දසුන්ගේ වියෝව මට තාමත් අදහාගන්න බැරි දෙයක්

ධනංජිගේ දවසින් වැඩි කාලයක් මේ දවස්වල ගත වෙන්නේ රටේ සිද්ධ වෙන අපරාධ ගැන හොයන්නලු නේද?

ඔව්නේ, මේ දවස්වල මම අපරාධ ගැන හොය හොයා ඒ අපරාධවලට විරුද්ධව විශාල මෙහෙයුමක් කරගෙන යනවා. හැබැයි ඒ මෙහෙයුම කරන්නේ මේ දවස්වල ජාතික රූපවාහිනියෙන් සතියේ දිනවල රාත්‍රී
7.25ට විකාශය වෙන “අවසන් ඉනිම” ටෙලි නාට්‍යයේ මම රඟපාන “අමන්දා” කියන චරිතය වෙනුවෙන්.

ධනංජි ගැන ‍පොඩ්ඩකට අමතක කරලා මේ කියන අමන්දාගේ චරිතය ගොඩනැගෙන ආකාරය ගැන කතා කළොත් ?

අමන්දා කියන්නේ අපරාධ ගැන සොය සොයා ඒ පිළිබඳව ගවේෂණය කරමින් අපරාධ මැඩ පවත්වන්නට උත්සහ කරන පාසල් ශිෂ්‍යාවක්. ඒ වගේම අමන්දා යහළුවන් අතර හොඳ මිතුරියක් විදිහටත් “අවසන් ඉනිම” ටෙලි නාට්‍ය පුරාවට කැපී පේනවා.

මේ වගේ චරිතයකට පණ ‍පොවද්දී මොනවද ලැබුණු අමතක නොවන අත්දැකීම්?

අමතක කරන්න බැරි සිදුවීම් නම් කිහිපයක්ම තියෙනවා. ඔය අතර ඇසට කඳුළු උනපු සිදුවීමකුත් තියෙනවා. “අවසන් ඉනිම” ටෙලි නාට්‍යයේ අමන්දාගේ හොඳම මිතුරා තමයි “අහස්” කියන්නේ. “අහස් – අමන්දා” කියන්නේ හදවතින්ම බැඳුණු යාළුවෝ දෙන්නෙක්. “අහස්” විදිහට ඒ චරිතේ රඟපෑවේ හැබෑ ජීවිතේදීත් මගේ ළඟම සහෝදරයෙක් වගේ හිටපු ‘දසුන්’. ඔහුගේ වියෝව මට තාමත් අදහාගන්න බැරි දෙයක්. “අවසන් ඉනිම” රූගත කිරීම්වලදී මම වැඩිපුරම සම්බන්ධ වුණේ දසුන්ගේ චරිතයත් සමගයි. අපි විහිළු තහළු කළා. බොරුවට රණ්ඩු කරගත්තා. කෑ ගහගත්තා. එකට කෑවා, බිව්වා. ඉතින් මේ හින්දා ඔහුත් එක්ක කරපු ඒ රූගත කිරීම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒත් මේ ටෙලි නාට්‍ය දසුන්ගේ “අවසන් ඉනිම” වුණා.

ඔබ නිළියක් ලෙස කරළියට ඇවිත් මේ වෙනකොට වසර අටකටත් වැඩියි. ඒ වගේම ඔබ නිතර නිතර නිර්මාණවලිනුත් ප්‍රේක්ෂකයන් හමුවට එනවා. ඒත් “ජනප්‍රිය නිළිය” කියන නිර්දේශිත නාමයන් අතර තවමත් ඔබේ නම අසන්නට ලැබෙන්නේ නෑ නේද?

ඇත්ත තමයි. ජනප්‍රිය නිළියන්ගේ නම් අතරට මගේ නම නිර්දේශ නොවන්නේ ඇයි කියන එක මටත් ප්‍රශ්නයක්. එහෙම නිර්දේශ නොවුණා කියලා මම ජනප්‍රිය නැහැ කියලා කාටවත් කියන්න බැහැ. ඇත්තටම ජනප්‍රිය වෙනවා කියන්නේ ජනතාවගේ අසීමිත ආදරයට පාත්‍ර වෙනවා කියන එකනේ. ධනංජි තාරුකා කියන රංගන ශිල්පිනිය වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. මට පෞද්ගලිකව ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවාම මම ඒක දන්නවා. ප්‍රේක්ෂකයන්ගෙන් මේ ලැබෙන ප්‍රතිචාර සම්මානවලට වඩා මට වටිනවා.

ලෝචනා එක්ක එකතු වෙලා ඔබ පසුගිය දවස්වල පැය විසිහතරේම හරි හරියට නැටුවා කියන්නේ ඇත්තද?

ඔව්නේ… මමයි ලෝචියි නැටුවා පුදුම නැටිල්ලක්. කොච්චර නැටුවද කිව්වොත් ඒ නැටිල්ල නිසාම මම ටිකක් විතර කෙට්ටුත් වුණා. “දෙරණ ස්ටාර් සිටි රියැලටි” වැඩසටහනේ නර්තන තරගයකට තමයි අපි දෙන්නා ඔය විදියට නැටුවේ. ඒ නැටිල්ල නිසාම කොහොම හරි අවසන් හය දෙනාට වෙනකන් ආවා. අවසන් වටයෙන් නම් ඉදිරියට යන්න බැරි වුණා.

හැමදාමත් ඔය විදිහට නට නටා තනිකඩව ඉන්නද හිතාගෙන ඉන්නේ ?

හැමෝම අහන ප්‍රශ්නය තමයි ඕක. ගෙදරිනුත් මේ දවස්වල එක දිගටම මංගල යෝජනා එනවා. හැබැයි මම නම් තවම තීරණයක් අරගෙන නැහැ විවාහ වෙනවාද නැද්ද කියලා. තව මෙහෙම ටික කලක් ඉඳලා ඉස්සරහට ඒ ගැන තීරණයක් ගනිමු නේද?

බඳින්න හරියන කෙනා ලැබුණොත් අනිවාර්යයෙන්ම ‘ඔබට’ තමයි ඉස්සෙල්ලාම කියන්නේ.