අවුරුදු 20ක් හදවතේ මූනිස්සමක් තිබුණා කියලා ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ. -මවුබිම වෙනුවෙන් සටන් කළ රණවිරුවා කියපු කතාව

ජීවකයන් මෙන් වෙදදුරන් පිළිබදව ප්‍රවෘත්ති අපිට නිරන්තරයෙන්ම ඇසීමට ලැබේ. එවන් වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ ආශ්චාර්යාත්මක සැත්කමක් පිළිබදව වාර්තා වෙනවා.විජේසුන්දර බණ්ඩාර හිටපු රණවිරුවෙකි. දැන් ඔහු විශ්‍රාමිකය. කෙසේ නමුත් මවුබිම වෙනුවෙන් සටන් වැදි විජේසුන්දරට , හමුදාවෙන් ඉවත් වූයේ මවුබිම වෙනුවෙන් සටන් වැද දයාදයක්ද සිය පපුවේ තබාගෙනය. මෑතකදි වෛද්‍ය
කණ්ඩායමක් සැත්කමකින් ඉවත් කළේද එයයි. මේ පිළිබදව පුවත්පතක් හා සංවාදයකට එක්වෙන විජේසුන්දර බණ්ඩාර විශ්‍රාමික රණවිරුවා සිදුවීම විස්තර කර තිබුණේ මෙලෙසින්,

විජේසුන්දර බණ්ඩාර ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ කාර්ය බළකායේ සේවය කළ දක්ෂ යුද සෙබළෙකි. ඒ මීට වසර අටකට පෙරය. රට වෙනුවෙන් තම කාර්යභාරය අකුරට ඉටු කළ විජේසුන්දර බණ්ඩාර 2009 වසරේදී විශ්‍රාම ලැබුවේය.1987 යුද හමුදාවට බැඳෙන විජේසුන්දර බණ්ඩාරගේ ප්‍රථම රාජකාරි ප්‍රදේශය වන්නේ උතුරය. උතුරේ එල්.ටී.ටී.ඊ. බල ප්‍රදේශවලට අයත් මහ කැලෑවලය. මේ ආකාරයට රාජකාරි කරන ඔහු 1997 වසරේදී සේවය සඳහා පැමිණෙන්නේ මාන්කුලම්වලටය.

“හිතාගන්න බැහැ. පුදුමයි.අවුරුදු 20ක් හදවතේ මූනිස්සමක් තිබුණා කියලා ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ.. එහෙම තියාගෙන මම පසුගිය කාලේ මහන්සි වෙන වැඩ ගොඩක් කළා. විශේෂයෙන්ම කුඹුරු කෙටුවා. ගෙදර ‍දොරේ වැඩ කළා. වෙහෙස මහන්සිය නොබලා සැතපුම් ගණන් පයින් ඇවිද්දා”

“මම ඇඟ ඇතුළේ මූනිස්සමක් තිබෙන බව දැන සිටියා.ඒත් හෘදය වස්තුව ඇතුළේ ඒක තියෙනවා කියල නම් දැනගෙන හිටියෙ නැහැ. ඒක දැනගත්තේ මේ මෑතකදී. එදා අපි මාන්කුලම් කඳවුරට ආසන්නයේ කැලෑවකට ඇතුළු වුණේ ටෙරාලට ගහන්න. ඇත්තටම අපි ඒ ක්‍රියාන්විතය සාර්ථක කර ගත්තා. කොටි සතුව තිබුණු ආයුධ එහෙමත් අරගෙන අපි නැවත ආවේ. ඒ එද්දි හැංගිලා හිටපු කොටි කණ්ඩායමක් අපිට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. මට වෙඩි වැදුණේ එතැනදි. ඊට පස්සේ අපේ සගයෝ මාව වවුනියාව රෝහලට අරන් ගියා. එතැනින් අනුරාධපුරයට ගෙනාවා.” රෝහලේදී විජේසුන්දර බණ්ඩාරට සුදුසු ප්‍රතිකාර ලැබිණි. ඒ නිසාම දින කීපයකින් ඔහු යළිත් යුද පිටියට ගියේය. එකළ මවුබිම වෙනුවෙන් විජේසුන්දර කැපකිරීම් කළේ එලෙසය.

