ජීවිතේ අලුත් වෙනසට කලින් මධුමාධව සියලු රහස් හෙළි කිරීමට සැරසෙයි

මධුමාධව අරවින්ද කවදත් කතාබහට ලක්වෙන දෙයක් කරන කලාකරුවෙක්. ළඟදීම ඔහු තවත් ආන්දෝලනාත්මක වැඩකින් කරළියට එන්නයි සූදානම් වෙන්නේ. ඒ කියන්නේ ජුනි මස 10 වැනිදා හවස 6.30ට කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී මධුමාධව ‍පොතක් එළිදක්වන්නයි සූදානම් වෙන්නේ. දැන් ඔබ හිතයි ‍පොතක් එළි දැක්වීම ආන්දෝලනාත්මක කටයුත්තක් වෙන්නේ කොහොමද කියලා. හැමෝම තමන්ගේ “කුණු” සුදු රෙදිවලින් වහගෙන අනිත් අයට ඇඟිලි දික් කරද්දී “මධු” තමන්ගේ ‍පොතින් තමන්ගේ ජීවිතය ගැන
කවුරුත් නොදන්න බොහෝ දේ කතාබහ කරනවා. ‍පොත නම්කරලා තියෙන්නේ “මම ඇත්තක්” කියලා.
ඒ ගැන වැඩිදුර තොරතුරු අපි මධුගෙන්ම අහලා බලන්න තීරණය කළා.

“මම ඇත්තක්” තුළින් මධුමාධව හෙළිකරන ඇත්ත මොකක්ද? 
අපි හැමෝම සුදු රෙදි ඇඳගෙන ලෝකෙට පෙන්නන්නේ වෙනත් මුහුණක්. ඒත් අපේ ඇත්තම ඇත්ත ඊට වෙනස්. ඒ වුණත් ලෝකේ කිසිම කෙනෙක් තමන්ගේ ඇත්තම ඇත්ත ලෝකෙට හෙළිදරව් කරන්නෙත් නැහැ. මම හිතුවා මගේ ඇත්තම ඇත්ත මේ ලෝකෙටම කියන්න. ඒ ඇත්ත තමයි “මම ඇත්තක්” කියලා එළි දක්වන්නේ.

ඒ ඇත්ත ලෝකය කොයි විදිහට පිළිගනීවිද ?
මේ ‍පොත කියවන අය මට බණියි. ඒක මම දන්නවා. ඒත් මේ ‍පොත ජනගත කළාට පස්සේ මගේ හෘද සාක්ෂිය මට ලොකු සතුටක් ලබාදේවි.

අපි හැමෝගේම අතිශය පෞද්ගලික කාරණා ඇතැම් විට තව කාගේ හෝ අතිශය පෞද්ගලික කාරණා සමග බැඳී තිබෙන්නට පුළුවන්. ඔබ හෙළිකරන ඔබේ පෞද්ගලිකත්වය තවත් කෙනෙකුට විශාල ප්‍රශ්නයක් වෙන්න බැරිද ?
ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මම මගේ හෘද සාක්ෂියට එකඟව ලෝකෙටම පෙනෙන්න මට ඇඟිල්ල දිගු කළාට ඉන් වන සමාජ බලපෑම් වෙනත් කාට හෝ එල්ල විය යුතු නැහැ. ඒ හින්දා මම හෙළි කරන “මගේ ඇත්ත” කතා තුළ සිටින අනෙක් චරිතවල ඇත්ත මම හෙළි කරන්නේ නැහැ.

එහෙම වුණාම එය අසම්පූර්ණ කතාවක් වෙනවනේ. එතකොට ඒකට ‘ඇත්ත” කියන වචනය යොදන්නේ කොහොමද? 
අදාළ කෙනාගේ නම හා අනන්‍යතාවය විතරයි වසන් කරන්නේ. අදාළ කතාව හා සිදුවීම් මම වසන් කරලා නැහැ.

ඔබේ විවාහයන් තුළ ඇති වූ අර්බුධත් මේ ‍පොතට ඇතුළත්ද?
ඔව්

ඔබේ විවාහය හා එය බිඳ වැටීම මේ රටේ අය නොදන්නා කතාවක් නොවෙයි. එහිදී ඇයගේ නම සඳහන් නොකර හෙළිදරව් කරන කරුණු පවා ඇයට හා ඔබේ දියණියට බලපාන්න පුළුවන්.
කවර හෝ විවාහයක් බිඳී ගිය පසු දෙපාර්ශ්වයම කරන්නේ එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමනේ. ඇති වූ අර්බුදයට තමා වගකිව යුතු තරම කිසිකෙනෙක් කතා කරන්නේ නැහැ. “මම ඇත්තක්” තුළින් මම කතා කරන්නේ විවාහය බිඳ වැටීමට මගේ වැරදි බලපෑ ආකාරයයි. ඇයටවත් දියණියටවත් ඉන් හානියක් වන්නේ නැහැ.

විවාහය බිඳ වැටීමට සම්පූර්ණ වැරදිකරුවා ඔබ කියන තැනද “මධු” අද ඉන්නේ ? 
ඇගේ එකම වරදයි මා මෙහිදී මතු කරන්නේ. ඒ ඇය මාව අසීමිත ලෙස සැක කිරීම.

පොත එළිදැක්වූ පසු ඒ ගැන තවත් බොහෝ දේ කතා කරන්නට ඉතිරි වේවි. එදින ‍පොත සමග ඔබ ගීතයකුත් එළිදක්වනවා නේද?
මාධව හේවාවසම් රචනා කොට සංගීතවත් කළ “දුරස්වෙලා පසුතැවෙන” ගීතය එදා මම එළිදක්වනවා. මගේ අධ්‍යක්ෂණය යටතේ කලාකරුවන් රැසක් ඊට රංගනයෙන් දායක වෙනවා. මගේ ගීතයක් වසර 10කට පසුවයි ජනගත කෙරෙන්නේ. ඒ වගේම ‍පොතේ කවරය නිර්මාණය කළ ලංකා චාමරටත් විශේෂ ස්තුතිය පුදකරනවා.

මේ ගීතයත් ඔබේ ජීවිතයට සම්බන්ධද?
මාධව කියන්නේ අතුල හා සමිතාට “ඉවසයිද මන්දා” ගීතය වැනි ජනප්‍රිය ගීත නිර්මාණය කළ අයෙක්. ඔහු මේ ගීතය නිර්මාණය කරලා මට දුන්නා හොඳද බලන්න කියලා. ඒ ගීතය මටම නිර්මාණය කළ එකක්ද කියලා මට ඒ වෙලාවේ හිතුණා.

ජීවිතය විවෘතව ලොවට කියන මධුමාධව අරවින්දගේ අද දවස ගෙවී යන්නේ හුදකලාවෙන් නේද? 
අරවින්ද යායේ මල් දෙකක් පිපුණා. ඒ මල් දෙකම පරවී ගියේ නැහැ. ඒ මතක සුවඳට මම වන්දනා මාන කරනවා. ඒත් ඒ මල් දැන් දුරස්වෙලා ඉවරයි.

හෙට දවසේ අරවින්ද යායේ තුන්වැනි මලක් පිපේවිද?
ඔව්, ලබන වසරේ විතර. ඒ පිපෙන මල හැමදාම මා ළඟ තියේවි කියලා මම විශ්වාස කරනවා.

ආරියවංශ කුලතිලක