ අතරතුර යහපත් කල් ක්‍රියාව හේතුවෙන් මරණීය දණ්‌ඩනයට යටත්ව බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට පොදු සමාවක්‌ ලබාදීම පිළිබඳ සලකා බැලීමට පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශය මත ඔහුට 2016 මැයි මස 23 වැනි දින ජනාධිපති විශේෂ සමාව යටතේ ජීවිත සමාව හිමිවී ඇත.

මේ වනවිට 32 හැවිරිදි වියේ පසුවන ශ්‍යාමන්ත ඉන් වසර 13 ක්‌ ගත කොට ඇත්තේ බන්ධනාගාරගතවය. මේ වනවිටත් ජීවිතාන්තය දක්‌වා සිරදඩුවමකට යටත්ව කුරුවිට බන්ධනාගාරගතව ලොවම පිළිගන්නා උපාධියක සාඩම්බර හිමිකරුවකු වීමේ දැඩි උවමනාවෙන් අධ්‍යයන කටයුතුවල නිරත වන ශ්‍යාමන්ත එම අභියෝගය ජය ගැනීමට සැරසෙන්නේ විවිධ දුෂ්කරතා රැසක්‌ මැදය. බාහිර උදව් උපකාරවලින් තොරව ඉතාමත් අසීරු සහ සංකීර්ණ විෂයන් රැසක්‌ යටතේ අධ්‍යයන කටයුතුවල නිරත වන ශ්‍යාමන්ත හට කුරුවිට බන්ධනාගාර සුභසාධක අංශය විසින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් කීපයක්‌ ද සපයා ඇත.

ඉහළ සමාජ වටිනාකම් සහිත ඉසුරුමත් පවුලක උපන් ශ්‍යාමන්ත අතින් සුරූපී තරුණියක්‌ ඝාතනය වීමට පෙර ඔහු ඔස්‌ටේ්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ උසස්‌ අධ්‍යාපනය හදාරා ඇති අතර ඔහු අතින් එම අවාසනාවන්ත සිදුවීම සිදුවන්නේ කෙටි නිවාඩුවක්‌ පිණිස ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුවය.

බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයට අනුබද්ධ උපාධි අපේක්‍ෂාවක්‌ පිණිස මේ වනවිටද ඔහු දැඩි වෙහෙසක්‌ දරන අතර ඒ සඳහා ඔහුට සම්පූර්ණ කිරීමට ඇත්තේ තවත් විෂයයන් දෙකක්‌ පමණය. මේ වසර තුළ එය සම්පූර්ණ කිරීම ශ්‍යාමන්තගේ උත්සාහය වන අතර ඒ සඳහා ජීවිතාන්තය දක්‌වා පනවා ඇති සිරදඬුවම ඔහු විසින් බාධාවක්‌ බවට පත් කර ගෙන නොමැත.

දිනපතා අලුයම 3 ට පමණ අවදිව අධ්‍යයන කටයුතුවල නිරත වන ශ්‍යාමන්ත සෑම දිනකම පෙ.ව. 5.00 ට පමණ පැය භාගයක කාලයක්‌ ආගමික කටයුතු සඳහා වෙන් කරන්නේය. ඉන් අනතුරුව හැකි අයුරින් ශාරීරික ව්‍යායාම් ආදියේ නිරත වන ඔහු උදෑසන ආහාරයෙන් පසු පැය තුනක කාලයක්‌ නැවත අධ්‍යයන කටයුතු වෙනුවෙන් වෙන් කර ඇත. දිවා ආහාරයෙන් අනතුරුව තවත් පැය දෙකක කාලයක්‌ අධ්‍යයන කටයුතුවල නිරත වන ශ්‍යාමන්ත ප.ව. 5.30 න් පසු බන්ධනාගාර වාට්‌ටු වසා දැමීමෙන් අනතුරුවද බොහෝ වේලාවක්‌ සිය අධ්‍යයන කටයුතු සිදු කරන අතර බන්ධනාගාර අවසරය මත ඒ සඳහා ඔහුට අවශ්‍ය විෂය කරුණු ලබාදෙන්නේ මෙරට විශ්වවිද්‍යාලයක සේවය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරයකු මගින්ය.

