"ඒකාලේ ගොටුකොළ, මුකුණුවැන්න, වගේ පළා ටිකක් මිටි බැඳලා විකුණලා අපි සල්ලි හොයාගත්තා.."

පරම්පරා ගණනාවකට රංගන දැනුම ලබා දුන් රංගධරයෙක් විදිහට නිශ්ශංක දිද්දෙනියන්ව හදුන්වා දෙන්න පුළුවන්. ඔහුගේ රංගන ප්‍රතිභාව වේදිකාව සිනමාව වගේම රිදී තිරයෙන් දකින්න ලැබුණා. වේදිකාවට නැතිවම බැරි නිශ්ශන්කයන් ගැන මේ විදිහට පුවත්පතක සටහනක් සදහන් වුණා. මේ ඒ ගැනයි.

ඔබ මේ වෙනකොට පංච මකරන්ද ප්‍රසංගයට සූදානම් වෙමින් පවතින්නේ...? කොහොමද පංච මකරන්ද සංකල්පය ඇති වුණේ...?

ඔව්... මේක පංච පුද්ගල සංගීත ප්‍රසංගයක්. නෙළුම් පොකුණ රඟහලේ ජුනි නවවැනිදා රාත්‍රි හතට මෙම ප්‍රසංගයේ මංගල දර්ශනය පැවැත්වෙනවා. ඊට පස්සේ දිගින් දිගටම මේ ප්‍රසංගය පවත්වන්න ප්‍රයන්තයක් තියෙනවා. මේ ප්‍රසංගයේ ශෛලයින් හතරක ගීත ගයනා අඩංගු වෙනවා. මෙහි රොඩ්නි වර්ණකුල, ඉන්දිකා උපමාලි, සමන් ලෙනින්, නිලක්ෂි හැලපිටිය සහ මම ගීත ගායනා කරනවා. අපි පස්දෙනාම වේදිකාවට සම්බන්ධ අයයි. අපි අතහැර ආ පැරැණි යුගයේ ඉතාමත් ජනප්‍රිය ගීත මෙන්ම වේදිකා නාට්‍ය ගීතත් මෙහි ගායනා කරනවා. මේක අපූරු ප්‍රසංගයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

රත්නපුරේ ඉඳන් ජීවිතේ පටන්ගත්තු ඒ අතීතයත් හරි අපූරුයි නේද...?
ඔව්... මම සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පනාවැල්ල කියන ඒ කාලයේ හද්ද පිටිසර ගමේ තමයි ඉපදුණේ. අපිට ඒකාලේ රත්නපුරෙන් එහාට දැනුම්වත්කමක් තිබුණේ නැහැ. අවුරුදු එකොළහ වෙනකම්ම මම මහ මුහුද දැකලා තිබුණේ නැහැ. ඒකාලේ රූපවාහනිය තිබුණේ නැහැ. හරිම සරල ජීවන රටාවක් තමයි තිබුණේ. ගමේ පන්සලේ පෙරහැර, ගමේ නටන තොවිල් පවිල් තමයි අපේ සිත් ගත්තේ. ඒකාලේ ටීටර් කියන නාට්‍ය ක්‍රමය තමයි ගමේ තිබුණේ. මගේ පවුලේ ලොකු අයියයි, පුංචි අයියයි දෙන්නම ටීටර් නළුවෝ.

ඔබ ගොවි මහත්තයකුගේ පුතෙක්... එහෙම නේද...?
ඔව්... මගේ අම්මා ගෙවිළියක්. මගේ පියා ගොවියෙක්. හැබැයි අම්මටයි තාත්තටයි හොඳ හඬක් තිබුණා. තාත්තා හැමදාම කුඹුරේ වැඩකරලා ඉවරවෙලා හවසට ඇඟ එහෙම හෝදාගෙන ඇඳේ ඇලවෙලා අපූරුවට බණ කවි කියෙව්වා. මම ඒවා අහගෙන ළඟට වෙලා හිටියා. ඒකාලේ තිබුණු සැඩ සුළං, සුජාතා වගේ චිත්‍රපට අපේ අයියලා තුන්දෙනා බලන්න ගියා. ඒවා ගෙදර ඇවිත් ඒ තුන්දෙනා රඟපාලා එහෙමත් පෙන්නුවා.

