ලෙස්‌ටර්ගේ සම්මානය ඉස්‌සූ කල්ලිය අවුරුදු 35 ක්‌ම කරපු දේ කියයි

ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ රණමයුර සම්මානය සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්‌ දෙනා වසර තිස්‌පහක්‌ තිස්‌සේ ගැට කැපීම සිය වෘත්තිය ලෙස කරගෙන ගිය පුද්ගලයන් බව බම්බලපිටිය පොලිසිය කළ මූලික විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පස්‌ දෙනා සහ සැකකරුවන් අලෙවි
කළ ඇපල් ජංගම දුරකථනය ළඟ තබා ගත් දුරකථන අලෙවිසලක හිමිකරු කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

මෙලෙස රක්‌ෂිත බන්ධනාගාරගත කළේ අවුරුදු 45 ත් 65 ත් අතර වයසේ පසුවන කඩුවෙල, මතුගම හා නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා. සැකකරුවන් සොරා ගත් තවත් රුපියල් ලක්‌ෂ 5 ක්‌ වටිනා ජංගම දුරකථන 8 ක්‌ද අත්අඩංගුවට ගත් දුරකථන අලෙවිසල් හිමිකරු ළඟ තිබී සොයා ගත් බවද පොලිසිය පවසනවා.

ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ දේහය පසුගිය 02 වැනිදා උදැසන තිඹිරිගස්‌යාය නිවසේ සිට නිදහස්‌ චතුරස්‍රය කරා රැගෙන යැමට පෙර නිවසේ ආගමික වතාවත් සිදුකරන අතරතුර මෙම සම්මානය අතුරුදන්ව තිබෙනවා. ඊට අමතරව ඥතියකුට අයත් ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්‌ ද නිවසේදී අස්‌ථානගත වී තිබුණා.

මේ සම්බන්ධයෙන් සුමිත්‍රා පීරිස්‌ මහත්මිය පොලිසියට කළ පැමිණිල්ලකින් පසු විමර්ශන ඇරඹුවා. එලෙස විමර්ශන සිදුකරන අතරතුර මෙම සම්මානය 5 වැනිදා උදේ මාර්ග අංක 177 කඩුවෙල – කොල්ලුපිටිය සුඛෝපභෝගී බස්‌ රථයක තිබී හමුවුණා.

ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ අවමඟුල් උත්සවය අවස්‌ථාවේ නිවසේ සී. සී. ටී. වී. කැමරාවේ සටහන් වී තිබූ සැක කටයුතු ත්‍රිරෝද රථයක දර්ශන ඔස්‌සේ විමර්ශන පවත්වා කඩුවෙලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම ගැන සුලමුල හෙළි කර ගත් බව පොලිසිය පවසනවා.

මෙම ගැට කපන පස්‌ දෙනාගේ කල්ලිය වසර 35 ක්‌ තිස්‌සේ දේපළ සොරා ගැනීමේ හා බස්‌ රථවලදී පොකට්‌ ගැසීමේ නිරත වී ඇතැයි ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසුවා.

තමන් සොරා ගත් දේපළ ප්‍රමාණය කොතෙක්‌දැයි අමතක බව සැකකරුවන් පවසා තිබෙනවා.

“අපි පස්‌ දෙනා තැන් තැන්වලට බෙදිලා යනවා. ප්‍රසිද්ධ අයගේ මළ ගෙයක්‌ දැක්‌කොත් එක්‌ තැනකට සෙට්‌ වෙනවා. පස්‌සේ අපි ඒ ගෙදරට ගිහින් වටිනා දේවල් ගැන ඔත්තු බලලා එනවා. ඊට පස්‌සේ යළිත් ගිහිල්ලා තමයි වටිනා දේවල් හොරකම් කරන්නේ.

අපි මඟුල් ගෙවල්වලට, බණ ගෙවල්වලට, ප්‍රසිද්ධ රැස්‌වීම්වලට ගිහින් පොකැට්‌ ගහලා තියෙනවා.

ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසට ත්‍රීවීල් එකකින් ගිහිල්ලා තමයි අපි සම්මානය හොරකම් කළේ. ඒ ගෙදර කාමරයක තිබුණ හෑන්ඩ් ෆෝන් එකකුත් ඉස්‌සුවා. ඒක අපි නාවලපිටියේ ෆෝන් කඩයකට විකුණුවා. අපි රස්‌සාවක්‌ කළේ නැහැ. මේක අපි විනෝදෙටයි කළේ” යෑයි සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.