"මූණේ ලස්සනටනේ මිනිස්සු බලන්නේ කියලා මූණට ඇසිඩ් ගැහුවා.." - අවුරුදු අටේ සිට වසර දහයක් යනතුරු ඉංජිනේරුවරයෙක් කෙලෙසු තරුණිය කියයි

ඉරණමට අනුව දරුවන් සිවු දෙනකු සමඟ ජීවිත ගමනේදී ඇයට තනි වන්නට සිදු වන්නේ මීට දස වසරකට පෙර සියලුම බර ඇය හිසමත තබා සැමියා ඇය අත් හැර දමා ගිය නිසාය. ඉන් වැඩිමහල් දරුවා දියණියක වූ අතර එවිට ඇගේ වයස අවුරුදු අටකි. දියණියට බාල කුඩා පුතුන් තිදෙනා ද ඒ වනවිට කුඩා වයස්වල දරුවෝය. ද්‍රවිඩ ජාතික කාන්තාවක් වූ ඇයට ජීවිතයේ කිසිදු හව්හරණක් නැති වී ගිය අතර ඒ වනවිට අෑ පදිංචි වී සිටියේ දෙණියායේය. මේ 2011 වසරේය. දරුවන් ජීවත් කරවමින් ඉන්න හිටින්න තැනක් සොයමින් සිටි ඇයට එවන් තැනක් ගැන දැන
හඳුනාගෙන සිටි කෙනෙක් පණිවුඩයක් කීවේය.

ඒ අකුරැස්සේ දංගහහේන වත්තයි. මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල කාර්යාලයේ ඉන්ජිනේරුවරයකු බව කියන අසංග විරාජ් ඒකනායක නම් අයකුට හිමිව තිබූ අක්කර දෙකකින් යුත් ඒ වත්තේ තේ, රබර් හා කුරුඳු වගා කොට තිබිණි. නිවෙස ආසන්නයෙන්ම වාගේ පිටුපසට වන්නට කුඩා මුර ගෙයක් වූ අතර ඇය දරුවන් හා නැවතුණේ මේ කුඩා මුරගෙදරය. එක සමාන පොඩි වයස්වල දරුවන් සමඟ ඇය එතැන් පටන් මේ ඉන්ජිනේරුවාගේ වත්තේ වැඩ කළා මිස පාසල් යන වයසේ සිටි ඒ දරුවන් එක්කෙනකු හෝ පාසල් යැව්වේ නැත. ඔවුන්ගේ සේවයට කුඩා වැටුපක් ලැබුණු අතර ජීවිතේ හව්හරණක් නැතිව සිටි මේ ද්‍රවිඩ ජාතික කාන්තාවට එයද මහ වටිනා සම්පතක් වූයේය.

හතළිස් පස් හැවිරිදි මේ ඉන්ජිනේරුවරයා විවාහකයකු වූ අතර ඔහුටද ඒ වනවිට කුඩා පුතුන් දෙදෙනකු විය. ඒත් වත්තේ පදිංචියට පැමිණි පවුලේ වූ පිරිමි දරුවන්ට නම් ඔහු කිසි විටෙකත් ළතෙත් බවක් පෑවේම නැත. විටෙක ඔහුට ඔවුන් පෙනෙන්නට බැරි වුණේය. ගුටි බැට ද දුන්නේය. ඒත් දැරියට නම් ඔහු කැමැති බවක් එළිපිටද පෙන්නුවේය.

අට හැවිරිදි හුරුබුහුටි දැරියක වූ ඇයව කාටත් පෙනෙන්නට අතපත ගාමින් හුරතල් කළ ඔහු ඇයව හුදෙකලාවේ අල්ලා ගත් බොහෝ අවස්ථාවල සපා පැන දිව්වාය. එවන් විටෙක වේදනාවට ඔහු කෑගසද්දී ඔහුගේ බිරියද පැමිණ බැලූ මුත් එය දැරිය හුරතලයට කළ වැඩක් බව කියමින් ඔහු සිද්ධිය යටපත් කළ වාර විය. ඔහුට වුවමනා වූයේ කෙසේ හෝ පිරිමි දරුවන් වත්තෙන් පිට කිරීමටත් ගැහැනු දරුවාත් අම්මාත් වත්තේ තබා ගැනීමටත්ය. මේ නිසා වත්ත එපා වන සේ නිතර දරුවන්ට බැන වැදීම්, පහරදීම්, පන්නා දැමීම් කර තිබූ අතර මේවා ඉවසිය නොහැකිව වැඩිමහල් පිරිමි දරුවා වත්තෙන් පැන ගොස් තිබිණි. දෙවැන්නා කුරුඳු වාඩියක වැඩට දමා ඇත්තේ ද ඔහු කියයි. බාල දරුවා මහණ කළ බවත් කියයි. ඒ අයුරින් වත්තේ වැඩට ආ ද්‍රවිඩ කාන්තාවගේ පිරිමි දරුවන් තුන්දෙනාම වත්තෙන් පන්නා ගත් පසු ඉන්ජිනේරුවා තව තවත් වසරින් වසර වැඩෙන ගැහැනු දැරිවියට කිට්ටු වුණාය.

