"මම ඒ තනිකම දරා ගන්න අවුරුදු දෙකක් තිස්සේ හිත හදාගන්න උත්සහ කළා.." - නිරංජලා සරෝජිණි

නිරංජලා සරෝජිණි පිරිස් කියන්නේ සංගීත ක්ෂේත්‍රයට හැඟීම්බර, ලයාන්විත හා නිර්මාණාත්මක ගීත එකතු කළ ප්‍රවීණ ගායිකාවක්. ආදරණිය සැමියා මෙලොවින් සමුගත් පසුව ඇය ගීත ගායනය නතර කළා. ජනප්‍රිය ගීත රැසක අයිතිකාරිය වූ නිරංජලා සරෝජිණිය ඇගේ මතක ගැන පුවත්පතකට කතා කර තිබුණේ මෙලෙසිනුයි.

පවුලේ කිවැනියා විදිහටද උපන්නේ ?

උපන්නෙ හයවැනියා විදිහට. දැන් හතරවැනියා. මට වැඩිමල් දෙන්නෙක් පොඩිකාලෙම නැතිවෙලා තියෙනවා. එතකොට දැන් ඉන්නේ මල්කාන්ති අක්කා,කුමාර් අයියා, නිර්මලා අක්කා, මම, සකුන්තලා නංගි, මනෝජ් මල්ලි

අම්මා තාත්තා කවුද කියමුද ?
අපේ පප්පා හැරිසන් පීරිස්, මමී රෙජිනා පීරිස්. පප්පා ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියෙක්. ද මැසෙන්ජර් පුවත්පතේ කර්තෘ. මමී රැකියාවක් කළේ නෑ.

ළමා කාලේ ?
මම පොඩිකාලේ හරි දඟයි. මමයි නිර්මලා අක්කයි ඒ කාලේ නිතරම රණ්ඩු. ඒ වෙලාවට නිර්මලා අක්කට ජය දීලා මම පැරදෙනවා. පප්පා අපි දෙන්නට නම් දෙකකුත් දීලා තිබුණා, හොරිබල් ඇන්ඞ් ටෙරිබල් කියලා.

ඔබ පාසල් යන්නේ ?
කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය, නුගේගොඩ සමුද්‍රදේවි විද්‍යාලය, පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන.

කොහොමද මේ කාලෙ ?
ඉගෙනගත්තා, සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තෙත් ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නෙත් මේ කාලේ තමයි. මම ක්‍රීඩා වලින් කළේ වොලිබෝල් සෙල්ලම් කරපු එක. මගේ පළවෙනි ඉස්කෝලෙදි වොලිබොල් බී කණ්ඩායමේ නායිකාව හැටියටත් හිටියා.

එතකොට සංගීතය ඉගෙන ගන්නේ ?
අවුරුදු දොළහෙන් වගේ. ඒ කාලේ මල්කාන්ති අක්කා ගුවන් විදුලියේ ළමා පිටියට සම්බන්ධයි. එයා ඒ හරහා නන්දා මාලනී මහත්මිය අඳුරනවා. ඉතින් ඒ ඇඳුනුම්කමට නන්දක්කා එයාගේ ‘රුවැති ළඳක්‘ ගීත නාටකයට නිර්මලා අක්කයි මායි ඉල්ලන්න අපේ ගෙදර ආවා.

ඒ ආවාම මොකද වුණේ ?
මමී අවසර දුන්නා. ඒ නාටකයේ රුවැති ළඳට හිටියෙ නිර්මලා අක්කා. ඒ කාලේ මගෙ හඬ ටිකක් ගොරෝසුයි. ඒ වෙලාවේ නන්දක්කා තමයි මගේ හඬ සිංදු කියන්න පුළුවන් විදිහට අවදි කළේ. ඔය  ගීත නාටකයෙන් පස්සෙ නන්දා මාලනී මහත්මියගෙන් සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තා.