හදිසියේ ඇති වූ ආවේගශීලී හැඟීමක්‌ විසින් සිදුවූ වරදක්‌ හේතුවෙන් එතැන් සිට එක්‌ දිනක්‌වත් ඇප කොන්දේසි මත නිදහස හිමි නොවුණ ශ්‍යාමන්ත හදිසි කෝපය මත තමන් අතින් සිදුවූ වරද පිළිබඳ පසුතැවෙන අතර මේ වනවිට ඔහුගේ ජීවිත බලාපොරොත්තුව බවට පත්ව ඇත්තේ මතු දිනක නැවතත් සාමාන්‍ය සමාජයට පය තබා තම දැනුම රටේ යහපත පිණිස යෙදවීමය.

සාමාන්‍ය ජීවිතයේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ලෙස කටයුතු කරමින් සිටි ඉන්දික බමුණුසිංහ සිරගත ජීවිතය තුළ පසු කළ ප්‍රථම අධ්‍යාපනික කඩඉම වන්නේ ශාස්‌ත්‍රපති (BA) උපාධිය වන අතර ඔහුට මරණීය දණ්‌ඩනය උරුම වී ඇත්තේ උපාධිය සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කොට වසරක්‌ ගතවීමත් සමගය. 2015 වර්ෂයේදී ඔහුට මරණීය දණ්‌ඩනය හිමි වීමත් සමග මරණීය මානසිකත්වයෙන් ඈත්වන බමුණුසිංහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා හමුවේ අධ්‍යාපනය සඳහා වන කැමැත්ත ප්‍රකාශ කර සිටින අතර ඔහුට සිරගෙය සරසවියක්‌ බවට පත්වන්නේ එතැන් සිටය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 2017 වසරේ ජනවාරි මාසය වනවිට ඔහු ශාස්‌ත්‍රපති (ඊA) උපාධිය සම්පූර්ණ කරන අතර ඒ සඳහා ඔහුට අවශ්‍ය නිබද ශක්‌තිය සපයනු ලබන්නේ සිරගත වුවද ඔහු අතැර නොගිය සිය පෙම්වතිය විසින්ය. ඇය විශ්වවිද්‍යාල දේශනවලට සහභාගී වෙමින් බමුණුසිංහට අවශ්‍ය විෂය කරුණු මෙන්ම බාහිර දැනුමද රැගෙන සතියකට වරක්‌ බන්ධනාගාරය වෙත පැමිණ ඒවා බමුණුසිංහ වෙත ලබා දෙමින් ඔහුට දිරිය ශක්‌තිය සපයා ඇත්තේ මරණීය දණ්‌ඩනය නියම වුවද සිය ආදරණීය පෙම්වතා කෙරෙහි උපන් අනුපමේය සෙනෙහසේ නාමයෙන්ය.

සාමාන්‍ය ජීවිතයට වඩා බෙහෙවින් වෙනස්‌ තත්ත්වයක්‌ යටතේ කල්ගත කරනු ලබන බන්ධනාගාර ජීවිතය තුළ ශාස්‌ත්‍රපති උපාධිධාරියකු බවට පත්වන බමුණුසිංහ ඉන් අනතුරුව තවත් තීරණාත්මක කඩඉමක්‌ වෙත පිවිසෙන අතර එවර ඔහු විසින් තීරණය කරනු ලැබ ඇත්තේ ශාස්‌ත්‍රවේදී (MA) උපාධිය පිණිස තවදුරටත් අධ්‍යයන කටයුතුවල නිරත වීමය. වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගේ පූර්ණ ආශිර්වාදය ඒ සඳහා ලැබෙන අතර ඔහුට අවශ්‍ය පොත්පත් ඇතුළු බන්ධනාගාර පුස්‌තකාලය පවා පරිහරණය කිරීම පිණිස අවස්‌ථාවද බමුණුසිංහ වෙත හිමිවන්නේය.

