ගාමින්ද හැම දෙයක්ම නූලට බලන ‍නිසා මිනිස්සු තරහ වෙනවා

එකම ක්ෂේත්‍රයක දස්කම් දක්වන ඔවුහු එකම ව්‍යාපාරයක හවුල්කරුවෝය. එකම වැඩසටහන එකට මෙහෙයවන ඔවුන් ජීවත්වන්නේද නාවල එකම පෙදෙසකය. ඒ ගාමින්ද ප්‍රිය විරාජ්, සුනෙත් චිත්‍රානන්ද (චු‍ටි මල්ලියි පොඩි මල්ලියි). මෙවර අපි සුනෙත් චිත්‍රානන්දට කතා කළෙමු.

දෙන්නම එකම ආයතනයේ කොටස්කරුවෝ

ඔව් බම්බලපිටියේ ලයිව් 21 ප්‍රයිවෙට් ලිමිටඩ් අපි
දෙන්නගෙම වෙළෙඳ ආයතනයයි. F.M. දෙරණ වැඩසටහන් සජීවී ගුවන් විදුලි වැඩසටහන් මෙහි නිෂ්පාදනය කරනවා.

ඔබගේ පවුලේ අයත් පදිංචි නාවලම නේද.

ඔව්. ගාමින්ද ජීවත්වන නාවලමයි අපිත් ඉන්නේ බිරිය රසිනි බණ්ඩාර දැනට මනෝ විද්‍යා උපාධිය හදාරනවා. විශාඛා විද්‍යාලයේ මනෝ විද්‍යා දේශන පවත්වනවා. දුව සුනෙලිව ලබන අවුරුද්දේ පාසල් යවන්න අපිටත් වැඩ ගොඩක් කරන්න වෙලා තියෙනවා.

ගාමින්ද හමුවන්නේ කොහොමද?

ඔහු මට හමුවන්නේ 1997 තරුණ සේවා සභාවේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා වීඩියෝ තාක්ෂණ වැඩසටහන් නිෂ්පාදන පාඨමාලාවේදියි. මගේ පියා එස්.චිත්‍රානන්ද ලේක්හවුස් ආයතනයේ ඡායාරූප කර්තෘවරයකු ලෙස කටයුතු කළා. ඒ අනුව මමත් නිශ්චල ඡායාරූප ශිල්පය කැමරාව ගැන හැදෑරුවා. අපේ පාඨමාලාවේදී අපි නිෂ්පාදනය කළ වැඩසටහන්වල හුඟක් වෙලාවට රඟපාන්න වුණේ මටයි ගාමින්දටයි. ගාමින්ද ආනන්ද විදුහලේ ඉගෙන ගත්තේ. මම බොරැල්ල කන්නන්ගරේ. අපි දෙන්නගේ අදහස් සමයි කීවොත් නිවැරැදියි...සමහර අය තරහින් බලන දේවල දිහා අපි උපේක්ෂාවෙන් බලන්නේ. ඇහුම්කන් දෙනවා වැඩියි. චාලි චැප්ලින් කියලා තියනවා පැත්තෙන් බලද්දි කොමඩිය. ළංවෙලා බලද්දි ඛේදවාචකයක් කියලා. ඒ වගේ අපි හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් වෙනස්ව බලනවා.

සුනෙත් කොහොමද ? ගාමින්දව දකින්නේ?

ඔහු ඉතා දක්ෂයි . ගාමින්ද රේසින් කාර් තරගයක් බලන්න ගියත් ඒ ගැන ගැඹුරින් විමසනවා. ඔහුට දක්ෂතාවයක් හැකියාවක් තියෙනවා. ගාමින්ද රංගනයට, ගීත රචනයට ලේඛනයට දක්ෂයි. තාක්ෂණය ගැන ලොකු දැනුමක් තියෙනවා. අපි දෙන්නා හරියට

සහෝදරයන් වගේ

ගාමින්දගේ විනෝදාංශ එහෙම..

ගාමින්ද ගෘහස්ථ ක්‍රීඩාවලට කැම­ැතියි. මා එළිමහන් ක්‍රීඩාවලට මනාපයි. අපි චිත්‍රපට නරඹන්නත් ආසයි.

ගාමින්දයි ඔබයි එකම ව්‍යාපාරයක හවුල්කරුවෝ ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ රහස

අපි දෙන්නා පොඩි brand එකක් දෙන්නම ඒක පෝෂණය කරනවා.

ගහට පොත්තයි. පොත්තට ගහයි වගේ අපි දෙන්නා මුදල් හා ජනප්‍රියත්වය බෙදා ගන්නවා. මම හැම‍ වෙලාවෙම ඔහුවත් ඔහු හැම වෙලාවෙම මාවත් ඉහළින් තියනවා. සැබෑ ජීවිතයේදී. හැබැයි රංගනයෙදී අපි කපාකොට‍ා ගන්නවා. ඒක රඟපෑමක් පමණයි.

ගාමින්දගෙන් අඩුපාඩු ඇතිනේ.

හැම දෙයක්ම නුලටම බැලීම (detailes) වරදක්. එතකොට මිනිස්සුන්ට තරහා යනවා. මම ඒ ගැන එයාට කියලත් තියෙනවා. අනිත් අතට යමක ප්‍රතිඵලය ගැන ලොකු විශ්වාසයක් තබනවා. සමහර දේවල් අවිශ්වාස නොකරන එක පාඩුවක් වෙනවා.

ඔහු හඳහන විශ්වාස කරනවද ?

ඔහුත් මමත් හඳහන දැඩිව විශ්වාස කරන්නෙවත් දැඩිව ප්‍රතික්ෂේප කරන්නෙවත් නෑ. හැම දේටම හඳහන් බලන්නෙ නෑ. ඒත් අපි බුද්ධාගම, ගැඹුරු දර්ශනයක්, යථාර්ථයක් ලෙස දකිනවා. පිළිගන්නවා. අදහනවා. අඩුගානේ අපි මේ ආයතනය පටන් ගනිද්දි නැකතක්වත් බැලුවේ නෑ. අපි දෙන්නම කලම්බු සෙන්ටර්නියල් සිංහ සමාජයේ සාමාජිකයෝ. ඒ මඟින් අපි හුඟාක් සමාජ සේවා කටයුතු කරනවා.

ගාමින්ද දේශපාලනයට මනාපද?

අපේ සියලු දේටම දේශපාලනය බලපානවා. ඒත් දේශපාලනයට මැදිහත් වෙන්න අපි දෙන්නම කැමැති නැහැ. එහෙම වුණොත් අපිටත් වෙන්නේ හුඟක් දේ කරලා දේශපාලනය කරන්න ගිය අනිත් අයට සිද්ධ වූ දෙයමයි. අනුන්ගේ දේවල් අයිතිකරගත්තා කියලා අපට ලැබෙන සැනසීමක් නෑ. මහන්සිවෙලා වැඩ කළාම හැම දෙයක්ම ලැබෙනවා.

කවදාවත් ඔබ දෙපළ ගැටුමක් ඇති කරගෙන නැද්ද?

ඇත්තටම අපි දෙන්නා රණ්ඩු වෙලාම නැහැ. හැම දෙයක්ම කතාබස් කරගෙන සහයෝගයෙන් තමයි මේ ගමන යන්නේ. දෙන්නම එකඟ වෙන දේවල් තමයි කරන්නේ.

සිනමා ලෝකයේ අලුත් දෙයක් කරන්න නේද සැලසුම

ප්‍රථම වතාවට ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයකට සම්බන්ධ වූණා. ඉදිරියටත් අපි ‍දිගටම චිත්‍රපටකරණයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරන්න බලාපොරොත්තු වනවා. ඒ මඟින් සිංහල සිනමාව නව මානයකට ගෙන යාමට හැකිවෙයි කියා සිතනවා.