"පොඩි කා‍ලේ අම්මා නැතිවුණා, ඉන්න තැනක් තිබුණේ නැහැ, කළු ගල් ඇද්දා , දොදොල් හැදී ගෑවා, නින්ද නැතුව දුක් වින්දා.."

ශ්‍රී ලංකාවේ සිනමාවේ ස්වර්ණම යුගය තුල ඔහුගේ රංගනය සිනමා කාචයට නැතුවම බැරි වුණා. ඒ නිසා ඔහු එදත් අදත් ජනතාව අතර සිටින රංගන ශිල්පියෙක් බවට පත් වෙනවා. මෙරට විශිෂ්ට සිනමා නළුවෙක් වූ අමරසිරි කලංසූරිය ගේ තොරතුරු ගැනයි මේ.

කොහොමද දවස ගතවෙන්නේ?

‍පොත්, පත්තර කියවමින් තමයි දවස ගතවෙන්නේ.

සිනමාවට එකතුවෙලා වසර පනස් හතරක් වෙනවා. ඒ කාලය දිහා බැලුවාම මොකද හිතන්නේ?
ඇත්තටම මට මම ගැන ආඩම්බර හිතෙනවා. ලංකාවේ තියෙන හැම සම්මානයක්ම මට ලැබුණා. ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙලා පළමු සම්මානය ලැබුණෙත් මට. ජනප්‍රිය නළුවා, හොඳම නළුවා සම්මානය යන දෙකම ලැබුණා.

එදා සහ අද සිනමාවේ වෙනස මොන විදියටද ඔබ දකින්නේ?
අද රංගනයට දක්ෂ ළමයි එකතුවෙලා ඉන්නවා. ඒ කාලයේ අපට හොඳ අවස්ථාවන් තිබුණා. ඒත් අද ළමයින්ට අවස්ථාවන් අඩුවෙලා තියෙනවා. අපි තාමත් හැම කෙනෙක්ටම ගරු කරනවා. මම කැමතියි. ඒත් නවකයෝ අපි කියන දේවල් අහයිද දන්නෙ නැහැ. මට කියන්න තියෙන්නේ කිසිම දෙයකට කෑදර වෙන්න එපා. තමන්ගේ ගෞරවය නිතරම රැකගන්න. අද ඇතැම් අය විකෘති ජීවිත ගත කරනවා. ඒ ගැන ලැජ්ජාවක් තියෙන්නේ. අපි ඕවට මොකුත් කියන්න ගියොත් අපිට බණීවි.

ඇයි ඔබ නිර්මාණකරණයට යොමු නොවුණේ?
මම වෘත්තියක් විදියට ‍නෙවෙයි රංගනය හැදෑරුවේ. මගේ ආදායම් මාර්ගය වුණේ ව්‍යාපාර. වෙලාවක් තිබුණේ නෑ ඒ කා‍ලේ. කරන්න වැඩ ඔළුවේ ගොඩක් තියෙනවා.

ඔබ රංගනයෙන් දායක වුණු චිත්‍රපට අතරින් සිත්ගත් චිත්‍රපටය?
අහස් ගව්ව, හන්තානේ කතාවක්, අපේක්ෂා. අපේක්ෂා නිසා මට මිනිස්සුන්ගේ ආදරය ගොඩක් ලැබුණා. මගේ සාප්පු දෙකට ගොඩක් තරුණියෝ ආවා මාව බලන්න. මේ ළඟදි උත්සවයකදී කරු ජයසූරිය මහත්මයා මට කීවා පාසල් යන කා‍ලේ නුවර මගේ සාප්පුවට ආවා කීවා මාව බලන්න. කලිසම් ගන්න විදියට ඇවිත් තියෙන්නේ මාව බලන්න. සල්ලි තිබුණේ නැති නිසා කලිසම් ගත්තේ නැහැ කීවා. අපි පිස්සුවෙන් වගේ කලංට ආදරය කළා කීවා.