ඔබ චිත්‍රපට බලන්න එහෙම අයියලා එක්ක ගියේ නැද්ද...?
නැහැ. ඒකාලේ පොඩි අපිට බයිස්කෝප් බලන්න තහනම්. ඒ නිසා අපි හොරෙන් තමයි බයිස්කෝප් බලන්න ගියේ. ඒකාලේ ගැලරියේ බලන්න ගත්තේ සත පනස් පහයි. ඉතින් ඒකාලේ ගොටුකොළ, මුකුණුවැන්න, එහෙම පළා ටිකක් මිටි බැඳලා විකුණලා අපි සල්ලි හොයාගෙන ගෙවල්වලට හොරා බයිස්කෝප් බලන්න ගියා. කහවත්ත වෙනකම්ම පයින්ම ගිහින් තමයි ඒවා බැලුවේ. මට මතකයි ඒකාලේ දෙමළ චිත්‍රපට ගොඩාක් මම එහෙම හොරෙන් බැලුවා.

ඔබ ඉගෙන ගත්තේ මොන පාසැලේදී ද...?
මුලින්ම පනාවැල්ල ධර්මාරාම විදුහලේ අටේ පන්තියට විතරක් ඉගෙන ගත්තා. ඊට පස්සේ පැල්මඩුල්ල ගල්කන්ද මධ්‍ය මහ විද්‍යාලයට ඇතුළත් වුණා. මම පාසැලේ ගීත තරගවලින් ජයග්‍රහණය ලබාගත්තා. සබරගමු පළාතේ ඒකල ගායනා තරගයෙන් ප්‍රථම ස්ථානය 1963 වසරේ දී දිනාගත්තා. ඔය කාලේදී රාජා සුමතිපාල මහත්තයා අම්මට කියලා ඔහුගේ මුල්ම නාට්‍යයකට මාව තෝරාගත්තා. එතකොට මට අවුරුදු පහළොවක් විතර ඇති. “ඈ කාගේ කවුද අංගුලිමාල වගේ ගමේ කරපු නාට්‍යවලට මාව තෝරාගත්තා. ඒකාලේ මගේ ශරීරය හරිම කෙට්ටුයි. ඉතින් මාව අංගුලිමාලට තමයි තෝරාගත්තේ. මගේ අයියලාත් ටීටර්වල රඟපෑවා. ඉතින් ගෙදර කට්ටිය තමයි අපේ ප්‍රේක්ෂකයෝ. අපි ගෙදර අයට පේන්න අර නාට්‍ය අනුකරණ කරලා පෙන්නුවා. එහෙම තමයි මගේ ජීවිතේ ගැමි කරළිය පටන් ගත්තේ.

1964 “නරිගුල කියලා නාට්‍යයක් පාසැල් වේදිකාගත වුණා. පාසැලේදී උඩරට නැටුම් අවසානය දක්වා ඉගෙන ගත්තා. ඉස්කෝලේ ඇරැණාට පස්සේ අපේ ලෝකය වෙලා තිබුණේ වෙල්යායවල්, නියරවල් වගේ මේ සුන්දර වටපිටාව තමයි. ඒ කාලේ අපේ ප්‍රියතම ක්‍රීඩාව තමයි චක්කුඩු පනින එක. අපේ පාසැලේ සිංහල ඉගැන්වූයේ කරුණාරත්න බණ්ඩාර රත්නායක කියන ගුරුතුමා. එතුමා කලාවට හරි කැමැති ගුරුවරයෙක්. අපේ පන්ති භාර ගුරුතුමී වුණේ සීතා අරුන්නවානාදම් කියන දෙමළ ගුරැවරියක්. ඇය සරච්චන්ද්‍ර මහත්තයාගේ මුල්ම ස්වතන්ත්‍ර නාට්‍යය වුණු “බහින කලාව කියන නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාලා තිබුණා. ඒ 1952 වසරේදී. ඇය කලාවට හරි ආසයි. ඉතින් අපිටත් ඒ දේවල් ගැන කියලා දුන්නා.

