වෙලාවකට පොඩි දුකක් තියෙනවා නමුත් සතුටකුත් තියෙනවා

ඔබ රංගනයෙන් දායක වන අලුත් නිර්මාණයක් විකාශය වෙනවා නේද?
ඔව්, මගේ අලුත් ටෙලිනාට්‍යය ‘නීල පබළු’ සිරස නාළිකාවේ විකාශය වෙනවා.

ඊට අමතරව අනෙකුත් වැඩකටයුතු මොනවාද?

මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට තුනක් තියෙනවා තිරගත වෙන්න. විශේෂයෙන්ම මේ දවස් වල ‘නීල
පබළු’ ටෙලි නාට්‍යය එක්ක තමයි කාලය ගෙවෙන්නේ.

තිරගත වෙන්න තියෙන චිත්‍රපට ගැන කිව්වොත්?

මොහාන් නියාස් අයියාගේ ‘බඹර වසන්තයක්’ චිත්‍රපටය, චන්න පෙරේරා අයියාගේ ‘පුංචි වීරයෝ’ චිත්‍රපටය, භාෂිත සමරනායක අයියාගේ ‘රජ දහන’ චිත්‍රපට තුන තමයි එන්න තියෙන්නේ.

පහුගිය දවස්වල ටෙලිනාට්‍ය වලින් ඈත් වෙලා හිටියා නේද?

ඔව්, මට පහුගිය කාලයේ ටෙලිනාට්‍ය වලට දායක වෙන්න කැමැත්තක් තිබුණේ නැහැ. මොකද මම චිත්‍රපට තුනක් කරල තිබුණ හින්දා. හැබැයි දැන් ‘නීල පබළු’ ටෙලිනාට්‍යයත් එක්ක සතියේ දවස් 5ම මාව දැකගන්න පුළුවන්.

මියුසික් වීඩියෝ සඳහා දැන් දායක වෙන්නේ නැද්ද?

ළඟදි කරපු මියුසික් වීඩියෝ නැහැ. මොකද මියුසික් වීඩියෝ වලට දායක වෙන එක ටිකක් සීමා කරලා තියෙන්නේ. දැන් එන මියුසික් වීඩියෝ එක්ක ගත්තාම කරන්න කියලා හොඳ නිර්මාණයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මියුසික් වීඩියෝ ටිකක් සීමා කරලා තියෙන්නේ.

නිරූපණය ඔස්සේ ක්ෂේත්‍රයට එන ඔබ දැන් නිරූපණයෙන් ඈත් වෙලාද?

මම නිරූපණය කියන දෙයින් ඈත්වෙලා නැහැ. කාලවේලාව තියෙන වෙලාවට මම ඒ සඳහා අනිවාර්යෙන්ම දායක වෙනවා. මොකද මම නිරූපණය කියන ක්ෂේත්‍රයට ඉතාමත් කැමති කෙනෙක්. මට තිබුණු වැඩත් එක්ක ඒ සඳහා වෙලාවක් වෙන් කරගන්න තමයි බැරි වුණේ.

රියලිටි තරගයක නිවේදිකාවක් වුණා නේද?

ඔව්, පහුගිය දවස් වල ‘සිරස ජූනියර් සුපර් ස්ටාර්’ හරහා නිවේදිකාවක් වුණා. මම නිවේදිකාවක් විදිහට සාර්ථකද කියන එක නම් දන්නෙ නැහැ. මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට තමයි කියන්න පුළුවන් වෙන්නේ නිවේදනය කියන දේට මම සාධාරණයක් ඉෂ්ඨ කළාද නැද්ද කියලා.

රියලිටි වැඩසටහනක නිවේදිකාවක් වුණු පළවෙනි අවස්ථාවේදී ලැබුණු අත්දැකීම් කොහොමද?