ඔහොම සංගීතය ඉගෙන ගනිද්දි ?
ඒ අතරේ ගුවන් විදුලියේ ළමා පිටියට සම්බන්ධ වෙනවා. ඒ එක්කම සමුද්‍රදේවි විද්‍යාලයට ආවාම තූර්ය වාදක කණ්ඩායම් දෙකටම සම්බන්ධ වෙනවා. පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ සිතාරයත් බටහිර තූර්ය වාදක කණ්ඩායමේ පියානෝ එකෝඩියන් එකත් වාදනය කළා.

ගුවන්විදුලියේ ළමා ශිල්පිනියක් වුණාට පස්සෙ ?
සුනෙත් ගෝකුල නිෂ්පාදනය කළ සංගීත සන්ධ්‍යාව, මහින්ද අල්ගමගෙ ළමා රංගපීඨය, අශෝක තිලකරත්නගෙ කනිටු සරසවිය, සුමනා ජයතිලක හා ලැම්බට් පෙම්මාවඩුගේගේ හඳමාමා වගේ වැඩසටහන්වලට සහභාගි වුණා.

මොනවද ඔය වැඩසටහන්වල කළේ ?
වැඩිපුරම සිංදු කිව්වේ.  සංගීත සන්ධ්‍යාවෙන් හැම සතියෙම ප්‍රවීණ ගීත රචකයෙක් ලියපු ප්‍රවීණ සංගීතඥයෙක් සංගීතවත් කළ අලූත්ම සිංදු හයක් පුරුදු පුහුණු කරනවා. අපි හැමෝම ළමා ගීත සිය ගානක් ගයන්න ඇති. ප්‍රවීනණයෝ ඇසුරු කරපු නිසා අපේ ගායන හැකියාව දියුණු කරගන්න ඒක හොඳ පුහුණුවක් වුණා.

ඔය වෙනකොට ඔබේ ඉගෙනීම ?
මම ඉගෙනීමට දක්ෂකමක් තිබුණා. හැම තිස්සෙම විභාගවලින් පන්තියේ  පළවැනියා දෙවැනියා වුණා. මම ජීව විද්‍යාවට කැමැත්තක් තිබුණා. ඒ නිසා උසස්පෙළට හැදෑරුවේ විද්‍යා විෂයයන්.

ඒ වෙනකොට ඔබට ඉගෙනීමේ අරමුණක් තිබුණා ?
මම විද්‍යා විෂයන් හැදෑරුවට මගේ ආසාව තිබුණෙ කවදාහරි දවසක ගුවන් සේවිකාවක් වෙන්නයි. මගේ කැමැත්තක් තිබුණා රට රටවල්වල සංචාරය කරන්න සහ රට රටවල් බලන්න.

ඉතින් මොකද වුණේ ?
පළවෙනි වතාවෙ මට හරියට විභාගෙ පාස්කර ගන්න බැරි වුණා. ඒ නිසා දෙවැනිපාර උසස්පෙළ කරන්න තමයි පැපිලියානෙ සුනේත්‍රාදේවි පිරිවෙනට එන්නේ. දෙවැනිපාර විභාගෙට ලියලා ප්‍රතිපල එන්නත් කලින් ගැසට් කරලා තිබුණු ගුවන් විදුලියේ සහන නිවේදකයන් බඳවා ගැනීමට ඉල්ලූ‍ම් කළා.

ඔබට ලැබුණේ ?
මාව පුහුණු කරන්න බාරවුණේ කුසුම් පීරිස් මහත්මියට. ඒ වෙනකොට ඇය මා බොහෝ ප්‍රියකළ නිවේදිකාවකුත් වුණා. ඉතින් මගේ නිවේදක වෘත්තියේ මගේ මුල්ම ගුරුවරිය වුණේ කුසුම් පීරිස් මහත්මියයි.

ඔහොම වැඩ කරගෙන යද්දි ?
මේ කාලෙම සරල ගී ශිල්පීන් බඳවා ගැනීමේ පරීක්ෂණයකුත් තිබ්බා. මම ඒකටත් ඉදිරිපත්වුණා. මේ හඬ පරික්ෂණේ ශ්‍රේණිගත කිරීම් කළේ ඉන්දියාවෙන් ආව සංගීත මහාචාර්යවරියක් වුණ දීපාලි නාග් මහත්මිය.