පාසැල් අධ්‍යාපනයෙන් පසු ඔබ විශ්වවිද්‍යාලයට තේරුණා නේද...?
ඔව්... හැබැයි මම උසස්පෙළ දෙවරක්ම අසමත් වුණා. පාසැලේදී නැටුම්, සංගීතය හැමදේටම ඉදිරිපත් වෙලා බාහිර ක්‍රියාකාරකම් කළ නිසාම අධ්‍යාපනය මගෙන් මඟහැරුණා. මම පාඩම් කළේ නැහැ. හැබැයි දෙවරක්ම විභාගය අසමත් වෙද්දී “මට වඩා දුර්වල අය සමත් වුණානම් ඇයි මට බැරි... කියලා මටම හිතිලා පාඩම් පොත් ටික ළඟට අරගෙන තනියමම පාඩම් කරලා උසස් පෙළ සමත් වෙලා ඊළඟ පාර මම පේරාදෙණියේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඒකාලේ වැඩිම ලකුණු තේරුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. ඒනිසා ඒ විශ්වවිද්‍යාලයට යන්න මට වරම් ලැබුණා.

විශ්වවිද්‍යාල ජීවිතේදී ඔබට අපූරු මිනිසෙක් මුණගැහෙනවා නේද...? මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ මුණගැසීමත් ජීවිතේ අපූරැ මාවතකට ඔබව ගෙනයනවා...?
ඔව්... ඇත්තමයි. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා මුණගැසීම මට හීනයක් වෙලයි තිබුණේ. මට තාම මතකයි එතුමාගේ මුල්ම මුණගැසීමත්. එක්තරා හැන්දෑවක මට ඈතින් අපූරු භක්ති ගීත ගායනාවක් ඇහුණා. මම ගිහින් බලද්දී ගලහා පාර දිගේ බකට් පත්තු කරගත්තු කණ්ඩායමක් භක්ති ගීත ගායනා කරමින් එනවා දැක්කා. ඒක මෙහෙයෙව්වේ සරච්චන්ද්‍ර මහතායි.

එතුමාගේ “පේමතෝ ජායතෝ සෝකෝ වේදිකා නාට්‍යයටද ඔබේ මුල්ම වේදිකා නාට්‍ය වුණේ...?
ඔව්... කැම්පස් එකේ නෝටීස් බෝඩ් එකේ “අලුත් වේදිකා නාට්‍යයට අලුතින් කට්ටිය ගන්නවා. ගායනයට හැකි අය ඉදිරිපත් වෙන්න. කියලා දැන්වීමක් දාලා තිබුණා. මමත් ටිකක් තැතිගැන්මකින් වගේ ඒකට ගියා. එතන ගොඩාක් කට්ටිය හිටියා. අපි ඉතින් ගමෙන් ආපු අයනේ. කොළඹ ඉස්කෝලවල්වලින් ආපු අයත් එතන හිටියා. මට මතකයි කොළඹ ලොකු බාලිකා පාසලකින් ආපු ගෑනු ළමයෙක් “මා බාල කාලේ අම්මාගේ උකුලේ කියන, ගීතය ඉංග්‍රීසි පැටන් එකට ගායනා කළා. ඒ ගෑනු ළමය ගීතය ගායනා කරලා ඉවරවුණු ගමන් සරච්චන්ද්‍ර මහතා “දැන් ඉතින් සිංහල සින්දුවකුත් කියන්නකෝ කියලා කිව්වා. අර ළමයා ලැජ්ජාවෙලා විශාල කාමරයෙන් එළියට ගියා. ඔන්න ඉතින් මාත් තරගයට ඉදිරිපත් වුණා. මම “සන්නාලියනේ කියන ගීතය ගායනා කළා. මට සරච්චන්ද්‍ර මහතාගේ මුහුණේ ඉරියව් වෙනස් වෙනවා පෙනුණා. මට මම ගැන විශ්වාසයක් ඇති වුණා. ගීතය ගායනා කරලා ඉවරවුණාට පස්සේ “අපි පුහුණුවීම් ළඟදී පටන්ගන්නවා... එතකොට දන්වන්නම්කෝ කියලා කිව්වා. එහෙම තමයි එතුමාගේ “ප්‍රේමතී ජායතී සෝකෝ කියන නාට්‍යයට මාව තේරුණේ. කටහඬ හොඳට ගායනා කරන්න පුළුවන් නම් අනිත් දේවල් හදාගන්න පුළුවන් කියලා එතුමාගේ ලොකු විශ්විසයක් තිබුණා.

නමුත් ඔබට එම නාට්‍යයේ මංගල දර්ශනයට පෙනීසිටින්න බැරිවුණා එහෙම නේද...?
ඔව්නේ... අපි ඒකේ පුරුදු පුහුණුවීම් කළා. මංගල දර්ශනයට සතියක් වගේ තියෙද්දී මට ඇඟට හොඳ නැති ගතියක් දැනුණා. මම සර්ට ඒගැන කිව්වා. එතුමා ඉක්මනට පුහුණුවීම් නවත්තලා එතුමාගේ 5 ශ්‍රී 876 කාර් එකෙන් දොස්තර මහත්තයෙක් ළඟට එක්කගෙන ගියා. මාව බලලා එහෙම මගේ පිටත් දොස්තර මහත්තයා බැලුවා. ඒ බලද්දී තමයි මට පැපොල රෝගය කියලා දැනගත්තේ. මට ඒක දැනගත්තු වෙලාවේදී කෑගහලා හයියෙන් අඬන්න තරම් හිතුණා. සර් මාව ආයෙත් කාර් එකේ දාගත්තා. ඒ එද්දී “දිද්දෙණිය දැන් මොකද කරන්නේ... කණගාටු වෙන්න එපා... අපි මංගල දර්ශනයට වෙන කෙනෙක් දාලා කරන්නම්. ඔයා ගමේ ගිහින් ඉක්මනින් සනීප වෙලා ඊළඟ දර්ශනවලට එන්න... කියලා කිව්වා. ඒ කිව්ව වගේම මට ඒ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනයට රඟපාන්න බැරිවුණාට සනීපවෙලා දිගටම ඒ චරිතය රඟපාන්න පුළුවන් වුණා.

ඊට පස්සේ ඔබ බොහෝ වේදිකා නාට්‍යවල රඟපෑවා නේද...?
ඔව්... මනමේ, සිංහබාහු වගේ දැවැන්ත නිර්මාණවලට මම එකතු වුණා. මනමේ මුලින්ම රාජගුරු වුණා. ඊළඟට මම වැදි රජු වුණා. ඊටත් පස්සේ කුමාර‍යාගේ චරිතයත් මම රඟපෑවා. සිංහබාහු නාට්‍යයේ සිංහයා වුණෙත් මම. ඔහු හැමවෙලේම හිතුවේ හඬ ගැනයි. අවුරුදු විසිහයක් එකදිගට සිංහබාහු නාට්‍යය කළා.

වේදිකාවේ රඟපාපු ඔබ වැඩිදුර ගායනයත් හැදෑරුවාද...?
ඔව්... මම හින්දුස්ථානී සංගීතය ඉගෙන ගත්තා. විශාරද විභාගයත් සමත් වුණා. ඇත්තටම සංගීතය කියන්නේ බොහෝ ඉගෙන ගතයුතු ගැඹුරැ දෙයක්.

ඔබේ පවුලේ විස්තරත් ටිකක් කියමුකෝ...?
රාජකීය විද්‍යාලයේ නව රඟහලශාලාව ඉදිකර මුල්ම වතාවට ඒකේ වේදිකා ගතකළේ සිංහබාහු නාට්‍යයයි. ඒක දවස් හයක් වේදිකාගත කළා. ඉතින් අපි පේරාදෙණිය ඉඳලා කොළඹ ඇවිත් රඟපෑවා. ඒ කාලෙදී ලූෂන් බුලත්සිංහල, නවනන්දන විජේසිංහ අපි එකට හිටියේ. එතකොට මම නුවර සමූපකාරේ දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. ලූෂන් දවසක් හැඩකාර ගැහැනු ළමයෙක්ගේ ෆොටෝ එකක් පෙන්නුවා. ඉතින් සිංහබාහු පෙන්නලා ඉවරවෙලා අපි මේ ගෑනු ළමයා බලන්න ආවා. අපි හඳුනාගෙන අවුරුදු අටකට පස්සේ විවාහ "වුණා... ඇය විනීතා රංජනී හෙට්ටිආරච්චි. ඊට පස්සේ අපිට පුතෙකුයි, දුවෙකුයි ලැබුණා. මනුජ පුතා ඉන්නේ විදෙස් ගත වෙලා. එයාටත් හොඳ හඬක් තියෙනවා. පබසරා දුව ප්‍රසංගයේ වැඩවලට මට ගොඩාක් උදව් කරනවා. දැන් මම සීයා කෙනෙක්.