කටකතා මේ ක්‍ෂේත්‍රයේ ඉන්න කොට බලාපොරොත්තු වෙන්න ඕනි දෙයක්

හඬ කැවීම් කලාව ඔස්සේ මේ වනවිට කටයුතු කරන ඇය තිරන්දි මද්දේවිතානයි. නිවේදනය හඬකැවීම් කියන අංශ දෙක ඔස්සේ දස්කම්පාන ඇයගේ කටයුතු පිළිබඳව කතා බහ කිරීමට අපත් සමග ඇය මෙලෙස එක්විය.

මුලින්ම මට ඔයාව හඳුන්වාදුන්නොත්?

මම තිරන්දි මද්දේවිතාන. මාව ගොඩක් දෙනා දන්නේ තියා කියලා. යාළුවෝ කියන්නේ තියා කියලා. පවුලේ කට්ටිය කියන්නේ නම් ශාකි කියලා.
A/L කළේ කලුතර වේලාපුර මහ විද්‍යාලයේ. කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවේ.



ඔබ නිවේදනය, හඬකැවීම් කියන ක්ෂේත්‍රයන් දෙකේම වැඩකටයුතු කරනවා නේද?

ඔව් හඬ කැවීම් කටයුතු කරනවා. තිරන්දි මද්දෙවිතාන කියන චරිතය හදන්නේ දහම් පාසලෙන්. මගේ දහම් පාසල සිරි nganobhasha දහම් පාසල. 2010 අවුරුද්දේ දහම් පාසලෙන් තමයි මම මුලින්ම ගුවන්විදුලි සංස්ථාවේ ගුවන්විදුලි වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ. ඊට මම සාමන්‍ය පෙළට මාධ්‍ය හා සන්නිවේදනය හදාරනවා. ඊට අමතරව මම නර්තනය හදාරනවා. නර්තන අශයෙන් සමස්ත ලංකා වෙනකන් යන්න ලැබෙනවා.

මේ ක්ෂේත්‍රයන් දෙකෙට සම්බන්ධ වෙන්නේ කොයි කාලේද?

Tv දෙරණේ රවිහාර අයියා මගේ යාළුවෙක්. එයා මාර්ගයෙන් මට ඩිලාන් සේනානායක මුණගැහෙනවා. මම මුලින්ම හඬ පරීක්‍ෂණයකට යන්නේ A/L ඉවර උන් ගමන්. cartoon එක්කට. ඒත් එදා මට අවස්ථාව ලැබෙන්නේ නෑ. පස්සේ ඩිලාන් අයියා මාර්ගෙන් SMAM මාධ්‍ය පාසලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ නිවේදනය ගැන වැඩිදුර ඉගෙනගන්න ලැබෙනවා. ඒ වෙනකොටත් මම 2010 ඉඳන් බේරුවල ප්‍රදේශයේ වාර්ෂිකව පැවැත්වෙන රාත්‍රී සංඝමිතා මහ පෙරහැරේ නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියේ. මේ වනවිටත් හැම වසරේම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ web නාළිකාවක සහාය නිෂ්පාදිකාවක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ 2016 වසරේ අග භාගයේ ලංකාවේ ප්‍රධාන පෞද්ගලික නාළිකාවක පෝය වැඩසටහන් සංස්කාරකවරියක් විදිහට කටයුතු කළා. මම 2017 අවුරුද්දේ මැද හරියෙදි එතනින් අයින් වෙනවා. මම ඇත්තටම හඬකැවීම්වලට එන්න කලිම් වැඩසටහන් සංස්කාරකවරියක්. ඊට පාස්සේ ඒ අයින් වෙලා ඉන්නකොට තමයි මට ආයෙත් කසුන් ජයවර්ධන අයියා මාර්ගයෙන් හඬකැවීමට අවස්ථාව ලැබෙන්නේ. 2017 වසරේ අප්‍රේල් මාසයේදී. ඒ ‘ආදරමායාව‘ ටෙලි නාට්‍යයේ.

හඬ කැවීම්වලින් දායක වුණු වැඩ ගැන කිව්වොත්?

මේ වෙද්දි හඬ කැවීම කරන්න අරන් වසරක් වෙනවා. මුලින්ම හිරු tv එකේ විකාශනය උනු ආදර මායාව ආදරෙයි මම ආදරෙයි දෝනි, සඳට දිවුරා කියන්නම්, ඊට පස්සේ සිරස tv එකේ ප්‍රේමායුද, tv දෙරණේ, දුවන ළමයා යන ටෙලි නාට්‍ය වගේම ප්‍රභාත් සුරංග අයියා කළල සිරස tv එකේ විකාශනය උන Diary of a Wimpy Kids චිත්‍රපටය සඳහාත් හඬ ලබා දුන්නා.

