බැට් එකක් කැඩෙනකන් ඔළුවට ගැහුවා- ඩිලාන් අමු අමුවේ මරා දැමූ හැටි සීදූව මාෂා සංගීත කණ්ඩායමේ ගායකයා කියයි

ඩිලාන් රන්ජන් ප්‍රනාන්දු 30 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. සීදුව කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු වෘත්තින් ලෙස සිදුකළේ මැණික් විකීණීම හා සුරතල් මසුන් ඇතිකිරීමයි. එම ව්‍යාපාරවලින් අතමිට සරුකර ගත් ඔහු සංගීතයට ද මහත් ඇල්මක් දැක්වූ බව මිතුරන් අතර ප්‍රකට කරුණකි. එසේම ව්‍යාපාරවලින් ලද සාර්ථකත්වය නිසාම ඔහු සිය ගමන් බිමන් සඳහා භාවිත කළේ නවීන පන්නයේ හයිබ්‍රිඩ් රථයකි.

නිවැසියන් සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාම
හේතුවෙන් ඩිලාන් වාසය කළේ සීදුව කොටුගොඩ ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙනය. සංගීතයට ඔහු දැක්වූ දැඩි ඇල්මත් සමඟ සීදුව ප්‍රදේශයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් සමඟ ඔහු සමීප ඇසුරක් පවත්වන්නට ද කටයුතු කර තිබුණි.

මෙසේ විනෝදකාමීව ජීවිතය ගතකළ ඩිලාන් ඔහුගේ මෝටර් රථය සමඟම අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබුණේ ඉකුත් මැයි මස 23 වනදායි. ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ ද ඩිලාන් හෝ මෝටර් රථය පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු අතර මැයි මස 31 වන දින පොලිසියට ලද දුරකථන ඇමතුමකින් කියවුණේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් මීගමුව කඩොල් කැලේ කලපුවේ පාවෙමින් ඇති බවයි. ඒ අනුව එතෙක් අතුරුදන්ව සිටි ඩිලාන්ගේ මළසිරුර බවට පොලිසියට හඳුනාගැනීමට හැකිවිය.

එහෙත් ඩිලාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුක් නොලැබුණු අතර ඩිලාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිදරව් වීමට හේතුවන්නේ ඩිලාන්ගේ හයිබ්‍රිඩ් රථය වෙනත් පුද්ගලයෙකු විසින් පදවාගෙන යන බව තමන් දුටු බවට ඩිලාන්ගේ දෙමව්පියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලයි. ඒ අනුව ඩිලාන්ගේ හයිබ්‍රිඩ් මෝටර් රථය සමඟ සීදුවේ සංගීත කණ්ඩායමේ නායක දිනේෂ් නැමති පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. ඔහුගෙන් ඩිලානේගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට පොලිසියට නොහැකි වූ අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

මේ අතරතුර ඩිලාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත තම්මිට මාකේවිට පදිංචි තරිඳු නැමති පුද්ගලයෙකු ජූනි මස 4 වන දින පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහුගෙන් ලද තොරතුරු මත කොටුගොඩ ගුරුගේ වත්ත පදිංචි දිල්ෂාන් නැමති පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ අතර ඩිලාන්ගේ ඝාතනය පිළිබඳ සියළු තොරතුරු දිගහැරෙන්නේ එතැන් සිටයි.

පොලිසිය ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් මෙම ඝාතනයට සම්බන්ධ නොවන බවයි. එසේ වුවත් ඒ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දිනේෂ් හා සමීර නැමති වෙනත් අයෙක් මේ ඝාතනයට සම්බන්ධ බව හෙළිදරව් කර ගැනීමට පොලිසිය සමත් විය. ඒ අනුව සමීර නැමැත්තා සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ විය.

සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණේ ඩිලාන් ඝාතනය කර දමා තිබූ දඬුගම ඔය සීදූව පොලිස් වසමට අයත් වන නිසාය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ පොලිස් නිලධාරින් අතර සිටි කොස්තාපල් චින්තක හුණුල්ලේ පදිංචිකරුවෙකු වූ බැවින් අතුරුදන්ව සිටින සමීර ද එම ප්‍රදේශයේම වන නිසා මුහුණුපොත හරහා සමීරගේ විස්තර සොයාගැනීමෙන් අනතුරුව කොස්තාපල් චින්තක සංගීත කණ්ඩායම නියෝජනය කරන සමීරගේ මිතුරෙකු හමුවීමට ගොස් තිබූ අතර එහිදී මිතුර පවසා තිබුණේ කළුපාට හයිබ්‍රිඩ් කාර් එකකින් මීට ටික දිනකට පෙර පැමිණි සමීර ෂෝ එකකටත් සහභාගි වූ බවයි. කෙසේ වෙතත් මිතුරා වැඩිදුරටත් පවසා තිබුණේ සමීර මේ වන විට එම ප්‍රදේශයේ ඔහුගේ ඉඩම් විකුණා තම්මිට ප්‍රදේශයට ගොස් පදිංචි වී ඇති බවයි.

ඒ අනුව සමීරගේ නිවස සොයා යෑමට කොස්තාපල් චින්තක කටයුතු කර අතර සමීරගේ මව එහිදී පවසා තිබුණේ සමීර ඉන්නේ කොහෙදැයි කියා නොදන්නා බවයි. මවගේ ඉල්ලීම අනුව කොස්තාපල් චින්තක මවට සිද්ධිය සම්බන්ධයෙන් පවසා තිබූ අතර සමීරගේ පියා සහ බිරිඳ ද පොලිසියට ගෙන්වා ගැනීමෙන් පසු සමීරගේ පියා පොලිසිය හමුවේ පවසා තිබුණේ සමීර වැලිමඩ සිටිනා බවයි. සමීරගේ පියාගේ මාර්ගයෙන් ලබාදෙන දුරකථන ඇමතුමක් අනුව සමීර පැමිණෙමින් සිටියදී ඔහුව කොටුකර ගැනීමට පොලිස් නිලධාරින් සමත් විය. සීදුව සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා වූ ඔහුගේ මව සහ පියා වැඩි කාලයක් විදේශවල සිටි නිසා ඔහු හැදී වැඩී තිබුණේ පුංචි අම්මා ළඟයි. පොලිසියේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිදරව් කර තිබුණේ මෙලෙසිනි.

“සංගීත කණ්ඩායමට මං සම්බන්ධ වෙන කාලේ මම ගාමන්ට් එකේ රස්සාවට ගිහින් හවසට සින්දු ප්‍රැක්ටිස් කරන්න යනවා. ඒ දවස්වල තමයි මට දිල්ෂාන්ව හම්බුණේ. දිල්ෂාන් අපේ බොස්ගේ හොඳම යාළුවෙක්.“

ගාමන්ට් රැකියාවෙන් ඉවත් වී සීදුව කොටුගොඩ පාරේ පිහිටි ෂෝප් එකක පදිංචියට ආ සමීර දිනේෂ් සමඟ එහි සිටි අතර දිල්ෂාන් ද ඔවුන් සමග සිටි පුද්ගලයෙකි. ඩිලාන් සමීරට හමුවන්නේ ද එහි සිටියදීය. සමීරට ගුරුකම් වැඩ කිරීමට ද හැකියාවක් තිබුණු බැවින් දිනක් ඩිලාන් සමීරට පවසා තිබුණේ ගැහැණු ළමයෙක් යාළු කර ගැනීම සඳහා ගුරුකමක් කර දෙන ලෙසයි. දිනේෂ්, දිල්ෂාන්, සමීර හා ඩිලාන් ද ක්‍රමයෙන් කුළුපග මිතුරන් බවට පත්විය.

දිනක් දිනේෂ් සමීරට දුරකථන ඇමතුමක් දී පවසා තිබුණේ අතේ මුදල් නැති නමුත් සංගීත කණ්ඩායම ගොඩ ගැනීම සඳහා කුමක් හෝ කළ යුතු බවයි. එහිදී දිනේෂ් විහිළුවට මෙන් පවසා තිබුණේ ඩිලාන්ව මරලා කාර් එක කඩන්න දෙමු කියායි. එහිදී උඹට පිස්සුද කියා සමීර එය ගණනකට නොගෙන ප්‍රතික්ෂේප කර තිබූ අතර නැවත දිනක ද එය සමීරගෙන් විමසන විට එම අවස්ථාවේදීද සමීර එය පිළිගෙන තිබුණේ නැත. මේ අතර සමීර සහ දිනේෂ් පමණක් ෂොප් එකේ සිටි අවස්ථාවක දී නැවතත් ඒ පිළිබඳ ඔවුන් අතර කතා බහක් ඇතිව තිබූ අතර එය කරන්නේ කෙසේ දැයි කියා ඔවුනොවුන් කතාබහ කරන විට දිනේෂ් එය සිදුකරන ආකාරය ස්ථිර ස්වරයෙන් පවසා තිබුණු අතර ඊට ප්‍රතිචාර ලෙස සමීර පවසා තිබුණේ පුළුවන් නම් කරමු යන්නයි. සිද්ධිය සැලසුම් කිරීමෙන් පසු ඩිලාන්ව ගෙන්නා ගැනීමට දවස් කිහිපයක් උත්සහ කළත් ඩිලාන් නොපැමිණි බව සමීර පොලිසියට පවසා තිබුණි. නමුත් මැයි මස 23 වන දා සවස ඩිලාන් මත්පැන් බෝතලයකුත් රැගෙන එන බව ඔවුන්ට සැලවී තිබේ.

“දිනේෂ් මට කිව්වා ඩිලාන් ආවාම කර්ටන් එකට එහා පැත්තේ ඉඳලා බැට් එකෙන් ඔළුවට ගහන්න කියලා. පස්සේ අපි රියසල් එකකුත් කළා.“

“පස්සේ ඩිලාන් ආවා. අපි ප්ලෑන් කර ගත්ත විදිහට නෙමෙයි ඩිලාන් පුටුවේ ඉඳ ගත්තේ.“

 ඩිලාන් එසේ සිටින අතර මිතුරන් සමීර ක්‍රිකට් පිත්තක රැගෙන විත් ඩිලාන්ට පහර දී තිබුණි.

“මම ඇවිල්ලා බැට් එක අරගෙන ඩිලාන්ගේ මුහුණට ගැහුවා. එතකොට ඩිලාන් අත ඇල්ලුවා. මම ආයෙත් ගැහුවා. ඒත් එක්කම දිනේෂ් පිටිපස්සෙන් ඇවිල්ලා ඩිලාන්ගේ ඔළුවටම බැට් එකෙන් ගහගෙන ගහගෙන ගියා. ඩිලාන් ඇදගෙන වැටුණා. වැටුණට පස්සෙත් ඩිලාන් බැට් එක කැඩෙනකන් ඔළුවට ගැහුවා. ඊට පස්සේ බෆල් එකට ගහලා තිබුණු වයර් එක අරගෙන ඩිලාන්ගේ බෙල්ලට වයර් දාලා මම කිව්වා මම මේ පැත්තෙන් අදින්නම් උඹ ඒ පැත්තෙන් අදින්න කියලා.“

“මමයි දිනේෂුයි දෙපැත්ත අල්ලගෙන ඩිලාන්ගේ පණයනකම් පැය භාගයක් විතර ඇදගෙන හිටියා. අපි හිතුවේ ඩිලාන් මැරිලා ඇති කියලා. අපි වයර් එක අත ඇරලා බලන් ඉද්දි ඩිලාන් අමාරුවෙන් හුස්ම ගත්තා. ඒක දැකපු දිනේෂ් ආයෙ වතාවක් බැට් එකෙන් ඩිලාන්ගේ ඔළුවට ගැහුවා. ඊට පස්සේ බැලුවම මැරිලා.“

ඉන්පසු ගෙල සිර කළ වයරයෙන්ම ඩිලාන්ගේ දෑත් පිටුපසට කර බැඳ තිබුණා.

“අපි පාන්දර වෙනකන් ඩිලාන්ගේ බොඩි එක ෂොප් එකේ තියාගෙන හිටියා. පස්සේ බොඩිය කාර් එකට දාගෙන සීදූව පැත්තට ගියා. යද්දි මම කිව්වා ඩිලාන්ගේ පිටට ගලක් තියලා වයර් එකෙන් බඳින්න කියලා. ඊට පස්සේ මිනිය ගෙනිහින් දඬුඔය ඔයට දැම්මා.“

මෙසේ සාහසික අයුරින් තම මිතුරා මරා දැමීමට කටයුතු කර සැඟවී සිටීමට උත්සහ දැරුවද පොලිස් නිලධාරින්ගේ දක්ෂතාව හේතුවෙන් ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිවිය.