දැන් නම් ටික ටික දැනෙනවා මම තාත්තා කෙනෙක් කියලා – ප්‍රදීප් මානවඩුගේ

සිඳු ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිතයක් වන දර පාන් කුලුඳු‍ලේම පිය පදවිය ලබලා කියලා අපට ආරංචි වුණා. ඒ අලුත් අත්දැකීම ගැන කතා කරන්න ප්‍රදීප්ට අපි කතා කළා.

මේ දවස්වල ගොඩක් සතුටින් කියන්නෙ ඇත්තද?
ඔව්, ඔව්. අපේ පුංචි ලෝකේ ලස්සන කරන්න චූටි සුරංගනාවියක් ආවා. එයා නිසා අපේ ලෝකේ ලස්සන වෙලා. ඒකයි මේ තරම් සතුටක් තියෙන්නේ.


මොන වගේද ඒ අත්දැකීම?
ගොඩක් වෙනස් ඒ අත්දැකීම. තවම නුපුරුදුයි. ටික ටික දැනෙනවා මමත් තාත්තා කෙනෙක් කියලා. දුව ලැබෙද්දි මගේ බිරිඳ ගාව මම හිටියා. ඒක වෙනස්ම අත්දැකීමක්. ඇය ගොඩක් ලොකු වේදනාවක් වින්දා දුවව මේ ලෝකෙට බිහි කරන්න. දුව අතට ලැබුණාම කියාගන්න බැරි හැඟීමක් හිතට දැනුණා.

බලා‍පොරොත්තු වුණේ පවුලට මුලින්ම දුවෙක් එකතුවෙනවාටද?
මට නම් ලොකු ගැටලුවක් තිබුණේ නැහැ. මාස පහෙන් පස්සේ ස්කෑන් පරීක්ෂණයේදි ඩොක්ටර් අපට කීවා දුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා. මගේ ‍පොඩි මතයක් තියෙනවා ගොඩක් වෙලාවට දෙමව්පියන්ට බොහෝ දුරට සලකන්නේ දුවලා. අපේ අම්මටත් ඉන්නෙ පුතාලා දෙන්නෙක්. මේ වැඩත් එක්ක අපට හොයලා බලන්න බැරි වෙනවා. මගේ බිරිඳ එයාගේ අම්මත් එක්ක කරන ගනුදෙනුව මට තේරෙන නිසා දුවෙක්ගෙ වටිනාකම ගොඩක් දැනෙනවා.

කාර්යබහුල නිසා දුවත් එක්ක කාලය ගත කරන්න වෙලාවක් තියෙනවද?
මේ දවස්වල නම් මම ගෙදරින් එනකොටත් නිදියනකොටත් දුව නිදි. සමහර දවස්වල එයා ඇහැරිලා ඉන්නකොට විතරයි එයාව දකින්න ලැබෙන්නේ.

ඔබෙන් බිරිඳට මොන වගේ සහායක්ද ලැබෙන්නේ?
ගෙදර ඉන්න වෙලාවක් නැති නිසා සහයෝගය දෙන්න වෙන ප්‍රමාණය හරිම අඩුයි. එයාගේ අම්මා වැඩවලට සහයෝගය දෙන නිසා ඇයට වැඩ කරගන්න පහසුවෙලා තියෙනවා.

ප්‍රදීප්ට වඩා දර පාන් ජනප්‍රියයි නේද? ඒ ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
අප්පා, කියලා වැඩක් නැහැ ලැබෙන ප්‍රතිචාර ගැන. ඇත්තටම පුදුමයි. ගොඩක් සතුටුයි දර පාන් වෙන්න පුළුවන් වුණ එකට.

කොහොමද කලා ක්ෂේත්‍රයට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ?
පාසල් යන කාලයේ ඉඳන්ම නළු පිස්සුවක් තිබුණා. ඒ කා‍ලේ ඉඳන්ම දැඟලුවේ, කොහොමද නළුවෙක් වෙන්නේ කියලා. මම හලාවත. හලාවත ඉඳන් කොහොමද කොළඹට එන්න ඕන රඟපාන්න කියන දේ තේරුණේ නැහැ.

පත්තරවලින් දැකලා  කොළඹ ඇවිත් නාට්‍ය වැඩමුළුවලට සහභාගි වෙලා රංගනය ගැන ඉගෙන ගත්තා. ජෝන් මාර්ටීන් කියන විදේශිකයෙක් අපට වැඩමුළුවක් කළා. ගිහාන් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස් ආවා රංගනය ගැන උගන්වන්න. ඒ අයත් එක්ක ඇතිවුණු සම්බන්ධතා නිසා තමයි මේ තරම් දුර එන්න පුළුවන් වුණේ. ගිහාන් අයියා තමයි මාව ගොඩක් දේවල්වලට යොමු කළේ. ඔහු මට පාර පෙන්වලා කීවේ දක්ෂතාව තිබ්බොත් හොඳ ගමනක් යන්න පුළුවන් කියලා. ඒ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජනයක් ගත්තා.

සිඳු ටෙලි නාට්‍යයට කොහොමද සම්බන්ධ වෙන්න ලැබෙන්නේ?
සිඳු හි සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ මම. ජානක සිරිවර්ධන තමයි නිෂ්පාදකවරයා. ඔහු මට මුණගැහෙන්නෙ 2007 වර්ෂයේදි. උඩුවියන් කියන ටෙලි නාට්‍යයේ රූගතකිරීම් කරද්දි ගිහාන් අයියා මාව එහි රඟපාන්න යොමු කරනවා. එතැනදි තමයි මම ජානක අයියව හඳුනගන්නේ. ඔහු නිෂ්පාදනය කරන බොහෝ ටෙලි නාට්‍යවල සහාය අධ්‍යක්ෂවරයා ලෙස මම වැඩ කරනවා. සමන් එදිරිමුණි ලීවා සිඳු නාට්‍යයට දර පාන් චරිතයක් කියලා. සමන් තමයි ඒ චරිතෙට මාව යෝජනා කරන්නේ. ඒකට ජානක අයියයි, තිළිණත් කැමති වෙනවා. ඒ චරිතය ලැබෙන්නේ එහෙමයි. නොසිතූ ලෙස දර පාන් ජනප්‍රිය වුණා.

සිනමාවට දායක වෙන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?
මුලින්ම මම රංගනයෙන් දායක වුණේ දීපා මෙහෙතා අධ්‍යක්ෂණය කළ වෝටර් චිත්‍රපටයේ. සුළු චරිතයක් හම්බ වුණේ. ඊට පස්සෙ රඟපාපු චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් කරනවා.

මොනවද ඉදිරි සැලසුම්?
ක්ෂේත්‍රය යන්නේ අද වෙනමම පැත්තකට. ක්ෂේත්‍රය හොඳ පැත්තට ගන්න තමයි අපි බලන්නේ.

තිළිණි කරුණාරත්න