ලංකාවේ මේ වෙද්දි විශාල ප්‍රතිචාර ලැබුණු වැඩසටහනක් තමයි ‘සිරස ජූනියර් සුපර් ස්ටාර්’ කියන්නේ. ඒ වගේ තරගයක් නිවේදනය කරන එක ලොකු අභියෝගයක් වුණා. විශේෂයෙන්ම අවසාන තරගයේදී ඒ නිවේදන කටයුතු සඳහා ගොඩක් පෙර පුහුණුවීම් කරන්න වුණා. එම තරගයේ විනිශ්චය මණ්ඩලයෙන් වගේම සිරස කාර්ය මණ්ඩලයෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ දේවල් නිසා මගේ නිවේදනය පැත්තෙන් සිදුවෙන වැරදි අඩුපාඩු හදාගන්න ගොඩක් උදව් වුණා.

නිවේදිකාවක් වෙන්න ලැබුණේ වාසනාවටද? නැත්නම් තනාශා කියන නමට තියෙන ඉල්ලුමටද?

ඇත්තටම මම හිතන්නේ වාසනාවට කියලයි. මොකද මම ක්ෂේත්‍රයට එද්දි රංගනය ගැනවත්, නිවේදනය ගැනවත් හදාරලා තිබුණේ නැහැ. ක්ෂේත්‍රයට ආවට පස්සේ තමයි මේ අංශවල දේවල් ඉගෙන ගන්න ලැබුණේ. ඒ ඒ ක්ෂේත්‍රවල වැඩ කරද්දී ඒ තුළ ඉන්න ප්‍රවීණ අයගෙන් තමයි මට මේ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ. ඒ ඔස්සේ තමයි මගේ චරිතය ගොඩනගා ගත්තේ. ඒකයි මම හිතන්නේ මේ දේවල් ලැබුණේ මගේ වාසනාවට කියලා.

ඔබ වාසනාව කියන්නේ දේ පමණක් විශ්වාස කරන කෙනෙක්ද?

එහෙම නැහැ. වාසනාව සහ දක්ෂකම කියන මේ දෙකම තියෙනවා නම් අපේ ගමන ගැන කිසිම බයක්, පැකිලීමක් තියාගන්න ඕනෙ නැහැ කියලයි මම හිතන්නේ.

මේ ගමන් මග ගැන තෘප්තිමත්ද?

ඇත්තෙන්ම සතුටුයි. මට පුංචි කාලේ ඉඳන්ම හීනයක් තිබුණේ ලංකාව නියෝජනය කරලා ජාත්‍යන්තර තරගයකට යන්න. ඉතිං ඒ දේත් මට ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. ඒ වගේම නිරූපණ ශිල්පිනියක්, නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරන්න මට අවස්ථාවන් ලැබුණා. ඒ නිසා මේ ආපු මග ගැන ගොඩක් තෘප්තිමත් වගේම හදවතින්ම සතුටු වෙනවා.

ක්ෂේත්‍රය තුළ පවතින තරගකාරීත්වය නිසා අභියෝග නැද්ද?

හැම ක්ෂේත්‍රයක් තුළම තරගකාරීත්වයක් තියෙනවා. මම හිතන්නේ එහෙම තරගකාරීත්වයක් තියෙන්න ඕන. අපි හරියට වැඩක් කරනවා නම්, අපිට ලැබෙන චරිතවලට සාධාරණයක් කරනවා නම් අපි ලොකුවට අනිත් අය ගැන හිතන්‍න අවශ්‍ය නැහැ. එතකොට තරගකාරීත්වයක් තිබුණත් අපිට ඒ දේ බලපාන්නේ නැහැ කියලයි මම හිතන්නේ.

දවසින් දවස අලුත් අය ක්ෂේත්‍රයට එකතු වෙද්දී ක්ෂේත්‍රයට හානියක් නැද්ද?

ඕනෑම ක්ෂේත්‍රයක් දවසින් දවස අලුත් වෙනවා. අලුත් අය එකතු වෙනවා. මම හිතන්නේ මේ ඕනෑම ක්ෂේත්‍රයක අපේ තැන තියාගෙන අපිට හරියන විදිහට හැසිරෙන්න අපි දැනගන්න ඕනේ. එහෙම වුණොත් අපේ ක්ෂේත්‍රය තුළත් යම්කිසි ප්‍රමිතියක් ඉබේම බිහිවෙයි.

ඔබ නිර්මාණවලට සීමාවක් ඇතිව දායක වෙන්නේ ඇයි?