''මහත්තයා අතින් දුවට කරදරයි කියලා මම දන්නවා. මට පේනවත්. ඒත් අපි හිටියේ අන්ත අසරණ වෙලා. කටක් අරින්න බෑ. කාට හරි මේවා කිව්වොත් මරණවා කිව්වා. ඉතින් දුවයි මමයි අවුරුදු ගාණක් ඔය දුක විඳගෙන හිටියා. වත්තට ඇවිල්ලත් අවුරුදු දහයක් විතර ගෙවුණා. පුංචිවට හිටපු දුවත් ලස්සනට ඇඟපත ඇවිත් ලොකු වුණා.

කොණ්ඩෙ දිගට වැවුණා. මහත්තයාගේ කරදරත් ඒ විදියටම තිබ්බා. 2017 කියන්නේ දුවට අවුරුදු 17ක්. අන්තිමේ දවසක් දුව රස්සාවක් හොයාගෙන වත්තෙන් යනවා කියලා මට කිව්වා. දුවට මේ කරදර නැති වෙන්න කරන්න තිබුණු එකම වැඩේ ඒක හින්දා මාත් කැමැති වුණා.''

ඒ අම්මා දුව වත්තෙන් පිටව යනවාට සිය දහස් වාරයක් සතුටු වූයේ වත්තේ මහත්තයාගේ කරදරයෙන් බේරෙන්නට වෙනත් මඟක් නොවූ නිසාය. ඒ අනුව තරුණිය 2017 මැයි මාසේ අවසාන කාලයේ වත්තෙන් පැන ගොස් තිබිණි. අෑ පැන යෑමත් සමඟ ඉන්ජිනේරුවා කලබල වූ අතර ඇයව හොයන්නට බොහෝ වෙහෙස ගත්තේය. තරුණියගේ අම්මා යවා පොලිසියේ පැමිණිල්ලක්ද කර වූවාය. එතෙකින් නොනැවතී මැයි 22 සති අන්ත පුවත්පතක අෑ ගැන සඳහන් දැන්වීමක්ද පළකොට තිබුණේ ඡායාරූපයක්ද සමඟිනි. ඒ ඇගේ භාරකරු ලෙසට දන්නා අයෙක් වෙතොත් අෑ සොයා දෙන ලෙස සඳහන් කරමිනි. ඒ අනුව මහරගම පොලිසියට අෑ ගැන තොරතුරු ලැබී සොයාගත් තරුණිය යළිත් ඒ අපායේ යක්‍ෂයාටම භාර දී තිබුණු බව කියයි. යළි කැඳවාගෙන ආ තරුණියව විටින් විට අපහරණය කළ බව කියන මේ ඉන්ජිනේරුවරයාගේ සියලු දේ අම්මා සහ දුව ඉවසා සිටියේ ඔහුට තිබූ බිය නිසා බව ප්‍රකාශ කර ඇත. ලෝකය තබා සමාජයවත් නොදකින්නට වත්තේ සිර කරගෙන උන් තරුණියට රැකියාවකට යන්නට ඉන්ජිනේරුවරයා ඉඩදී ඇත. ඒ වත්ත ආසන්නයේම තිබූ රෙදිපිළි ආයතනයකටයි. වත්ත ආසන්නයේ වුවත් පොඩි දුරක් බසයෙන් යා යුතු වූ අතර ඉන්ජිනේරුවා විසින් තරුණියගේ මුරට කාන්තාවකද හැමදාමත් ඇය පසුපසින් යවා ඇත. ඒ කාන්තාව ඇයව මුර කිරීමේ රාජකාරිය හොඳින් කර ඇති අතර අෑ මහමඟදී සිනාසෙන්නේ, කතා කරන්නේ කා සමඟදැයි කියාත් කීවාය. ඒ අනුව 2018 මාර්තු මාසයේ දිනෙකදී බස් රියේ කොන්‍ෙදාස්තරවරයා අෑ දෙස බලාසිටි බවත් තරුණියත් හැරි හැරී ඔහු දෙස බැලූ බවත් කාන්තාව විසින් ඉන්ජිනේරුවරයාට කියා තිබුණේය. ඒ තොරතුරට නම් සැබෑවටම ඔහුට කේන්ති ගියේය.