පතිරාජයන් නිසයි ඔබ සිනමාවට එකතු වෙන්නේ. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?
අපි දෙන්නා එකට ඉගෙන ගත්තේ මහනුවර ධර්මරාජයේ. හන්තානේ කතාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ ඔහු නිසයි. හන්තානේ කතාවට නළු නළියන් තෝරාගන්න සම්මුඛ පරීක්ෂණය තිබුණේ ජුබිලි ශාලාවේ. මාව ඒකට යොමු කළේ පතිරාජයන්. එතැනට ගොඩක් අය ඇවිත් හිටියා. ඒ හැමෝම හිටියේ ජැන්ඩියට ඇඳලා. මම ගියේ ‍පොකට් දෙකේ කමිසයයි, ඩෙනිමයි ඇඳගෙන. රබර් බුෂ් සපත්තු දෙකක් දාගෙන. ඉතින් මාව කවුරුත් ගණන් ගත්තේ නැහැ.

ඒත් එතැන හිටපු උස හීන්දෑරි තරුණයෙක් මාත් එක්ක මිතුරු වුණා. ඒ විජය කුමාරතුංග. අපි දෙන්නම සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගෙන තිබුණා. ඔහු ප්‍රධාන නළුවා, මම සහාය නළුවා. ඒ චිත්‍රපටයෙන් දක්ෂයන් එක්ක වැඩ කිරීමෙන් ලොකු පන්නරයක් ලැබුණා.

ඔබට පෙම්වතාගේ චරිතයට රංගනයෙන් දායක වෙන්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ පෙනුම නිසාද?
වෙන්නත් ඇති. වයසයිනේ. ඒ වගේම ආඩම්බරකමකුත් තිබුණා. හැබැයි ඒ ලොකුකම ‍නෙවෙයි. අපේක්ෂා චිත්‍රපටය නිසා තමයි මම සිනමාවේ ප්‍රේමවන්තයෙක් වෙන්නේ. ඒත් මට බොළඳ පෙම්වතාගේ චරිතය ‍නෙවෙයි නිරූපණය කරන්න තිබුණේ.

රංගනයට විරාමයක් තියල නිසාද දැන් පේන්න නැත්තේ?
හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා. එහෙම රංගනයට විරාමයක් තියල නැහැ. මගේ වයසට ගැළපෙන, මට හරියන දෙයක් ලැබුණොත් භාරගන්නවා.

රංගන ශිල්පියෙක් ලෙස ඔබේ පෙනුම පවත්වාගෙන යන්න මොනවද කළේ?
දැන් මට අවුරුදු හැත්තෑ හතක් වෙනවා. තවමත් මම උදේට ව්‍යායාම කරනවා. නිතරම මම නිරෝගීව ඉන්න කැමති කෙනෙක්. තුන්වේලටම බත් කන්නේ. මම ජීවිතය ගැන නිතරම හිතන්නේ සතුටින්.

ඒ කා‍ලේ තරුණියන්ගෙන් විශාල ආකර්ෂණයක් ලැබෙන්න ඇති?
ඒ දේවල් ගැන මම හිතුවේ නැහැ. මට ප්‍රශ්න තිබුණා. හරියට ඉන්න තැනක් තිබුණේ නැහැ. බොහොම අමාරුවෙන් තමයි කීයක් හරි හොයාගෙන කන්නේ. සත 30යි දවසටම කෑමවලට වෙන් කළේ. ‍පොඩි කා‍ලේ අම්මා නැතිවුණා.

ප්‍රශ්න එද්දි දේ‍පොළ විකුණුවා. ගෙදර බඩුමුට්ටු විකුණුවා. පස්සෙ මම සත පනහේ ‍පොඩි පඩියකට දොදොල් හැඳිගාන්න ගියා. ඒක කරගෙන ඉද්දි මහත්මයෙක් මට උදව් කළා. එයාට මට රස්සාවක් දෙන්න කීවහම මහියංගණයට එක්කන් ගියා. රස්සාවක් දුන්නා. රස්සාව විදියට කළේ කළු ගල් අදින එක. 2.70ක පඩියක් ලැබුණා. ඒ පඩියට ආදරයට මම බොහොම අමාරුවෙන් වැඩ කළා. හේන්වලට ගිහින් මම එළවළු ඉල්ලාගෙන අමුවෙන්ම කනවා.

