ප්ලාස්ටික් බෑග් 80ක් ගිල දැමූ තල්මසෙකුට සිදුවුන දේ...! (photos)

දිරාපත් නොවන ද්‍රව්‍ය මුහුදට එක්කිරීමත් සමඟ එය සමුද්‍ර ජීවීන්ට විශාල තර්ජනයක් වී තිබෙනවා. එසේම ඒ තුලින් විශාල පාරිසරික හානියක්ද සිදුවනවා. මෑත කාලයේදී සිදු කරන ලද සමීක්ෂණයන්ට අනුව ශ්‍රී ලංකාවද මුහුදට අපද්‍රව්‍ය එකතු කරන රටවල් අතර පස්වෙනි තැනට පත්ව තිබෙන්නේ ලෝකය හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳවද අයහපත් ප්‍රතිරූපයක් මවමින්.

මේ අතරේ මුහුදට එකතු කල ප්ලාස්ටික් බෑග් 80 ක් පමණ ගිල දැමීම නිසා තායිලන්තයේ දකුණුදිග
වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේදී තල්මසෙකු මිය ගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍යයන් වාර්තා කර තිබෙනවා.

එරට සමුද්‍රීය බලධාරීන් පවසන්නේ අදාල තල්මසා ඇළ මාර්ගයකට දමා බේරා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී ගිල දැමූ බෑග් පහක් වමනය කර ඇති බවයි. කෙසේ වෙතත් පසුව සිදුකරන ලද පරීක්ෂණ වලදී මිය ගිය තල්මසා ගිල දැමූ  කිලෝ ග්‍රෑම් 8ක් පමණ බරැති  ප්ලාස්ටික් බෑග් තොගයක් සොයාගෙන තිබෙනවා.

විශාල වශයෙන් ප්ලාස්ටික් බෑග් භාවිත කරන රටවල් අතර පෙරමුණ  ගන්නා තායිලන්තයේ  ප්ලාස්ටික් භාවිතය අවම නොකළ හොත් දශකයක් ඇතුළත මුහුදේ ප්ලාස්ටික් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා ඇති අතර පසුගිය දා තායිලන්ත රජය නිවේදනය කර තිබුනේ ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත භාණ්ඩ සඳහා බද්දක් පැණවීමට කටයුතු කල යුතු බවයි.