''මගේ කොණ්ඩෙ හින්දා තමයි මගේ දිහා කට්ටිය බලන්නේ කියලා කඩුවකින් ගහලා මගේ කොණ්ඩේ කැපුවා. ඒ පාරට මගේ ඔළුවත් තුවාල වුණා. ඊට පස්සේ මූණේ ලස්සනටනේ මිනිස්සු බලන්නේ කියලා මූණට ඇසිඩ් ගැහුවා. ඒ ඇසිඩ් පාර වදින්නේ නැති වෙන්න මම නැවුණා. ඇසිඩ් පාර වැදුණේ පිටට. පිට ඒ පළාතම පිච්චුණා. මාස එකහමාරක් විතර තුවාලවලට බේත් කළා. ඒ නිසා වැඩට යන්න බැරිවුණා. ආයේ එතැන්ට වැඩට යන්න ගත්තේ මැයි මාසේ.''

වැඩට ගිය තරුණියට දින කිහිපයක් යද්දී එතැන වූ ප්‍රධානි කාන්තාවට ඇගේ කතාව කියන්නට සිත් වී ඇත. ඒ අනුව ඇගේ දුක පිරුණු කතාව එකී කාන්තාවට කියා අවසන් කළ තරුණියට අෑ විසඳුමක්ද දුන්නාය. ඒ පිළිබඳව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියට පැමිණිලි කරන ලෙසත් මේ ප්‍රශ්නවලින් මිදෙන්නට ඇය උදවු කරනු ඇත කියාත්ය. ඒ අනුව එම දුරකථන අංකයද සොයා එම දුරකථනයෙන්ම වරුණි බෝගහවත්ත මහත්මියට ගෙන දුන් ඇමැතුමට තරුණිය පසුගිය අටවැනිදා කතා කළාය.

''අනේ මැඩම් මම ඉන්නේ අකුරැස්ස දංගහහේන පරදූවවත්තේ. ඒ වත්තේ මහත්තයා මට කරදර කරනවා. මැඩම් මාව බේරගන්න. හැබැයි වත්තට එන්න එපා. මැඩම්ලා වත්තට ආවොත් මාව මරයි. ඒ හින්දා වත්තට එන්නේ නැතිව මාව බේරගන්න.....''

අෑ පොලිස් පරීක්‍ෂිකා වරුණි බෝගහවත්ත මහත්මියගෙන් ඉල්ලා සිටියේ එලෙසිනි. ඒ අනුව ඇමැතුමෙන් ලැබුණු තොරතුරෙහි විමර්ශන කටයුතු ආරම්භ කිරීමට පෙර වරුණි බෝගහවත්ත මහත්මිය සිය ප්‍රධානියා වූ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ග හසන්ත මාරපන මහතාව දැනුවත් කළාය. අනතුරුව ඔහුගේ අවසරයෙන් හා අධීක්‍ෂණයෙන් අෑ විමර්ශන ආරම්භ කළාය. ඇය ඉන්ජිනේරුවරයාට දන්වා තිබුණේ තරුණියගේ පැමිණිල්ල පිළිබඳ විමර්ශන රාජකාරි සඳහා අම්මා අෑ හමුවට එවන ලෙසයි. ඒ අනුව කාන්තාව එවනු ලැබිණි.

ඒ අනුව ඇයව කැඳවා එන්නේ ඉන්ජිනේරුවරයාගේ බිරිය වූ අතර කාන්තාවට බිය සැක නැතිව කතා කරන්නට නොහැකි වන සේ ඇය තරුණියගේ අම්මා ආසන්නයේම රැඳී සිටියාය. කෙසේ හෝ ස්ථානාධිපතිනිය කාන්තාව හා තනිවම කතා කරන්නට අවස්ථාව ගත්තාය.