වෘත්තීය වශයෙන්ද මේ ක්ෂේත්‍රයේ ඉන්නේ?

නෑ ඇත්තටම. මම වෘත්තීය වශයෙන් වැඩසටහන් නිෂ්පාදිකාවක් විදිහට වැඩකයුතු කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම කලිනුත් වැඩසටහන් සංස්කාරකවරියක් විදිහට කටයුතු කළ නිසා මම හිතනවා ඒක මට පහසුවෙයි කියලා. ඒත් මම හඬ කැවීම් කටයුතු දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

අද මේ දේවල්වලට තියෙන ඉඩකඩ සහයෝගය කොහොමද?

මට අම්මා තමයි මගේ හැමදේටම හෙවණැල්ල වගේ පස්සෙන් ඉන්නේ. ඒ වගේම තාත්තා තමයි වියදම් කරන්නේ හැමදේටම . මගේ නංගි තමයි මට හැමදේකම අඩුපාඩු පෙන්වා දෙන්නේ. ඒ වගේම ඩිලාන් සේනානායක අයියා.. ප්‍රභාත් සුරංග අයියා, කසුන් ජයවර්ධන අයියා, චමත් හසරංග අයියාත් විශේෂයෙන් මතක් කරන්න ඕනි. ඒ වගේම මට උදවු කළ සියලු දෙනාම. ඒ වගේම මගේ සියලුම ගුරු භවතුන් මතක් කරන්න ඕනි. ඒ වගේම මම අවුරුදු 15 ඉදන් නිර්මාංශ කෙනෙක්. ඉඩ ලැබෙන හැම පෝයකටම සිල් ගන්නවා. මම හිතන්නේ මගේ ගොඩක් දේවල්වලට ආශීර්වාදයක් වෙන්නේ මම ආධ්‍යාත්මික පැත්තෙන් ලබන දියුණුව කියලා.

අම්මා තාත්තාගේ කැමැත්ත වුණෙත් මේ පැත්තෙන් ඉදිරියට යනවටද?

අම්මා නම් පොඩිකාලේ ඉදන් කැමති වුණේ නර්තනය පැත්තෙන් ඉදිරියට යනවට. ඒ හරහා තමයි මම පාසල් මට්ටමින් වගේම සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ ලබාගත්තේ. තාත්තා නම් කැමති වුණේ හොඳට ඉගෙනගෙන හොඳ රජයේ රැකියාවක් කරනවට.. අදටත් තාත්තා ඒ පැත්තට මාව යොමු කරන්න උත්සාහ දරනවා. ඒත් මට උවමනා අවස්ථාවේදී අම්මයි තාත්තයි මට උපරිම සහයෝගය දෙනවා.

කට කතා ගැන මොකද හිතෙන්නේ?

කටකතා මේ ක්‍ෂේත්‍රයේ ඉන්න කොට බලාපොරොත්තු වෙන්න ඕනි දෙයක්. ඉතින්, ඒවට ගොඩක් හොඳින් මූණදෙනවා.

මේ දවස්වල කටකතාවක් යනවානේද ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙක් එක්ක සම්බන්ධ කමක් තියෙනවා කියලා?

ඇත්තටම එහෙම දෙයක් නෑ.. ඒක බොරු කතාවක්. ඒක යාළුකමක් විතරයි

අවසාන වශයෙන් කිව්වොත්, ඉදිරි බලාපොරොත්තු වගේම ඉලක්කය ගැන?

තව ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා හඬකැවීම් කටයුතුවලට. ඒවට සම්බන්ධ වෙනවා. ඒ අතර වාරයේ පෞද්ගලික නාළිකාවක වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ගමන ඇත්තයම මගේ පොඩි කාලේ ඉඳන් තිබුනු හීනයක්. ඒ හීනේ දැන් ගොඩක් දුරට සැබෑ වෙලා තියෙන්නේ. ගොඩක් විෂය ධාරා මේ එක්කම හදාරමින් ඉන්නවා. අලෙවිකරණය පිළිබඳ වගේම IT පිළිබඳ මේ දිනවල ඉගෙන ගනිමින් ඉන්නවා. මාධ්‍ය අංශයේ ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.



ඩිලාන් ක්‍රිෂාන්ත