"මම වටපිට බලල මොකක්‌ද අනේ කිව්වම එයා හරි අමාරුවෙන් මට මාලනී කියල කතා කරනවා..." - නිළි රැජිණ අතීතය සිහිකරයි

මෙරට සිංහල සිනමාවේ නිළි රැජිණ වෙන්න තරම්ම ඇය වාසනාවන්ත වුණා. බොහෝ සිනමා පිටපත්වල ඒ රූපයට ඉඩක් වෙන් වුණේ රූපයේ ලස්සන විතරක් තිබුණු නිසා නෙමෙයි රංගනයේ දක්ෂතාවයත් ඇය තුල තිබුණු නිසයි. මාලනී ෆොන්සේකා නම් වූ ඇය හැට හැත්තෑව දශකවල සිනමා තිරයේ හිටපු ලස්සනම හා අහිංසකම පෙම්වතියයි. ඒ පෙම්වතියගේ ගැටිස්සි කාලේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා.

මං ගැටිස්‌සි කාලෙ

ඇත්තටම මං තරුණ කාලෙ හරිම දඟකාර වගේම ස්‌වාධීන විදියට හිතපු ඒ විදියට වැඩ කරපු කෙනෙක්‌. හැබැයි කොයිම වෙලාවකවත් කාටවත් හිරිහැරයක්‌ කරදරයක්‌ නොවී ඉන්න තමයි උත්සාහ කළේ. මගේ තරුණ කාලෙ මං දිහා ගොඩදෙනෙක්‌ බලාගෙන හිටිය කියල මම දන්නව. ඒ ඇස්‌ ගැනත් හරිම පරෙස්‌සමෙන් ඒව වැටකඩොලු කියල හිතන්නෙ නැතුව තරුණ අවධිය මේ විදියට ගෙවන්න ඕන කියල මටම හදාගත්තු රාමුවක්‌ ඇතුලෙ කාලෙ ගෙව්වා.

පාසල
කැලණිය ගුරුකුල මහා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපන ලැබුවෙ. ගුරුකුලය කියන්නෙ පන්සලක්‌ වගේ පිරිසිදු පූජනීය ස්‌ථානයක්‌. අධ්‍යාපන කටයුතුවල හොඳින් නියෑළුණා. ඒත් බාහිර වැඩට තමයි වැඩිපුර දක්‍ෂකම් දැක්‌වුවේ. ඒකෙනුත් පාසල් වේදිකාව අංක එකේ. මම නැති නාට්‍යයක්‌ නැටුමක්‌ පාසලේ විවිධ ප්‍රසංගවල නැති තරම්.

කරපු කියපුව
අවුරුදු 13-14 වෙද්දී නවකතා පොත් කියවන්න පෙළඹුනා. මගේ මිතුරියක්‌ හිටියා චන්ද්‍ර කියල. පොත් කියවල දෙන්නට දෙන්න ඒ පොත්වල තියෙන චරිත ගැන කථා වෙනව. වැඩි තේරුමක්‌ නැති වුණත් මම නිතරම හිතපු දෙයක්‌ තමයි අනේ මං ගැනත් කවුරු හරි පොතක්‌ ලියනවනම් කියලා. පිට රට යන්න ලොකු හීනයක්‌ ඒ දවස්‌වල හිතේ තිබුණා. මමයි චන්ද්‍රයි කථාවෙනව අපි ලොකු වුණාම රටවල් වල ඇවිදින්න යමු කියල.

යාළුවෝ
චන්ද්‍ර, දමයන්ති, පුෂ්පා, කසුම් පීරිස්‌ තමයි මම ළඟින්ම ආශ්‍රය කළේ. මගේ පාසල මිශ්‍ර පාසලක්‌. ඉතින් අපිට පිරිමි යාළුවොත් ගොඩක්‌ හිටිය. ගෙදරත් අයියල එක්‌ක ඉඳල මට පිරිමි ළමයිගෙ ආශ්‍රය ටිකක්‌ වැඩිපුර තිබුණා. ඒ කාලෙ අපි හරි සමගියෙන් සහයෝගයෙන් යාළුවො ආශ්‍රය කළේ. ඒ ගොඩක්‌ යාළුවො අදටත් හමුවෙනවා. කොල්ලො ගොඩක්‌ මට කතාකළේ ෆොන්සේක කියලා. කොහොමද මචං ෆොන්සේකා කියල අහනව දැක්‌ක තැන.

පටබැඳුනු නම්
අම්ම තමයි මුලින්ම මට නමක්‌ පටබැඳගෙන තිබුණෙ. ඒ නෝන කියල. නෝන කියල ගෙදරදි කථාකරාට පිට තැනකදී එහෙම කියනවට මම අකමැතියි ඒ කාලෙ සමහර දවසට අම්ම එක්‌ක ෂූටිං ගියාමත් අම්ම මට නෝන කියනව පුරුද්දට. මම වටපිට බලල මොකක්‌ද අනේ කිව්වම අම්ම හරි අමාරුවෙන් මට මාලනී කියල කතා කරනවා. ලොකු අයිය මාව කේන්ති ගස්‌සන්න එක එක නම් දානව. මම වසයි කියල කුවේනි කියලත් එයා මට කතා කරනවා.

