සුපිරි යතුරු පැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මියගිය හේතුව කරළියට

සුපිරි යතුරු පැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මහතා පසුගිය වසරේ අප්‍රේල් මස 24 වනදා නුවරඑළියේ පැවති යතුරුපැදි ධාවන තරඟයක් අතරතුර සිදුවූ අවාසනාවන්ත අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

කෙසේ වෙතත් ආනන්ද වෙඩිසිංහ මහතාට මරු කැඳවූ යතුරුපැදි තරඟ
අනතුරු පිළිබඳ සිදු කරනු ලැබූ පරික්ෂණයේ වාර්තාව මේ වනවිට නිකුත් වී තිබේ.

එම වාර්තාවට අනුව ආනන්ද වෙඩිසිංහ සහ සුරාජ් පෙරේරා අතර තරගයේ පෙරමුණ ගැනීමට පැවැති තියුණු තරගයේදී වේගය පාලනය කරගැනීමට අසමත්වීමෙන් මේ අනතුර සිදුවී ඇති බවටයි එහි නිගමනය වී ඇත.

ක්‍රීඩා අමාත්‍ය උපදේශක මිල්ටන් අමරසිංහ, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එච්.එම්.බී.පී. හේරත් මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් මගින් මේ පරික්ෂණය සිදුකෙරුණි.

තරඟයට ඉදිරිපත්වූ තරගකරුවන් සියළුම දෙනා වසර ගණනක අත්දැකීම් හා පළපුරුද්ද ඇති අය වන බවත්, තරගය සඳහා වෛද්‍ය සහතික ඉදිරිපත්කර ඇති බලපත්‍රලාභීන් වන බවත් පරික්ෂණ මණ්ඩලයේ නිගමන අතර වැඩිදුරටත් සඳහන්ය.

කෙසේ වෙතත් එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මාර්ග ධාවන තරඟයකදී අනතුරු සිදුවීමේ ප්‍රවණතාවන් වැඩි අතර තරගකරුවන් මෙම තත්ත්වය අවබෝධ කොට ගෙන තරඟ සහභාගීත්වය සඳහා වන වේග සීමාවන් අදාළ අවදානම් ස්ථානයන්හි දී පාලනය කරගැනීම පෞද්ගලිකව ම ඔවුන් සතු වගකීමක් බැවින් මෙම තරගකරුවන් දෙදෙනාම මෙම අනතුර සිදු වීම පිළිබඳ වගකීම භාර ගත යුතු බවයි.

මසකට අධික කාලයක් කෝමා තත්ත්වයෙන් මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා ජීවන ගමනෙන් සමුගත්තේය.

ආනන්ද වෙඩිසිංහ නම් සුපිරි ක්‍රීඩකයා තම ජීවිත තරගයෙන් වේදනාත්මක සමුගැනීමක් සටහන් කර අවසන්.

මෙවන් සුපිරි තරුවක් ලක් මාතාවට අහිමි කිරීමට බලපෑවේ මෝටර් ධාවන ක්‍රීඩා ඉසවු හා නොබිඳිය හැකි සබඳතාවක් පවතින බිහිසුණු භාවය පමණක් ද?

නැතහොත් වලක්වා ගැනීමට හැකියාව ඇති කරුණු පිලිබඳ නොදුටු දෑසින් සිටීමද?

නිසි ප්‍රමිතියකින් තොර මෝටර් ධාවන ඉසවු සංවිධානය කරන්නවුන්ගේ වැරදි සඳහා මෙරට ක්‍රීඩකයෙකු තම ජීවිතයෙන් වන්දි ගෙවූ පළමු අවස්ථාව මෙය නොවේ.

නමුත් එම ලයිස්තුවේ අන්තිමයා ආනන්ද වෙඩිසිංහ බවට පත් කිරීමට හෝ මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් ක්‍රීඩාවේ මෙන්ම ක්‍රීඩකයන්ගේ අනාගතයද වඩාත් පැහැබර වනු ඇති.

gossip lanka