තාත්තාගේ ගජ මිතුරාගෙන් 11 හැවිරිදි පුතාට ලිංගික අපයෝජනයක්‌

පියාගේ හිත මිතුරා අවුරුදු 11 ක්‌වූ තමන්ගේ පිරිමි දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්‌ කිරීමේ පුවතක්‌ කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ කාන්තා කාර්යාංශයෙන් වාර්තා විය.

කුරුණෑගල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් ගෝනගම ප්‍රදේශයේදී මෙම ළමා අපයෝජනය සිදුවී ඇත්තේ පසුගිය 9 දින සවස 7.00 ට පමණය.
අපයෝජනයට ලක්‌වූ මෙම පිරිමි දරුවා පදිංචිව සිටි නිවස අසල මළ ගෙදරකට ගොස්‌ තම නිවසට එමින් සිටියදී මෙම සිදුවීම සිදුවී ඇත.

"තාත්තා ගෙදර ඉන්නවාදැයි" තම පියාගේ මිතුරා තමාගෙන් විමසූ බවත් "තාත්තා ගෙදර ඉන්නවා මාමේ" කියා තමන් පිළිතුරු දුන් බව අපයෝජනයට ලක්‌වූ දරුවා පොලිසියට පැවසූ බව පොලිසිය පැවැසීය.

දරුවාගේ නිවසට යන මාර්ගයේ අසල පිහිටි කැලෑවකට රැගෙන ගිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වූ 44 වියෑති දරුවන් නොමැති විවාහකයෙකු වූ මොහු දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කර තිබෙන බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණයවී තිබේ. ලිංගික අපයෝජනයට ලක්‌වූ දරුවා නිවසට ගොස්‌ තම මවට තමන්ට සිදුවූ සිදුවීම දන්වා සිටීමෙන් පසු ඇය එම මොහොතේම කුරුණෑගල පොලිස්‌ මූලස්‌ථානයට පැමිණිලි කර ඇත.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්‌ඩාර - කුරුණෑගල