ඒ සඳහා අවශ්‍ය වන විශ්වවිද්‍යාලයීය දැනුම සිය පෙම්වතිය විසින් බමුණුසිංහට තවදුරටත් ලැබෙන අතර වැලිකඩ රැඳවියන් අතර සිටින ගුරුවරයෙක්‌ විසින් ඔහුගේ දැනුම බමුණුසිංහ වෙත ප්‍රදානය කරන්නේය. ඒ අනුව ඉකුත් ඔක්‌තෝබර් මස 27 වැනිදින ආරම්භ කරන ලද ශාස්‌ත්‍රවේදී උපාධි පාඨමාලාව මේ වනවිට සාර්ථකව නිමා කරන්නට බමුණුසිංහ විසින් සමත්වී සිටින අතර මේ වනවිට ඔහු සූදානම් වෙමින් පවතින්නේ ශාස්‌ත්‍රශූරී උපාධිය පිණිස අවශ්‍ය වටපිටාව නිර්මාණය කර ගැනීම පිණිසය. ඒ සඳහා වන මූලික අඩිතාලම මේ වනවිටත් බමුණුසිංහ විසින් නිර්මාණය කර අවසන්ය.

2005 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දක්‍ෂතම බොක්‌සිං ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට ඇතුළත්ව ඇති බමුණුසිංහ මේ වනවිට තමන්ට හිමි මරණීය දණ්‌ඩනය වෙනුවෙන් අධිකරණය හමුවේ අභියාචනයක්‌ ඉදිරිපත් කොට ඇති අතර ඉදිරියේදී එය විභාගයට ගැනීමට නියමිතය. සිරගත ජීවිතය තුළ පවා අධ්‍යාපනයට වැඩි ඉඩක්‌ වෙන් කොට ඇති බමුණුසිංහ වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්‌ඩනය හිමි වූවන් රඳවා තබා ඇති C වාට්‌ටුවේ කල්ගත කරන රැඳවියෙක්‌ය. රාත්‍රිය මෙන්ම දහවල් කාලයෙන් වැඩි කොටසක්‌ අධ්‍යාපනය සඳහා වෙන් කොට ඇති බමුණුසිංහ බන්ධනාගාර නීතිරීතිවලට යටත්ව කාලසටහනකට අනුව කාලය කළමනාකරණය කර ගනිමින්, ඉගැනීම් කටයුතු සිදු කරන්නේය. ඒ අනුව සෑම දිනකම රාත්‍රි දහයට පමණ අධ්‍යයන කටයුතු ආරම්භ කරන ඔහු එය නිමාවට පත් කරනු ලබන්නේ අලුයම පහට ආසන්න වීමත් සමගය. වරින්වර කෙටි විවේක ලබා ගනිමින් විෂය කරුණු මෙන්ම බාහිර දැනුමද ලබාගන්නා බමුණුසිංහ වරක්‌ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ මරණීය දණ්‌ඩනය නියම වුවද තමන් මානසිකව කඩා නොවැටුණ බවත් අනාගතයෙ දිනක තමන්ගේ නිර්දෝෂීභාවය නීතිය හමුවේ ඔප්පු වීමට නියමිත බවත් ය.

මේ වනවිට මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ අන් කවරදාවටත් වඩා යහපත් හා ක්‍රමවත් අයුරින් සිරකරු සුභ සාධනය සිදුවෙමින් පවතින අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස දෙතැනක සිරගත ජීවිත ගත කරන ශ්‍යාමන්ත සහ බමුණුසිංහ සිය අධ්‍යාපනික හැකියාවන් සමාජය හමුවේ ප්‍රදර්ශනය කරමින් ඇත. තවත් විවිධ හැකියාවන්ගෙන් සමන්විත සිරකරුවන් ඔවුන් සතු හැකියාවන් ඔප්නංවා ගනිමින් මේ මොහොත වන විටත් කටයුතු කරමින් සිටින්නේය. එම සියලු කාරණා ගත් කල පෙනී යන්නේ රටේ නීතිය හමුවේ වරදකරුවන් බවට පත් වන බහුතරයක්‌ දෙනා අතර අරමුණු අත්නොහළ පැතුම් සහගත මිනිසුන් ද වන බවත් ඔවුන් නගා සිටුවීම පිණිස මෙරට බන්ධනාගාර පද්ධතිය ආශ්‍රිතව සිරකරු සුභසාධනය තව තවත් ශක්‌තිමත් හා විධිමත් අයුරින් සිදු කළ යුතු බවත් නොවේද?

රුවන් ජයවර්ධන
gossip lanka