සතුටු වෙනවා – ලග නැති නිසා ඇතැම් අවස්ථාවල පොඩි පොඩි ගැටළු මතු වෙනවා

අකලංක පහුගිය කාලයේම දකින්න ලැබුණේ නැහැ. කාර්ය බහුල වෙලා ඉන්නේ ක්‍රීඩාව එක්කද එහෙම නැති නම් ව්‍යාපාර එක්කද..?
පහුගිය කාලේ මම ව්‍යාපාර කටයුතු එක්ක තමයි කාර්ය බහුල වුණේ. බිරිද ඉන්නේ විදෙස් ගත වෙලා. ඒ නිසා මට රටවල් දෙකේම ඉන්න වෙනවා. පහුගිය කාලේ මමත් එයා එක්ක ප්‍රංශයේ හිටියේ. ව්‍යාපාර කටයුතු නිසා තමයි මට වැඩිපුර මෙහෙට වෙලා
ඉන්න වෙන්නේ. ඒ නිසා නිර්මාණවලිනුත් මාව දකින්න ලැබුණෙත් නැහැ.

ඔබ අවසන් වරට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එක්ක එකතු වුණේ මිට වසර දොළහකට පමණ පෙර. දැන් ක්‍රිකට් වලින් සමු අරගන්නද සුදානම් වෙන්නේ..?
තවම එහෙම සුදානමක් නම් නැහැ. පහුගිය කාලේ මම ක්‍රීඩා සමාජ තරග සදහා සම්බන්ධ වුණා. වරාය ක්‍රීඩා සමාජය තමයි මම නියෝජනය කළේ. තරග සදහා මම හොදින් මුහුණ දුන්නා. ලකුණු අතරෙත් හිටියා. ජාතික කණ්ඩායමට යළිත් එකතු වෙයි කියන විශ්වාසයෙන් තමයි තවමත් මම ක්‍රීඩා කරන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.

ක්‍රිකට්වලින් කලකිරිලා හිටිය අකලංක ලංකාව අතහැරලා විදෙස්ගත වෙනවා කියලා කාලයක් කිව්වා..?
ඔව්. නමුත් අපේ රටේ ඉදලා ක්‍රීඩා කරන්න තමයි මට කැමැත්ත තියෙන්නේ. විදෙස් රටකින් අවස්ථාවක් ලැබුණොත් ඒ ගැනත් හිතලා බලනවා. ව්‍යාපාර කටයුතු නිසා ලංකාවේ ඉන්නම වෙනවා.

අකලංක නිර්මාණ වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ නොවුණත් රංගන ශිල්පියෙක් විදිහට ඔබටත් ආදරේ කරන රසිකයින් පිරිසක් ඉන්නවා. අලුත් නිර්මාණ සදහා සම්බන්ධ වුණාද..?
ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. පිටපත් බලලා මට හොදයි කියලා හිතන නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා. මට වෙනස්ම රංගන දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නිර්මාණයක් ලැබුණා. එහි රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඒ නිර්මාණයෙන් මාව ලගදීම දකින්න ලැබේවි. සිනමාපට කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

බිරිද කියන්නේ නැද්ද විවාහ වෙලා සෑහෙන කාලයක් නිසා දෙපැත්තට වෙලා ඉන්න බැහැ හැම දෙයකින්ම ඉවත් වෙලා ඇය ලගට එන්න කියලා..?
එහෙම සිමා නම් දාලා නැහැ. තවම එහෙම කියලත් නැහැ. ඒත් ඉදිරියේදී මොනවා කියයිද දන්නේ නැහැ. නමුත් මගේ වැඩකටයුතු නිදහසේ කරගෙන යන්න නම් දැනට අවස්ථාව ලැබිලා තියෙනවා. එයත් කාර්ය බහුල කෙනෙක්. මමත් කාර්යබහුලයි. ඒ නිසා දෙන්නට දෙන්නා තේරුම් ගැනීමෙන් වැඩකටයුතු කරගෙන යනවා.

කලාකරුවෙක් විදිහට වැඩිපුරම ගැහැණු ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙද්දී ඇයගෙන් ඔය කියන තේරුම් ගැනීම නැතුවත් ඇති නේද..?
ලග ඉන්නකොට නම් එහෙම නැහැ. රසිකයින්ට ප්‍රතිචාර දක්වද්දී මොකුත් කියන්නේ නැහැ. එයා නිහඩයි. සතුටු වෙනවා ලැබෙන ප්‍රතිචාරවලට. නමුත් ලග නැති නිසා ඇතැම් අවස්ථාවල පොඩි පොඩි ගැටළු මතු වෙනවා. මොනවා කිව්වත් ගැහැණු චරිත හරි ඊර්ශ්‍යා අයනේ. එයත් එහෙමයි.

ඔබත් බිරිදත් දෙපැත්තට වෙලා ඉන්න නිසා පවුල කියන සංකල්පයේ බැරෑරුම්කම ඔබට දැනෙන්නේ නැතුව ඇති..?
ඒක වගකීමක්. විවාහය කියන එක ලෙහෙසියෙන් හිතන්න පුළුවන් බැදීමක් නෙමෙයි. වගකීම් වැඩියි. බිරිදයි මමයි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් වගකීම් ඉටු කරනවා. අපි ආදරෙන් සතුටින් ජිවත් වෙනවා.