''අනේ බුදු නෝනා... අපිව බේරගන්න. අපි හරි බයෙන් එහෙ ඉන්නේ. මේවා කාට හරි කිව්වොත් මරණවා කියලා කියන්නේ. වත්තේ මහත්තයා දුවට කරදර කරනවා. එයා ගෙදරින් යන්න දවස් දෙකකට කලිනුත් මහ රෑ දුවට කරදර කරන්න ගියා. ඒ රෑ මාව පුටු වගයක් අහුරන්න කියලා ගෙයින් එළියට යැව්වා. දුවට නින්ද ගිහින් හිටියේ. දුවට ඇහැරෙන කොට ඉන්ජිනේරු මහත්තයා ළඟට ඇවිත් හිටියාලු. දුව කෑගහන සද්දෙට මමත් ගියා. ඇඟේ උඩ විතරයි ඇඳුම් තිබ්බේ. යට කොටස නිර්වස්ත්‍රයි. මමත් කිව්වා අනේ මහත්තයෝ මගේ කෙල්ලට කරදර කරන්න එපා කියලා. මට කටවහගෙන ඉඳපන් බැල්ලි කියලා ගහලා ඊට පස්සේ යන්න ගියා. දුව කල්පනා කර කර ඉඳලා තමයි කිව්වේ ආයෙත් ගෙදරින් යනවා කියලා. මමත් කිව්වා පැනලා පලයන් පුතේ කියලා. පොලිසියේ නෝනට කතා කරලා අපිට කරදරයි කියලා කිව්වයි කිව්වා. ගිහිල්ලත් නෝනට කතා කරනවා කිව්වා ඉන්න තැනකින්.....''

ඇගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඒ අම්මා යළි ඔවුන් හා පිටත් කළ අතර ස්ථානාධිපතිවරිය බලා සිටියේ තරුණිය කතා කරන තෙක්ය. වැඩිකල් නොගොසින් අෑ කතා කළාය. ඒ වනවිට අෑ සිටියේ කොළඹින් කිලෝමීටර් ගණනාවක් දුර අනුරාධපුරයේය. එහිදී රැකියාවක් කරන බව අෑ කීවෙන් එතැන විස්තර අසා ගත් වරුණි බෝගහවත්ත මහත්මිය එම ආයතනයේ කළමනාකරුට කතා කළාය. කළමනාකරු සමඟ තරුණිය පිළිබඳව කතා කළ ඇය එහි ඉහළම නිලධාරියා සමඟද කතා කළේ තරුණිය සුරක්‍ෂිතව මාතරට ගෙන්වා ගැනීම සඳහාය. ඒ අනුව ඉන්ජිනේරුවාගෙන් බේරී අනුරාධපුරයට පලා ගොස් සිටි තරුණිය සුරක්‍ෂිතව තමන් භාරයට ගෙන්වා ගන්නට ස්ථානාධිපතිනිය සමත් වුණාය. එහි පැමිණි අෑ ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනිය ඉදිරියේ වයස අවුරුදු අටේ පටන් අදාළ ඉන්ජිනේරුවරයාගෙන් විඳින්නට වූ අතවර, දුක් ගැහැට විස්තර කළාය.

''අවුරුදු අටේ ඉඳලා මාව මහත්තයා පාවිච්චි කරන්න ගත්තේ. ඒත් මම මට කරදරයක් වෙන්න දුන්නේ නැහැ. ඉන්ජිනේරු මහත්තයා කරන දේවල් මට අප්පිරියයි. පොඩි කාලේ හපලා පැනලා දිව්වේ ඒකයි. ලොකු වෙද්දී අම්මවයි මාවයි දෙන්නම බය කළා මරනවා කියලා. මට කොහේවත් තනියම යන්න බැරි තරමට මාව හිර කළා. මම ලොකු වුණාම නම් ළඟට ආවා හැමවෙලාවෙම කිව්වේ මාව බඳිනවා කියලා. මහත්තයා බැඳලා හිටියේ. නෝනත් එහෙමයි හිටියේ. මට වඩාටිකක් බාල පුතාලා දෙන්නෙක් තමයි හිටියේ...''

ඇගේ සියලු ප්‍රකාශ සටහන් වෙද්දී තවමත් තරුණිය හමු නොවුණු බව පෙන්වමින් තරුණියගේ අම්මා ළමා හා කාන්තා කාර්යාංශයට ගෙන් වූයේ ඉන්ජිනේරුවා අත්අඩංගුවට ගැනීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමටයි. සැකකාර ඉන්ජිනේරුවරයා මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගැනෙනුයේ වසර 10ක් තිස්සේ වත්තේ හිරකරගත් තරුණියක ළමා අවධියේ පටන් වධ හිංසාවලට බඳුන් කරමින් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවටයි. ඒ පසුගිය අඟහරුවදාය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු පරීක්‍ෂණ අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත් කෙරුණේය. තමන්ට ජීවත් වන්නට කිසිදු ආදායම් මාර්ගයක් නැති නිසාත් ඉන්න හිටින්න නිවෙසක් නැති නිසාත් ඔහුගේ වධ හිංසා ඉවසාන වත්තේ රැඳී රැකියාව කළ බවට ඒ අම්මා අධිකරණය ඉදිරියේ සඳහන් කොට තිබිණි.

පබාවි මල්දෙනිය