කොණ්‌ඩය කැපුවේ නැතැයි කියා බීමත් පියා පුතුගේ කොණ්ඩය මස් ගැලවී එනතුරු පිහියකින් සූරලා - පිය සෙනෙහස උතුරා ගිය දරුවෙකු කළ දේ

බළන්ගොඩ බොල්තුඹේ ප්‍රදේශයේ නිවසක පාසල් දරුවකුගේ හිස පිහියකින් සූරා කෙස්‌ ගලවා තුවාල සිදු කළ පියෙකු පිළිබඳව පුවතක් වාර්තාවෙයි.

මෙම පිරිමි දරුවාගේ වයස අවුරුදු 14 ක්‌ පමණ වේ. ඉකුත් 24 දා සවස බීමත්ව නිවසට පැමිණි පියා කොණ්‌ඩය කැපුවේ නැත්තේ ඇයි දැයි අසා පුතුට තර්ජනය කර ඇත. මෙහිදී පුතා පවසා ඇත්තේ කොණ්‌ඩය කපලා සතියක්‌වත් නැහැ කියායි. මෙහිදී මෙම නරුම පියා පිහියක්‌ ගෙනැවිත් පුතුගේ හිස්‌
මුදුනේ සිට කෙස්‌ සමඟ සම ගැලවී එනතුරු සූරා ඇත.

පසුදින (25දා) පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයකින් ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි අවස්‌ථාවේදී මෙම දරුවා හමුවී තිබේ.

තුවාලවලට බෙහෙත් දැමීමට හිසේ කෙස්‌ ඉවත් කරද්දී හම සමඟ මස්‌ ගැලවී එන වේදනාව ඉවසා ගත නොහැකිව සිටි දරුවා පවසා ඇත්තේ රජයේ රෝහලට ගියොත් තාත්තාට විරුද්ධව පොලිසියේ පැමිණිලි කරාවි යන සැකය නිසා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයකට පැමිණි බවයි.

කොණ්‌ඩය කැපීමට තරම් වැවී නොතිබූ බව පියාට අවබෝධ වී නැත්තේ බීමත්ව සිටි නිසාය. පියෙකුට දරු සෙනෙහස මත්පැන් පානය කළ පසු අමතක වුවත් මෙම බාල වයස්‌ දරුවාගේ හදවත පිය සෙනෙහසින් නැහැවී තිබෙන ආකාරය ගැන එහි සිටි වෛද්‍යවරයා අසළ සිටි අයට පෙන්වා දී තිබේ.