මීට කලින් සුළු සුළු චරිත රඟපාලා තියෙනවා

මෑත කාලයේ සංගීත ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්වූ සංගීතවේදීන් අතර දිනේෂ් සුබසිංහත් පෙරමුණේ ඉන්නවා. චිත්‍රපට 10කට සහ ටෙලි නාට්‍යය 80කට පමණ ඔහු මේ වනවිටත් සංගීතය නිර්මාණය කොට තිබෙනවා. සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට නමක් දිනූ දිනේෂ් දැන් නළුකමටත් එකතු වෙලා. මේ දිනවල සතියේ දින පහේම රාත්‍රී 7.30ට සිරස ටී.වී. ඔස්සේ විකාශය වන “දංකුඩ බණ්ඩා” ටෙලි නාට්‍යයෙන් තමයි දිනේෂ්ව අපට
රංගන ශිල්පියෙකු විදියට හමු වන්නේ.

දිනේෂ්ට හිටි හැටියේම රඟපාන්න හිතුනේ ඇයි? 

මම මීට කලිනුත් සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපටවල අතිරේක දර්ශනවලට පෙනී ඉඳලා තියෙනවා. හැබැයි ඒවා අහම්බෙන් සිදුවූ දේවල්. ඒත් මම හා හා පුරා චරිතයක් වශයෙන් රඟපෑමට එකතු වුණේ “දංකුඩ බණ්ඩා” ටෙලි නාට්‍යයේ “තා‍ලේ මාස්ටර්” ගේ චරිතයටයි. ‘දංකුඩ බණ්ඩා’ ටෙලි නාට්‍යයේ සංගීතය අධ්‍යක්ෂණය කළේත් මමයි. මේ චරිතය සංගීතයත් එක්ක යන චරිතයක් හින්දා තමයි මට මේ චරිතය රඟපාන්න ආරාධනාවක් ලැබුණේ. ප්‍රියන්ත සමරකෝන් හා නිශාන්ත වීරසිංහ තමයි ඒ ආරාධනාව මට කළේ. මමත් ඒ ආරාධනාව කැමැත්තෙන් භාර ගත්තා.

තා‍ලේ මාස්ටර් මොනවගේ චරිතයක්ද? 
ඇත්තටම කියනවා නම් ඔහුගේ ඇත්ත නම “තා‍ලේ මාස්ටර්” නොවෙයි. ඔහු “දංකුඩ බණ්ඩා”ව හොයාගෙන ව්‍යාජ නමකිනුයි එන්නේ. ඒ චරිතය ගැන වැඩි විස්තර කියන්න ගියොත් කථාවේ කුතුහලයට හානියක් වෙනවා. ඒ හින්දා ටෙලි නාට්‍යය නරඹලාම තා‍ලේ මාස්ටර් ගැන වැඩි විස්තර දැනගන්න කියලා මම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.

රඟපෑම ඔබට මොන වගේ අත්දැකීමක්ද? 
ප්‍රියන්තයි, නිශාන්තයි දෙන්නා මගේ රඟපෑම ගැන සෑහීමට පත් වෙනවා. ප්‍රේක්ෂකයින්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මට ලැබුණු වගකීම උපරිමයෙන් ඉටු කරන්න තමයි මම හැමවෙලාවෙම වෙහෙසෙන්නේ.

දිනේෂ් දැන් දිගටම නළුකමේ රැඳිලා ඉන්නද කල්පනාව ? 
එහෙමම කියන්නත් බැහැ. ආරාධනාවක් ලැබුණම ඒ චරිතය මට ගැළපෙනවද කියලා බලලා හොඳ නම් ඊට සම්බන්ධ වෙනවා.

“දංකුඩ බණ්ඩා”ගෙන් පසුව තවත් නිර්මාණ සඳහා රඟපෑමට ආරාධනාවක් ලැබුණද? 
“දංකුඩ බණ්ඩා” කරන්නේ “ONE PLUS” ආයතනය විසින්. එම ආයතනයේම තවත් නිර්මාණයකට දැනට ආරාධනා ලැබිලා තියෙනවා. බලමුකෝ තව ඉස්සරහට නේද?

මේ වනවිට සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට පැමිණි ගමන් මග ගැන මොකද හිතෙන්නේ ?
ගොඩක් සතුටුයි. කෙටි කලක් තුළ ටෙලි නාට්‍ය 80ක පමණ මම සංගීත අධ්‍යක්ෂණය කළා. ඒ අතර චිත්‍රපට 10කුත් තියෙනවා. සම්මාන 12ක් මේ වනවිට හිමිකර ගෙන තිබෙනවා. පැමිණි ගමන ගැන ලොකු සතුටක් තමයි හිතේ තියෙන්නේ.

නළුකමිනුත් ඒ වගේ දුර ගමනක් යන්නද අපේක්ෂාව? 
ඒ ගැන නම් දැන්ම කියන්න බැහැ.

නළුකම සාර්ථක වුණොත් සංගීතය යට යයිද? 
ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ. මම හැමදාමත් මුල් තැන දෙන්නේ සංගීතයටයි.

කලාවේ විවිධ ඉසව් තුළ දුර ගමනක් යන්න සැරසුණත් පෞද්ගලික චරිතය තුළ තවම ඔබ හුදකලා චරිතයක්. කවදාද ඔය තනිකඩ ජීවිතයට තිත තියන්නේ?
(හිනැහී) මේ තනිකඩ ජීවිතය තමයි මගේ නිදහස. හුදකලාව තමයි මගේ මනසට සංගීතය අරගෙන එන්නේ. ඒ හින්දා මේ තනිකඩ දිවියට තිත තියන දවසක් පෙනෙනතෙක් මානයකවත් නැහැ.

ආරියවංශ කුලතිලක