“දොස්තර මහත්තුරු කිව්වේ ශරීරයට ඇතුළු වෙලා තිබෙන මූනිස්සම ඉවත් කරන්න අවශ්‍ය නැහැ. ඒකෙන් ජීවිතයට ලොකු බලපෑමක් නැහැ කියලයි. ඒ නිසාම මම ඒක ගැන හොයන්න ගියේ නැහැ. මොකද මූනිස්සම් කෑලි, බෝම්බ කෑලි ඇඟ ඇතුළේ තියාගෙන ඉන්න කොල්ලෝ ඕනෑ තරම් අපි අතර ඉන්න නිසා. ඊට පස්සේ මම නැවත වතාවක් කොටින්ගේ මෝටර් ප්‍රහාරයකට ගොදුරු වුණා. එතැනදිත් තුවාල වුණා. ඒත් ඒ තුවාල සනීප කරගෙන ආපසු යුද පිටියට ගියා”

මම විශ්‍රාම ගැනීමෙන් පසුව ලැබුණු මුදල්වලින් කුඹුරු කෑල්ලක් ගත්තා. ඒක තමයි මගේ ඊළඟ ආදායම් මාර්ගය වුණේ, මෑතකදී එක පාරටම මගේ පපුව රිදෙන්න ගත්තා. පොල් ගසක මුලක් ඉවත් කරමින් ඉන්නකොට තමයි මේ අමාරුව මට ආවේ. ඉතින් මම මොනරාගල රෝහලට ඇවිත් වෛද්‍ය තිසර සමරවික්‍රම මහත්තයාගෙන් උපදෙස් ලබා ගත්තා. එතුමා මේ වෙනුවෙන් කළ යුතු පරීක්ෂණ කීපයකට යොමු කළා. මේ පරීක්ෂණවල අවසානයේදී තමයි හෘදය වස්තුවේ මූනිස්සමක් තියෙනවා වගේම නහරවල අවහිරතාවක් තිබෙනවා කියලා දැන ගත්තේ.”

“මේ වෙලාවේ හැමෝම කිව්වේ කරාපිටියේ ඉන්න නාමල් සර් තමයි හොඳම වෛද්‍යවරයා කියලා. ඉතින් ඒ අනුව පවුලේ අයගෙන් වගේම මගේ ඉස්කෝලේ විදුහල්පතිතුමා ඇතුළු හිතවත් හැමෝගෙන්ම ලැබුණු මුදල් ආධාර ලබාගෙන මම කරාපිටියට ආවා. අපිට රජයේ උදව්වෙන් මේ ශල්‍යකර්මය කරගන්න තුරු බලා සිටින්න බැරි වුණා. ඒ නිසාම මම නාමල් සර් ප්‍රතිකාර කරන ගාල්ල කෝපරේටිව් හෘද රෝහල වෙත ආවා. සර්ව අපට මුණගැසුණේ එතැනදී. ඒ අනුව අපි ගාල්ල කෝපරේටිව් හෘද රෝහලට ඇතුළු වුණා. සර් මගේ ඔපරේෂන් එක සාර්ථකව සිදුකළා. හදවතේ තිබුණු මූනිස්සම ඉවතට ගත්තා. අවහිර වී තිබුණු නහර යම් තත්ත්වයකට පත්කර අපේ හිත්වල තිබුණු බිය දුරු කළා. ඇත්තටම බොහෝ දෙනා අපිට කිව්වේ සර්ගේ අත්දෙක හොදයි කියලා. ඒක ඇත්ත. සර්ගේ අත්දෙක විතරක් නෙවෙයි හිතත් හොඳයි.”

උපුටා ගැනීමකි.


gossip lanka