ඒ සරල ගී පරික්ෂණෙන් මොකද වුණේ ?
මම ‘ඒ‘ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් විදිහට සමත් වුණා. ඔය 1974 දි. මට සහන නිවේදිකා රස්සාව ලැබුණෙත් මේ අවුරුද්දෙ. 1974 දිම මට පළවෙනි සරල ගී වැඩසටහනත් ලැබුණා.

ඊට පස්සේ ?
මම හිතාගෙන හිටියා කවදාහරි දවසක මට සරල ගී වැඩසටහනක් ලැබුණොත් නන්දක්කට (නන්දා මාලනී )කියලා ගී තනුවක් කරගන්නවා කියලා. ඉතින් දයා අක්කා (දයා ද අල්විස් ) ලියපු ‘අකලට වට මහ වරුසාවක් සේ‘ ගීතයට නන්දක්කා තනුව නිර්මාණය කළා.

ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා ?
ඒක ගීත ක්ෂේත්‍රයේ හොඳ සළකුණක් තබපු ගීතයක් වුණා. ඒ වෙනකොට ගීත සාහිත්‍යයට කාන්තාවන් තිදෙනෙකුගේ එකමුතුවෙන් ගීතයක් බිහිවෙලා තිබුණෙ නෑ. අදටත් අකලට වට මහ වරුසාවක් සේ ගීතය ගීත ක්ෂේත්‍රයට  නොමැකෙන සිහිවටනයක්.

පළවෙනි වැඩසටහනේ ගී සියල්ල ජනප්‍රිය වුණා ?
වැඩසටහනකට ගීත හතරයි ලැබෙන්නේ. අනිත් ගීත තුන වුණේ ‘දිය පිට ඇන්දා ආදර සිතුවම්, ලොව නිසසල වී නවතින මොහොතේ, සහ වික්ටර් රත්නායක සමග ගැයූ සමාවන්න ඔබ දමා යන්න මට‘ කියන ගීත.

ඊට පස්සෙ දිගටම ගැයුවා ?
මම සරල ගී වැඩසටහන කරන්න කලින් 1972 දි අබේගෙ පළවෙනි සරල ගී වැඩසටහනට ඔහුත් සමග යුග ගීයක් ගැයුවා. ‘ කවුද ආවේ.. කවුරුද ආවේ‘ කියලා. ඒ ගීතයත් ගොඩක් ජනප්‍රිය වුණා.

ඒ  ගීතයට ඔබ සම්බන්ධ වෙන්නේ ?
අබේ සනත් අයියලාගෙ ( සනත් නන්දසිරි ) ගෙදර ආවෙ එයාගෙ වෙළඳ ගීත තැටියට සනත් අයියා ලවා ගීතයක් කරගන්න, ඊට පස්සෙ ඒ ගී පුහුණුවීම් වලට ආවා ගියා. අපි ඇසුරු කළා. ඒ ඇසුර ප්‍රේම සම්බන්ධයක් වුණා.

අහඹු හමුවීමක ලස්සන  ආදර කතාවක් ?
අබේට පළවැනි සරල ගී වැඩසටහන ලැබෙන්නෙ 1972 දී. ඒ වැඩසටහනට විශේෂ අවසරයක් ඇතුව මාව ගත්තා යුග ගීයකට. සුනිල් ආරියරත්න, වික්ටර් රත්නායක අබේගෙ හොඳම යාළුවෝ. අපි දෙන්නගෙ සම්බන්ධෙ ගැනත් දැනගෙන හිටපු හින්දා තමයි ඒ දෙන්නා අපිට ගයන්න ‘ කවුද ආවේ කවුරුද ආවේ ‘ නිර්මාණය කළේ.

මාස හයෙන් හයට සරල ගී වැඩසටහන් ලැබුණා. මිනි මිනි පොදේ, මේ ගඟ මේ දුරුකතර, කෙදිනද කූඩු හදන්නට එන්නේ, බඹරෙකු හැඬුවා, ඔබ  දැකගැනීමේ, මීනනුවන්,සමුගන්නට අවසරයි, අනුරාධපුරේ, පෙඳ පාසි සොයාලා වගේ සරල ගී, යුග ගී තුන් හාරසීයක් ගැයුවා.

