එල්ලා මරන නම් ලැයිස්තුව ජනපති අතට

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් අධිකරණ ඇමැතිවරිය වෙත යවා ඇති මරණීය දණ්ඩනයට නියමිත පුද්ගලයන් 18 දෙනාගේ ලේඛනය ජනාධිපතිවරයා වෙත මේ සතියේ භාරදීමට නියමිතය.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනුමැතිය ලබාදී ඇති
බැවින් එසේ එල්ලා මැරීමට සුදුසු පුද්ගලයන්ගේ නාම ලේඛනයක් තමන් වෙත භාරදෙන ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කර තිබූ ඉල්ලීමකට අනුව එම නාම ලේඛනය ඊයේ (13දා) යවා තිබේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරැදිකරුවන් බවට පත්ව මරණීය දණ්ඩනය නියමවූ පුද්ගලයන් පනස් දෙනකු (50) අතරින් එල්ලා මරා දැමීමට සුදුසුකම් ලත් පුද්ගලයන් 18 දෙනකුගේ නාම ලේඛනයක් එසේ යවා ඇති අතර මරණීය දණ්ඩනය ලත් සෙසු පුද්ගලයන් තිස් දෙදෙනා (32) එම දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර තිබීම හේතුවෙන් ඔවුන් එම ලැයිස්තුවට ඇතුළත් කර නොමැත.

එසේ එල්ලා මරා දැමීමට සුදුසුකම් ඇති පිරිස අතර එක් කාන්තාවක් හා පාකිස්තානු ජාතිකයන් සිවු දෙනකුද (4) සිටින අතර ඔවුන් අවුරුදු තිස්තුනේ (33) සිට අවුරුදු හැත්තෑ දෙක (72) යන වයස් කාණ්ඩවල පසුවන්නන් බවද 2002 වසරේ සිට මේ දක්වා කාලය තුළදී මරණීය දණ්ඩනය ලත් පුද්ගලයන් එම පිරිස අතර සිටින බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උපුල්දෙණිය මහතා කියා සිටියේ වැලිකඩ, මහර හා අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල රඳවා සිටි පුද්ගලයන් එම ලැයිස්තුවට ඇතුළත් බවයි. මේ වනවිට විවිධ හේතූන් මත මරණීය දණ්ඩනය ලැබීම හේතුවෙන් පුද්ගලයන් 1245ක් සිරගතව සිටින බවද ඉන් 872ක් අභියාචනා ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.