මම නිර්මාණ තෝරා බේරාගෙන තමයි දායක වෙන්නේ. ‘නීල පබළු’ ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙද්දි මට ටෙලිනාට්‍ය තුනක් සඳහා ආරාධනා කරලා තිබ්බා. මම ඒ වෙද්දිත් කිව්වේ ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙන්න මගේ එච්චර කැමැත්තක් නැහැ කියලා. මම චිත්‍රපට පැත්තෙන් ඉස්සරහට යනවා කියන මතයේ තමයි හිටියේ. හැබැයි ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ කතාව කිව්වට පස්සේ මට ගොඩක් ආස හිතුණා ඒ කතාවට. දැන් එන කතාවලට වඩා ගොඩක් වෙනස් කතාවක්. ඒ දේවල් වලට ආස හිතිලා තමයි මේ පිටපත තෝරා ගත්තේ. මම ගොඩක් වෙලාවට මට කරන්න පුළුවන් චරිතයක් නම් තමයි තෝරා ගන්නේ. නැතුව ලොකුවට බොරු චරිත අරන් අමාරුවේ වැටෙන්නෙ නැහැ.

නිතරම නිර්මාණ ඔස්සේ පෙනී නොසිටීම නිසා ඔබව රසිකයන්ට අමතක වෙයි කියලා හිතෙන්නෙ නැද්ද?

මම හිතන්නේ අපි හොඳ වැඩක් කරලා තියෙනවා නම්, නිර්මාණ වලට සාධාරණයක් කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම රසික හිත් තුළට අපි කාවදිනවා. එහෙම වුණ අයව අමතක වෙනවා අඩුයි. හැමතිස්සෙම පේන්න ඉන්න අය එකපාර නැතිවුණාම තමයි ඒ අයව හොයාගන්න බැරි වෙන්නේ. හරියට යමක් කරලා ටිකක් නිහඬ වුණා කියලා රසිකයන්ට අමතක වෙයි කියල මම හිතන්නේ නැහැ.

කලා ක්ෂේත්‍රය තෝරා ගත්තේ නැත්නම් අද ඔබ කවුරු වෙයිද?

මම ආසාවෙන් හිටියෙ ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්නයි. මම උසස් පෙළ කළෙත් ජීව විද්‍යා අංශයෙන්. උසස් පෙළ අවසන් කරපු ගමන් මිස් ශ්‍රී ලංකා තරගයට ගියා. ඒකත් එක්ක ජාත්‍යන්තරය නියෝජනය කරමින් ලෝක තරගයට ගියා. ඒවත් එක්ක මගේ අධ්‍යාපන කටයුතු එක දිගට කරගෙන යන්න බැරි වුණා. ඉතිං කලාව තෝරා ගත්තෙ නැත්නම් අනිවාර්යෙන්ම මම ආයුර්වේද වෛද්‍යවරියක් වෙලා ඉඳියි.

ආයුර්වේද වෛද්‍යවරියක් වීමේ සිහිනය නැති වුණ එක ගැන දුකක් නැද්ද?

වෙලාවකට පොඩි දුකක් තියෙනවා. නමුත් සතුටකුත් තියෙනවා. මොකද මේ තරම් ප්‍රේක්ෂකයන්ගේ ආදරයක් සහ මේ වගේ විනෝදශීලී ක්ෂේත්‍රයක් එක්ක ඉන්න අවස්ථාව ලැබුණ එක ගැන.

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මම දායක වුණු සිනමා නිර්මාණ තුනක් තිරගත වෙන්න තියෙනවා. දැනට මේ ‘නීල පබළු’ ටෙලි නාට්‍යයත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ.

ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

ජීවිතේ ලොකුම බලාපොරොත්තුවක් කියල දෙයක් නැහැ. ඉන්න ටිකේ හොඳ සතුටින්, තමන්ගේ චරිතෙ රැකගෙන, කාගෙන්වත් වැරැද්දක් අහගන්නේ නැතිව, එදිනෙදා ජීවිතේ සතුටින් ගතකරන එක තමයි මගේ එකම අභියෝගය සහ බලාපොරොත්තුව.