මේ ගී එදා මෙදාතුර ජනප්‍රිය වුණ ඒවා ?
සමහර ඒවා සැඟවිලාමත් තියෙනවා. සීයට අනූ අටක් වගේ ගීත තැටිගත වෙලා තියෙනවා. අපේ දෙවැනි මව වශයෙන් අදටත් මම සළකන්නෙ ගුවන් විදුලිය. නිවේදිකාවක්, සරල ගී ශිල්පිනියක් හැටියට අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුළුවන් වුණේ ගුවන් විදුලිය නිසයි.

ඔහොම ජීවිතේ ගෙවීගෙන යද්දී ?  
විවාහයෙන් පසු තනිව ජීවත්වෙන්න  ඕන කියලා හිතලා 1980 දි මමයි අබෙයි මහරගමින් ඉඩමක් අරන් ගෙයක් හැදුවා. ඒ වෙනකොට අපි විවාහ වෙනවට අපේ ගෙදරින් පොඩි විරෝධයක් ඇතිවෙලා තිබුණා.

ඇයි ඒ ?
ආගම් ප්‍රශ්නෙ. අපි උපතින් කතෝලික. එයාලා බෞද්ධ. විවාහයට මේ ආගම් ප්‍රශ්නෙ මුල්කරගත්තෙ අපේ පවුලේ අය. අබේගෙ පවුලෙ අය අබේ කියන දේ ඇහුවා. කොහොම වුණත් අබේ කැමති වුණේ නෑ පල්ලියේ විවාහය ගන්න. පල්ලියේ විවාහය නොගත් නිසා අපේ නිර්මලා අක්කයි විජේ අයියයි (විජේරත්න රණතුංග විතරමයි මගේ මංගල්‍යයට ආවේ.

එතකොට කවදද විවාහා වුණේ ?
1981 අගෝස්තු 26 වැනිදා. අබේ ජීවිතේ පුරාම හොඳ සැලසුමක් ඇතුව වැඩ කරපු කෙනෙක් .මමත් ඒවා එයාගෙන් ඉගෙන ගත්තා. එයා හැඩිදැඩි වුණාට හරිම සංවේදී හදවතක් තියෙන කෙනෙක්.

ඉතින් විවාහයෙන් පස්සේ ?
එතකොට අබේ වී අළෙවි මණ්ඩලේ සේවය කළේ. ඊට කලින් වැඩ කළේ ගුවන් හමුදාවේ .වී අළෙවි මණ්ඩලේ හිටපු සභාපති එම්.ජේ. පෙරේරා මහත්තයා 82 රූපවාහිනියෙ සභාපති වුණාම අබේවත් රූපවාහිනියට ගත්තා ප්‍රවාහන නිලධාරී හැටියට.

ඉතින් ඔහොම කාලෙ ගතවෙනකොට ?
මගෙ තනි ගීතත්, අබේගෙ ගීතත් අපේ යුග ගීත් හුඟක් ජනප්‍රිය වුණා. අපි දෙන්නා යුවළක් හැටියට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දෙන්නෙක් වෙනවා. ඒ අතරෙ අපි දෙන්නා කැසට් පට කීපයක්ම එළි දැක්වුවා. ‘බඹරෙකු හැඬුවා‘ මගේ පළවෙනි කැසට් එක, කල්පනා ලොව අබේගෙ පළවෙනි කැසට් එක.

හැත්තෑව දශකයේ චිත්‍රපට විසිගාණකට පසුබිම් ගායනා කළා.  අසූව දශකයෙ ටෙලිනාට්‍යවල රඟපාන්නත් ආරාධනා ලැබුණා. ඒත් මං ඒ ආරාධනා බාර ගත්තෙ නෑ.

අසූහතේ විතර ඉඳලා හිතුවා අපි දෙන්නගෙම ගීත සංරක්ෂණය කරන්න  ඕන කියලා. අපි දෙන්නම වියදම් කරලා ගීත සංයුක්ත තැටි කරන එක පටන් ගත්තා.ඔය අතරෙ අසු නවයෙ අපි දෙන්නම රැකියාවලින් අයින්වෙලා එංගලන්තෙට ගියා.

