සමහරුන්ගෙන් නවකයන්ට ලැබෙන දායකත්වය අඩුයි

ලක්මාලි මලදුගල කියන්නේ මේ වනවිට ලංකාව පමණක් නොව ජාත්‍යයන්තරයද ජයග්‍රහණය කළ නිරූපණ ශිල්පිනියක්. ලක්මාලි ලංකාවේ ෆැෂන් ඉන්ඩ්‍රස්ටි එකේ ඉහළින්ම වැජඹෙන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. ඉතින් ලක්මාලිව අපි මෙවර  කතාබහට සම්බන්ධ කරගන්න හිතුවා.

ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

මම ලක්මාලි මලදුගල. මම ෆැෂන් ඉන්ඩ්‍රස්ටි එකේ
තමයි ඉන්නේ. මම මේ ෆීල්ඩ් එකට ආවේ 2015 මිසිස් ශ්‍රී ලංකා පැජන්ට් එක හරහා. ඒකේදි මට ජයග්‍රහණය කරන්න ලැබුණේ මිස් ෆොටෝජෙනික් කියන ඉසව්ව විතරයි. ඊටපස්සේ මම ටී. වී. කමර්ෂල්, ෆොටෝ ෂූට් කළා. ඊට අවුරුද්දකට විතර පස්සේ මම මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් වර්ල්ඩ් කියන පැජන්ට් එකට සහභාගී වුණා. ඒකෙන් මම මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් කියන ටයිට්ල් එක ජයග්‍රහණය කළා. ලංකාව නියෝජනය කරමින් මැලේසියාවට ගිහිල්ලා මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් ambe julea කියන ටයිට්ල් එක ජයග්‍රහණය කළා. ඒකෙන් පස්සේ තමයි මම ලංකාවේ ෆැෂන් ඉන්ඩ්‍රස්ටි එකේ හරියටම වැඩ කරන්න පටන් ගත්තේ. ලොකු කාලයක් නැහැ මම ෆීල්ඩ් එකට ඇවිල්ලා.

ඔබ දායක වුණු ටී.වී. කමර්ෂල් ගැන කිව්වොත්?

මම වැඩියෙන්ම දායක වෙලා තියෙන්නේ බැංකු ක්‍ෂේත්‍රයේ කමර්ෂල්වලට. ඒක මම කළේ පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට. මම වැඩිපුරම සම්බන්ධ වෙලා තියෙන්නේ ෆැෂන් ඉන්ඩ්‍රස්ටී එකත් එක්ක. එතකොට ලංකාවේ තියෙන හොඳ බ්‍රෑන්ඩ් කිහිපයක් එක්ක වැඩ කළා. C. I. B, හමීඩියා, ඒ වගේ හොඳ බ්‍රෑන්ඩ් කිහිපයක වැඩ කළා.

ක්‍ෂේත්‍රයේ නවකයන්ට තිබෙන තැන කොහොමද?

මමත් මේ ෆීල්ඩ් එකට අලුත්. මමත් තවම වැඩ කරන්න පටන් අරන් ටික කාලයයි. මම මේ වැඩ කරපු ටික කාලයට මට හොඳ දේවල් ලැබුණා. මාව ගොඩක් ඉස්සරහට ගෙනාවා. හැබැයි අපිට ලැබුණට වඩා ගොඩක් දේවල් අපිට පස්සේ ආපු අයට තියෙනවා. දැන් ගොඩක් බියුටි පැජන්ට් තියෙනවා. ඒ හරහා ඕනෑම කෙනෙක්ට මේ ක්‍ෂේත්‍රයට යොමු වෙන්න පුළුවන්. හැබැයි එතැනදි පොඩි ගුණාත්මකභාවයේ ගැටලුවක් තියෙනවා. නමුත් එතැනදි තමන් දැනගන්න ඕනේ ෆීල්ඩ් එකේ නමක් හදාගන්න කටයුතු කරගන්න.

අද වෙද්දී බියුටි පැජන්ට් වැහි වැහැලා. මේක ක්‍ෂේත්‍රයට බලපාන්නේ කොහොමද?

සමහරු නම් කියනවා බියුටි පැජන්ට් ගොඩක් තියෙන එක හානියක් කියලා. හැබැයි මම නම් එහෙම හිතන්නේ නැහැ. මම ආවෙත් බියුටි පැජන්ට් එකකින්. අද බියුටි පැජන්ට් ගොඩක් තිබුණත් ඒවායෙන් එන අයගේ රඳා පැවතීම අඩුයි. තමන් තමන්ගේම අනන්‍යතාවක් ගොඩ නගාගන්න ඕනේ. එතකොට තමයි තමන්ගේ පැවැත්ම රඳාපවතින්නේ. බියුටි පැජන්ට් සීයක් තිබිලත් ඒකෙන් දාහක් ක්‍ෂේත්‍රයට ආවත් එයාලගේ පැවැත්ම හදාගන්න පුළුවන් එයාලටම විතරයි. අනිත් එක පැජන්ට් ගොඩක් තිබුණම එයාලට හොඳ අත්දැකීමක්, එතකොට එයාලා අතරේ තරගකාරීත්වයක් ගොඩනැගෙනවා. ඒක හොඳයි එයාලට දියුණු වෙන්න.