කල්ලි ගැහුනු තැන්
විශේෂයෙන් කියල යාළුවො එක්‌ක කල්ලි ගැහෙන්න අවස්‌ථාව ලැබිලම නෑ. කලාතුරකින් යාළුවන්ගෙ ගෙවල්වල යනව. එයාල අපේ ගෙදර එනව එච්චරයි. ඔය අතරෙ ස්‌කූල් කට්‌ කරා කියන ජොලිය තියෙන එකම දවසක්‌ තියෙනවා. එදා මම තව යාළුවො දෙතුන් දෙනෙක්‌ එක්‌ක උස්‌වැටකෙයියාව බීච් එකට ගියා. යද්දි ළමයි කට්‌ටියක්‌ එල්ලෙ ගහනව. ඉතින් අපිත් ඒ අයට එකතුවෙලා එල්ලෙ ගහලා අපි ගෙනිච්ච කෑම බෙදාගෙන කාල ආවේ පුදුම සතුටකින්.

විනෝදාංශ
ඉස්‌කෝලෙ යන කාලෙ තිබුණ ලොකුම විනෝදාංශය තමයි පොත් කියවන එක නවකතා කෙටි කතා පරිවර්තන කෘති හොය හොයා කියෙව්වා. අධ්‍යාපන කටයුතු අතරෙ නවකතා පොත් හංගගෙන කියවන එක ඇත්තටම ලොකු විනෝදාංශයක්‌ වෙලා තිබුණා. පොතක්‌ ලැබුණාම ඒක එක හුස්‌මට කියවල ඉවර කරනව.

ගුරුවරු
මට ගොඩක්‌ හොඳ ගුරුවරු හිටියා. මුලින්ම මම ගුරුකුලයට ඇතුළු වුණාම තිලකරත්න ටීචර් තමයි අඳුරගන්න ලැබුණෙ. ඇය තමයි පාසලේ විවිධ ප්‍රසංගයක්‌ වෙලාවෙදී ප්‍රිටී මේඩ් කියන ඉංග්‍රීසි නාට්‍යයට මාව තෝරගත්තෙ. ඒකෙ පොයම් එකකට අනුව මම රඟදැක්‌වූවා. ඒ අතර මට උගන්වපු ගුරු හාමුදුරුවරු දෙනමක්‌ වන කාක්‌කපල්ලියේ අනුරුද්ධ, කුඹුරුගමුවේ වජිර කියන ස්‌වාමීන් වහන්සේලා ගෞරවයෙන් සිහිපත් කරනවා.

කරපු දඟ වැඩ
ඒවනම් ඉතින් පොතක්‌ ලියන්න තරම් මතක්‌ කරන්න පුළුවන්. ඉස්‌කෝලෙදි දවසකට සැරයක්‌වත් මම ගහගන්නව. හැබැයි ඒ ගෑනු ළමයි එක්‌ක නෙමෙයි. කොල්ලොත් එක්‌ක. මොකද ඒ කාලෙ වෙනකවුරු හරි මගේ ඩෙස්‌ක්‌ එසේ වාඩි වෙනවට මම කැමති නෑ. ඒක දන්න නිසා පිරිමි ළමයි මාව කේන්ති ගස්‌සන්න මගේ ඩෙස්‌ක්‌ එසේ වාඩිවෙනවා. මම කොල්ලන්ට ඒ කාලෙ ගහන්න උස්‌සන්නෙම පුටුව තමයි.

දෙමවුපියෝ
අපේ පවුලෙ අපි ඔක්‌කොම එකොළොස්‌ දෙනෙක්‌නෙ. අම්මයි තාත්තයි ගොඩක්‌ මහන්සි වුණා. අපිව මේ තත්ත්වයට ගේන්න. මොන නැතිබැරිකම් තිබුණත් අපිට අඩුපාඩුවක්‌ කළේ නෑ. ඉස්‌කෝලෙට අවශ්‍ය පොත් පත් ඇඳුම් සපත්තු කොහොමහරි සපයල දුන්නා. තාත්ත තමයි ගොඩක්‌ වෙලාවට ඉංග්‍රීසි පාඩම් කියල දුන්නෙ. තද නීති දාල දඬුවම් දිදී අපිව හැදුවෙ නෑ. අපිට පහසු විදියට ඉගෙන ගන්න ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය හදල දුන්න.

අහලපහල අය
කැලණිය වෙදමුල්ල ප්‍රදේශවල වල ගොඩදෙනෙක්‌ අතර මම ජනප්‍රිය චරිතයක්‌. සමහරු අම්මට ඇවිත් මා ගැන හොඳ කියනව. තවත් සමහරු රංගන ශිල්පිනියක්‌ වෙන එක ඒ කාලෙ බොහොම භයානක දෙයක්‌ විදියට හිතල කතා කරා. දිරිමත් කරපු සහයෝගය දීපු අයත් මේ අතරෙ ඉන්නවා. එහෙම බලනකොට හොඳ - නරක දෙකම දැකපු අය ඉන්නවා. ඒත් වැඩිපුර ඉන්නෙ හොඳ දැකපු සහ හොඳ කතා කරපු අය. මොනව වුණත් මම ඔය දෙපිරිසටම එදාවගේ අදත් අද වගේ හෙටත් එකවගේම ආදරෙයි.

ධම්මික හේවාවසම්