එහෙම කළේ ?
අපි දෙන්නටම රැකියාවලින් අයින්වෙන්න කියලා දේශපාලන බලපෑම් ආවා. තර්ජනාත්මක ලියුම් ආවා. ඒ නිසයි රැකියාවලින් අයින්වුණේ. මාස හයක් එංගලන්තෙ ඉඳල ජේවීපී දේශපාලන නායකත්වය නැතිවුණාට පස්සෙ අපි ලංකාවට ආවා.

ඒ ඇවිත් මොකද කළේ ?
පූර්ණ කාලීනවම අපි දෙන්නා සංගීතය පැත්තට යොමුවුණා. ඒ අනුව ‘අබේ නිරංජලා විශිෂ්ට ගී‘ කියලා සංයුක්ත තැටි 13 ක්  කළා. ඒත් අපි මේ ගී තැටි වෙළඳපොළට දැම්මෙ නෑ කූඨ වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් බේරෙන්න  ඕන නිසා. අපි ප්‍රසංගවලදි අලෙවි කළා. ගෙදරට කතා කරලත්  ඕන අය ගන්නවා.

ඊට පස්සේ  ?
2008 අබේ අසනීප වෙනවා. මෝටර් නියුරා්න් ඩිසීස් කියන ස්නායු රෝගය හැදෙන්නෙ. එයාගේ අන්තිම කාලෙ එයාගෙ හඬ නැතුව ගියා. ඒ ගැන අබේ හරියට දුක් වුණා. වෛද්‍යවරු මාව දැනුවත් කළා ආයෙ අබේගෙ හඬ එන්නෙ නෑ කියලා. ඒත් අබේ බලාපොරොත්තු වුණා හඬ ආයෙත් එයි කියලා.

ඒක බලාපොරොත්තුවක් විතරක්ම වුණා ?
හඬ නෑවිදින්ම අබේ අපි අතරින් සමුගත්තා. ඒ 2010 මාර්තු 26 වැනිදා. 26 කියන්නෙ මගෙ ජීවිතේ සතුට දුක දෙකම ළංකරපු දවසක්. එයා මගෙ ළඟට ආවෙත් මගෙන් වෙන් වුණෙත් 26 වැනිදාවක. අදටත් මං 26 වැනිදට බොරැල්ල කනත්තෙ එයා වෙනුවෙන් හදපු ස්මාරකය ළඟට ගිහින් පින් දීලා එනවා.

ඔබ ජීවිතේ තනිවුණා ?
මම ඒ තනිවීම දරාගන්න අවුරුදු දෙකක් තිස්සෙ හිත හදා ගත්තා එයා අසනීපෙන් ඉන්න කාලේ. එයාගෙ අන්තිම දවස්වල මගෙන් ගියාට කමක් නෑ කියලා හිතුවා. දුක් විඳිනවා බලන්න බැරුව. අදටත් ජීවිතේට අබේගෙන් හිස් වෙච්ච අඩුව, පාළුව, තනිකම කාටවත් පුරවන්න බෑ

ඉතින් ඊට පස්සෙ කාලෙ ගෙවුණෙ ?
මම ගායිකාවක් හැටියට අබේ වෙනුවෙන් මගේ කටහඬ කැපකළා. එයා ජීවිතෙන් සමුගත්ත දවසෙ මම හිතුවා ආයෙ කවදාවත් ගීත ගයන්නෙ නෑ කියලා.

ඔබේ හඬට ආදරය කරන අයට කරන අසාධාරණයක් නේද ඒ ?
මගේ පැත්තෙන් මම සාධාරණයි. මම ගීත ගයන්නෙ නෑ කියන ප්‍රතිපත්තියේ ඉන්නවා.

ගෙවී ගිය කාලෙ ගැන මොකද හිතෙන්නේ ?
අපිට දරුවො නෑ කියලා කම්පාවුණේ නෑ. පුළුවන් තරම් පින් දහම් උදව් උපකාර කළා. තවමත් කරනවා. ජීවිතේ සමබරව විඳගත්තා.ජීවිතේ විඳෙව්වෙ නෑ වින්දා. ඒ ගැන සතුටුයි

gossip lanka