බියුටි පැජන්ට් එකකින් දිනන්න රූපය විතරක් ප්‍රමාණවත්ද?

නැහැ. රූපය විතරක් තිබිලා මදි. අපේ ගොඩක් අය හිතනවා ලස්සන තිබුණම ඇති කියලා. නමුත් ලස්සන විතරක් මදි. හැකියාව, දක්ෂතාව මේ හැමදේම තියෙන්න ඕනේ. දැන් සමහරු කියනවා සල්ලිවලින් දිනනවා කියලා. ඒකෙත් සත්‍යයක් තියෙනවා. සල්ලි, පෙනුම කියන දේවල් කොච්චර තිබුණත් වැඩක් නැහැ හැකියාව නැත්නම්. මම විශ්වාස කරන විදිහට කෙනෙක්ට හැකියාව සහ වාසනාව තියෙන්න ඕනේ ඉදිරියට යන්න.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහාය කොහොමද?

සමහරුන්ගෙන් ලැබෙන දායකත්වය අඩුයි නවකයන්ට. ඒත් ගොඩක් අය නවකයන්ට උදව් කරනවා. මාව මේ ෆීල්ඩ් එකට ගෙනාවේ ලංකාවේ ඉන්න ප්‍රවීණ මෙන්ම දක්ෂයෝ. මට හැම අතින්ම උදව් කළේ, මට කස්ටියුම් දුන්නේ, මගේ වැරදි පෙන්නලා දුන්නේ ප්‍රවීණයෝ. මට එහෙම ප්‍රවීණයන්ට මුකුත් කියන්න බැහැ. අපි වුණත් කැමති උදව් කරන්න. ඒත් අද ඉන්න නවකයන් ප්‍රවීණයන්ගෙන් උදව් ගන්න දන්නේ නැහැ. ප්‍රවීණයොත් කැමති උදව් කරන්න. මට ප්‍රවීණයෝ උදව් කළා. ඒකයි මම මෙච්චර දුර ආවේ.

ලක්මාලිට ගෙදරින් ලැබෙන සහාය කොහොමද?

මගේ පවුල් පසුබිම කලාවටවත් ෆැෂන් ඉන්ඩ්‍රස්ටි එකටවත් සම්බන්ධ නැහැ. කොහොමහරි මම මුලින්ම මේ ක්‍ෂේත්‍රයට අඩිය තියද්දී ගෙදරින් පොඩි අකමැත්තක් තිබුණා. නමුත් මම 2015දී ජයග්‍රහණය කළාට පස්සේ එයාලා දැනගත්තා මට යම් හැකියාවක් තියෙනවා කියලා. හැමවෙලාවෙම මට උපදෙස් දෙනවා හොඳ දේවල් ගැන. මම කොහොමත් හැමදේම බාර ගන්නේ නැහැ. මගේ අනන්‍යතාවට ගැළපෙන දේවල් තමයි බාරගන්නේ.

ලක්මාලිගේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මම දැනට ඉන්නේ ලංකාවේ ෆැෂන් ඉන්ඩ්‍රස්ටි එකේ. නමුත් ඉදිරියේදි මම ක්‍ෂේත්‍රය පොඩ්ඩක් වෙනස් කරගන්න බලාපොරොත්තු වෙනවා. සිනමාව පැත්තට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා. දැනටමත් මට ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. ඒකෙනුත් මම ආසම අධ්‍යක්ෂවරුන්ගේ යටතේ තමයි දායක වෙන්න අදහස් කරගෙන ඉන්නේ. මොකද මේ පොඩි කාලෙට වුණත් මම ගොඩනගාගත්තු නම දියුණු කරගන්න මිසක් ඒක නැති කරගන්න වැඩ කරන්නේ නැහැ.

ඒ කියන්නේ රංගනයට එක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා?

ඔව් අනිවාර්යයෙන්ම.

අවසන් වශයෙන් කිව්වොත් මේ ගමනට උදව් කරපු පිරිස ගැන?

මුලින්ම මතක් කරන්න ඕනේ රොසෑන් ඩයස් මහත්මිය, ඊටපස්සේ මයිකල් විජේසූරිය, බ්‍රයන් ක්‍රෙකවන් කියන ප්‍රවීණයන්වත් මතක් කරන්න ඕනේ. ඊට අමතරව මගේ පවුලේ අයත් මට ගොඩක් උදව් කළා මෙතනට එන්න.

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද