තිස්‌සමහාරාමයේ කොල්ලා දොස්‌තරත් වෙලා කුඩ්ඩත් වෙලා

වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රව හොරට ස්‌කෑන් කර සකස්‌ කරන ලද තුණ්‌ඩු ෆාමසිවලට දී දීර්ඝ කාලයක්‌ තිස්‌සේ හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට පමණක්‌ වෛද්‍ය නිර්දේශ මත ලබා දෙනු ලබන අඩු උත්තේජක ප්‍රතිජීවක ඖෂධ පෙති ලබාගත් උසස්‌ පෙළ සිසුවකු පෙරේදා (05 දා) අත්අඩංගුවට ගත් බව තිස්‌සමහාරාම පොලිසිය කියයි.

තිස්‌සමහාරාම ප්‍රදේශයේ පාසලක උසස්‌ පෙළ
පන්තියේ ඉගෙනුම ලබන මෙම සිසුවා හෙරොයින් භාවිත කරන පුද්ගලයින් පුනරුත්ථාපනයේ දී ක්‍රමානුකූලව ලබා දෙන මෙම ප්‍රතිජීවක ඖෂධය ෆාමසි මගින් ලබාගෙන තිබේ. ෆාමසි වලින් මෙම ඖෂධය නිකුත් කරනු ලබන්නේ වෛද්‍ය නිර්දේශ මත පමණකි. කෙසේ වෙතත් මෙම සිසුවා වෛද්‍යවරයකුගේ සීල් එකද සහිත තුණ්‌ඩුවක්‌ ස්‌කෑන් කර එහි මෙම ඖෂධයේ නම සඳහන් කර නිතර නිතර ෆාමසිවලින් මෙම ඖෂධය ලබා ගෙන ඇත. මෙම ඖෂධය මගින් ද යම් ප්‍රමාණයක මත්වීම සිදුවෙන නිසා සිසුවා මෙම ඖෂධය භාවිත කර ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මෙම සිසුවා දිගින් දිගටම මෙම ව්‍යාජ වෛද්‍ය තුණ්‌ඩුව ඉදිරිපත් කර ෆාමසිවලින් මෙම ඖෂධය ලබාගෙන තිබේ. මෙම තුන්ඩුව තිස්‌සමහාරාම ප්‍රදේශයේ ෆාමසියකට ඉදිරිපත්කර මෙම ඖෂධය ලබා ගැනීමට යැමේදී සිසුවාගේ හැසිරීම් රටාව හා වෛද්‍ය රිසිට්‌ පතේ තිබූ අත් අකුරු පිළිබඳව සැක සිතූ ෆාමසි හිමිකරුවකු ඒ පිළිබඳව දුරකථනය ඔස්‌සේ අදාළ වෛද්‍යවරයාගෙන් විමසා තිබේ. එහිදී මෙය ව්‍යාජ තුණ්‌ඩුවක්‌ බවට තහවුරු වී තිබේ. පසුව මේ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා තිස්‌සමහාරාම පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පොලිසිය හා පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්‌ව අදාළ සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ උසස්‌ පෙළ සිසුන් කිහිප දෙනකුම මේ ආකාරයට ව්‍යාජ වෛද්‍ය තුණ්‌ඩු ඉදිරිපත් කර මෙවැනි ඖෂධ ෆාමසිවලින් ලබාගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් තිස්‌මහාරාම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

මත්තල - දිලීප් එන්. ජයසේකර