කොටහේනේ නිවසක මෙහෙකාරියගේ ගෙල කපලා පඩිපෙළ දිගේ ඇදගෙන ගිහින්

කොටහේන - නව හෙට්‌ටි වීදිය මහල් නිවසක්‌ තුළ ගෙල කපා මරාදමා ගලකින්ද හිසට පහරදී තිබූ ගෘහ සේවිකාවකගේ මළ සිරුරක්‌ පසුගියදා (19) රාත්‍රී සොයාගත් බව කොටහේන පොලිසිය පවසනවා.

 මෙම කාන්තාව පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ සේවයේ යෙදී සිට ඇති අතර, අදාළ ව්‍යාපාරිකයා ව්‍යාපාරික ස්‌ථානයේ වැඩකටයුතු නිමවා නිවසට ඇවිත් බැලීමේදී සිව්වැනි
මහලේ මරාදමා තිබූ සිය ගෘහ සේවිකාවගේ මළ සිරුර දැක ඇත. අනතුරුව ඔහු මේ ගැන පොලිසියට කළ දැනුම්දීමකට අනුව පොලිසිය එහි පැමිණ පරීක්ෂණ අරඹා තිබේ.

මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ යාපනයේ සිට කොටහේන ප්‍රදේශයේ ගෘහ සේවයට පැමිණි ගුණරත්නම් විජිතා (35) නමැති සිව්දරු මාතාවක්.

නිවස හිමි ව්‍යාපාරිකයා පිටකොටුව, දෙවැනි හරස්‌ වීදියේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන යන අයෙක් වනවා.

යාපනයේ සිට කොළඹට පැමිණි කාන්තාවන් කීපදෙනකු විසින් මැය ඝාතනය කරන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය පවසනවා.

මෙම ඝාතනය සිදුවන අවස්‌ථාවේ නිවසේ කිසිවෙකුත් සිට නැහැ. ඇය මුළුතැන්ගෙය තුළ රැඳී කිසියම් කාර්යයක නිරතව සිටියදී රහසිගතව නිවසට ඇතුල්වී ඇති කාන්තාවන් කීපදෙනා ඇයව අල්ලා ඇගේ ගෙල කපා පලායන්නට ඇතැයි පොලිසිය සැකකරනවා.

එලෙස ඝාතනය කරන ලද එම කාන්තාව අදාළ කාන්තාවගේ නිසල සිරුරර පඩි පෙළ දිගේ ඇදගෙන ගොස්‌ සිව්වැනි මහලේ දමා යන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය පවසනවා.

අදාළ නිවසේ පඩිපෙළ දිගේ ලේ පැල්ලම් තිබූ බවද හෙළිවී තිබෙනවා.

ඝාතනයට ලක්‌වූ කාන්තාව ඥාති හිතවතියක්‌ සමඟ පැවැති ඉඩම් ආරවුලකට පළිගැනීමක්‌ ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

ඝාතනයට සම්බන්ධ සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක්‌ අරඹා ඇත.