නිදාගන්න තැනක් නැහැ. එතැන මාස නවයක් හිටියා.

ක්ෂේත්‍රයේ හිත ගිය කෙනෙක් හිටියේ නැද්ද?
නැහැ. අපි රංගනයට සැලකුවේ බොහොම ගෞරවනීය විදිහට. නිතරම මගේ වෙළෙඳසලට එන තරුණියක් ගැන මට විශේෂයක් ඇතිවුණා. ඇය යහළුවන් එක්ක නිතරම මගේ සාප්පුවට එනවා. ඒ කා‍ලේ අපි අතර ආදර සම්බන්ධයක් ගොඩනැගුණා. අපි විවාහ වුණා. අදටත් ඇය තමයි මගේ තනි නොතනියට ඉන්නේ.

කොහොමද ඔබ ව්‍යාපාර පැත්තට යොමුවෙන්නේ?
මම මුලින්ම හමුදාවට ගියා. එතැනින් පැනලා ඇවිත් තැන තැන ඇවිදලා රස්සාවල් හොයන්න ගත්තා. නැවත මහනුවර ලියෝන්ස් ආපනශාලාවේ මුළුතැන්ගෙයි රැකියාවක් කළා. මල්ලිකා ඡායාරූප ශාලාවේ වැඩ කළා. ඒ ස්ටූඩියෝ එක අස්පස් කරන වැඩ තමයි මට කරන්න ලැබුණේ. ඒ ඡායාරූප ශාලාවෙන් අයින් වුණාට පස්සේ මම තීරණය කළා මගේම දෙයක් කරන්න. මම රෙදි ව්‍යාපාරයක් පටන් ගත්තා. විදේශිකයන් ඇඳපු ඇඳුම් පිරිසිදු කරලා නැවත මම අලෙවි කළා. මම අරගෙන ගිය ඇඳුම්වලට හොඳ ඉල්ලුමක් ලැබුණා. පාර තොටේ ඇවිද ඇවිද තමයි මම වෙළෙඳාම් කළේ. මම කඩ කාමරයක් ගත්තා. එහෙම තමයි මගේ ව්‍යාපාරය දියුණු වුණේ. මම තමයි මුලින්ම ඩෙනිම් ලංකාවට ගෙනාවේ.

ඔබේ ව්‍යාපාර සඳහා විජය කුමාරතුංගත් හවුල්කරුවෙක් වෙනවා නේද?
මගේ ඇඳුම් ව්‍යාපාරයට ඔහුව සම්බන්ධ කරගත්තා. ‍පොලිසියට යන්න අවස්ථාව ලැබිලත් ඒ කා‍ලේ ඔහු ඒ රස්සාවට ගියේ නැහැ. ඒ කා‍ලේ ඔහු රංගනයට ආවට ඔහුට හරිහමන් ආදායමක් තිබුණේ නැහැ. මාත් එක්ක එකතුවෙලා වැඩ කරන්න ඔහු කැමති වුණා. අපි නුවරඑළියට ගිහින් බස්වල වහ‍ලේ තමයි රෙදි මිටි පටවාගෙන එන්නේ. ඒ රෙදි පාපැදියේ තියාගෙන අපි දෙන්නා විකුණනවා. සමහර දවස්වලට ඔහු එන්නේ නැහැ වෙළෙඳාමේ යන්න. ඒ ඇඳුම් ඇඳගෙන ඔහු සවාරි යනවා. හන්තානේ කතාවත් එක්ක ඔහු ගොඩක් කාර්යබහුල වුණාට පස්සේ විජයට මාත් එක්ක හවුල් වෙලා වෙළෙඳාම් කරන්න බැරිවුණා.

තිළිණි කරුණාරත්න