මගේ වටිනාකමට කැමති අය මාව ගනීවි

ඇය ගැන නිතරම කතා වෙන්නෙ කාලෙන් කාලෙට විවිධ ගොසිප් නිසයි. මේනකා මධුවන්තිට අද අපි කතා කරන්න හිතුවේ ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපට දෙකක් නිසයි. ඒ ගැන තොරතුරු කියන්න මේනකා මෙලෙස සිය හඬ අවදි කළා.

මේ දවස්වල ඔබ ගැන වැඩිපුර කතාවෙනවා?
ඔව්. හෙක්ටර් කුමාරසිරි මහත්මයගේ අනෝරා
චිත්‍රපටය සහ හර්ෂ උඩකන්දගේ කොළඹ සන්නිය කියන චිත්‍රපට දෙක නිසයි කතා වෙන්නේ.

ඇයි සිනමාවට විතරක් රංගනය සීමා කරලා තියෙන්නේ?
එහෙම දෙයක් නැහැ. සිවගුරුනාදන් මහත්මයාගේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා.

ඇයි වැඩියේ ටෙලි නාට්‍යවල දකින්න නොලැබෙන්නේ?
එක වගේ චරිතවලට රංගනයෙන් දායක වෙන්න මම කැමති නැහැ. විවිධ චරිත ලැබුණොත් මම ටෙලි නාට්‍ය වුණත් භාරගන්නවා. සිනමාවේ විවිධ චරිත මට ලැබෙනවා. ඒකයි සිනමාවට වැඩි කැමැත්තක් තියෙන්නේ.

චරිත තෝරා බේරා ගැනීමේදී මේනකාට සීමාවක් තියෙනවාද?
නිළියක් වුණහම ඕනම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රවීණ නිළියෝ ඕනම චරිතයක් රඟපෑවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් වර්තමානයේ එවැනි චරිතයක් කළොත් හරියට මඩ වැදෙනවා. ඒ නිසා නිර්මාණ තෝරා බේරා ගැනීමේදී හොඳට හිතලා බලලයි මම රඟපාන්නේ. හොඳ දෙයක් ලැබුණොත් භාරගන්නවා.

වැඩිහිටියන්ට පමණයි ‍ලේබලය යටතේ චිත්‍රපට ලැබුණොත් භාරගන්නවාද?
ආරාධනා නම් ලැබිලත් නැහැ. එවැනි චිත්‍රපට තිබිය යුතුයි කියලා මම හිතන්නෙ නැහැ. පවු‍ලේ ඕනම කෙනෙක්ට ඒ චිත්‍රපට බලන්න පුළුවන් වෙන්න ඕන.

අනෝරා වැහි චිත්‍රපටයේ ඔබ රංගනයෙන් දායක වෙන්නේ ලිංගික විපර්යාසයකට ලක්වෙච්ච චරිතයක්. කොහොමද ඒ අත්දැකීම?
ඒ අත්දැකීම ලොකු අභියෝගයක් වුණා. ගැහැනු චරිතයක් වගේම පිරිමි චරිතයක් මට නිරූපණය කරන්න වෙනවා. රංගනය වෙනස්. ඒ පිළිබඳ මම ගොඩක් අධ්‍යයනය කරනවා.

නිතර ඔබ දකින්න නොලැබෙන්නේ වටිනාකම අඩුවෙන නිසාද?
ඉස්සර ඉඳන්ම මම කැමති නැහැ නිතරම පෙනී ඉන්න. ආරාධනා කරන උත්සවවලට වුණත් මම යන්නෙ හරිම අඩුවෙන්. නිර්මාණවලට වුණත් මම කැමති නැහැ එක වගේම චරිත සඳහා රංගනයෙන් දායක වෙන්න.

ඔබ රංගනය තෝරගත්තේ විනෝදාංශයක් විදිහටද?
විනෝදයක් විදිහට නම් නොවෙයි. නමුත් අද රංගනය වෘත්තීය කරගන්නත් අමාරුයි. විවේකයෙන් ඉද්දි මම කරන දෙයක් ‍නෙවෙයි.

රංගනයෙන් මේනකාට ලැබුණු වටිනාකම ගැන තෘප්තිමත්ද?
අපි අපිටම වටිනාකමක් නියම කරගන්න ඕන. මම, මට වටිනාකමක් පනවගෙන ඉන්නේ. ඒ වටිනාකම ලැබෙන්නෙ නැත්නම් මම වැඩ භාරගන්නෙ නැහැ. සමහර මිනිස්සු හිතන්නේ එහෙම කරන්නෙ ලොකුකමට කියලා. ඒ වටිනාකම නැත්නම් අපෙන් ගන්න දේට අගයක් ලැබෙන්නෙ නැහැ. මගේ වටිනාකමට කැමති අය ඒ අයගේ නිර්මාණවලට මාව ගනීවි.

කොහොමද ව්‍යාපාර කටයුතු?
හොඳින් කරගෙන යනවා. තව අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ ගැන විස්තර පස්සෙ කියන්නම්.

රූපය පවත්වාගෙන යන්න මේනකා අත දිගඇරලා වියදම් කරනවා කියන්නෙ ඇත්තද?
සාමාන්‍ය කෙනෙක් වගේම නිළියක් අතර ලොකු වෙනසක් තියෙනවා. මමත් සාමාන්‍ය කෙනෙක් විදිහට හිටිය නම් මිනිස්සුන්ගේ ආකර්ෂණක් ලැබෙන්නේ නැහැ. මම අඳින පලඳින විදිහ පවා මම ගොඩක් හිතනවා. අපේ රූපය පවතිනකම් විතරයි මේ ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම රූපය වෙනුවෙන් වියදම් කරනවා.

විලාසිතාවලට තියෙන කැමැත්ත මොන වගේද?
මම එන හැම විලාසිතාවක්ම කරන කෙනෙක් ‍නෙවෙයි. ඒ හැමදේම මට ගැළපෙන්නෙ නැහැ. හරි, කැමති දෙයක් තමයි ලස්සනට අඳින්නෙ.

නර්තනයෙන් ඉවත්වෙලාද?
එහෙම නම් නැහැ. ආරාධනා ලැබෙන විදිහට තමයි මම භාරගන්නේ.

තිළිණි කරුණාරත්න